සටහන: සශිකලා මධුෂාණී
කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් පිටුදැකීමේ අරමුණින් ප්‍රකාශයට පත් කර ඇති කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අද (25) ලොව පුරා සමරනු ලබයි.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳව සමාජය දැනුවත් කිරීම, වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ හිංසනය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාමාර්ග ගැනීම මෙම දිනයේ ප්‍රධාන අරමුණු වේ.
මෙම දිනයේ ඉතිහාසය 1960 වසර දක්වා දිව යයි. ඩොමිනිකන් ජනරජයේ ඒකාධිපති පාලනයට එරෙහිව ක්‍රියාකළ දේශපාලන ක්‍රියාකාරිනියන් වූ මිරාබල් සහෝදරියන් තිදෙනා 1960 නොවැම්බර් 25 වැනිදා ඝාතනය කිරීම සිහිපත් කරමින් මෙම දිනය නම් කර තිබේ. පසුව 1999 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නොවැම්බර් 25 වැනිදා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
කාන්තාවන්ට එරෙහි හිංසනය ශාරීරික පහරදීම්වලට පමණක් සීමා නොවේ. මානසික හා වාචික හිංසනය, ලිංගික අපයෝජන, ගෘහස්ථ ප්රචණ්ඩත්වය, රැකියා ස්ථානවල සිදුවන ලිංගික හිරිහැර, බලහත්කාර විවාහ සහ අන්තර්ජාලය ඔස්සේ සිදුවන හිංසනය ද ඊට ඇතුළත් වේ.
විශේෂයෙන්ම ඩිජිටල් තාක්ෂණයේ ව්‍යාප්තියත් සමඟ කාන්තාවන් සහ ගැහැනු දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන අන්තර්ජාල හිරිහැර, පෞද්ගලික ඡායාරූප අවභාවිතය සහ සයිබර් ප්රචණ්ඩත්වය පිළිබඳව ද මේ වන විට ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
මෙම දිනයට සමගාමීව නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා දින 16ක ක්‍රියාකාරීත්ව වැඩසටහනක් ලොව පුරා ක්‍රියාත්මක වේ. එය දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයෙන් අවසන් වේ. මෙම වැඩසටහන යටතේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රචාරණ ව්‍යාපාර සහ සමාජ ක්‍රියාකාරකම් සංවිධානය කෙරේ.
මෙම ජාත්‍යන්තර වැඩසටහනේදී තැඹිලි වර්ණය ප්‍රධාන සංකේතයක් ලෙස භාවිත කෙරෙන අතර, එය කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට හිංසනයෙන් තොර දීප්තිමත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුව නිරූපණය කරයි.
ශ්‍රී ලංකාව ඇතුළු ලොව සියලු රටවල කාන්තාවන්ට සුරක්ෂිත පරිසරයක්, සමාන අයිතිවාසිකම් සහ ගෞරවාන්විත ජීවිතයක් තහවුරු කිරීමේ අවශ්‍යතාව මෙම දිනයේදී යළිත් අවධාරණය කෙරේ. කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීම රජයේ හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පමණක් වගකීමක් නොවන අතර, පවුලේ සිට සමස්ත සමාජය දක්වා සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය ඒ සඳහා අත්‍යවශ්‍ය වේ.
‘හිංසනයට තිත තබමු – කාන්තාවන්ට සුරක්ෂිත හෙටක් ගොඩනඟමු’ යන පණිවිඩය පෙරදැරි කරගනිමින්, කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කරන සමාජයක් බිහිකිරීමේ අවශ්‍යතාව මෙම ජාත්‍යන්තර දිනය මඟින් ලෝකයට සිහිපත් කරයි.

