ප්‍රතිපත්ති වසාගත් ආමිසය!

උපාලි කොළඹගේ

කොළඹ LNW:අපේ රට බෞද්ධ රටක් යන්නට වඩා රටේ ජනතාව ගෙන් බහුතරය බෞද්ධ යැයි යන්න වඩා නිවැරදිය කියා මා හිතනවා. මේ රටේ ජීවත්වන බහුතරය සිංහලයන් යන්නද මේ හා සමානම යථාර්ථයකි. මේ රට සිංහල බෞද්ධ රටක් යන්න මේ හා බැඳුණු ස්වෝත්තම වාදීන්ගේ හුදු ප්‍රකාශයනයක් පමණක් බවය මෙම ලියුම්කරුගේ අදහස.

කෙසේ වුවත් තථාගතයාණන් වහන්සේ දෙවා වදාරන ලද බෞද්ධ ධර්මය හා එම ධර්මයේ උත්තරීතර දර්ශනය වර්තමානයේ කෙතෙක් දුරට අප රට තුළ පවතීද යන්නය අපට ඇති ගැටලුව. මෙය හුදෙක් පෞද්ගලික ප්‍රශ්නයක් නොව වර්තමානයේ බුදු දහම මුහුුණ පා ඇති දැවැන්තම අභියෝගය ලෙසය මා සලකන්නේ.

ආගමේ චිරන්තන පැවැත්මට අභියෝග කරන හැරවුම් ලක්ෂයක් ලෙසද මෙම තත්ත්වය හැඳින්විය හැකිය. සියලු ආගම් විශ්වාසයන් මත පදනම්ව ඇති නිසා පැහැදිලි නිර්වචයන් ඉදිරිපත් කිරීමද දුෂ්කරය.

ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව ගසක පොත්ත හා අරටුව මෙන් එකට බැඳී පවත්නා බවට කිසිදු තර්කයක් නැත. එම දෙකරුණ තුළනාත්මකව පැවතිය යුතු බවද අවිවාදිතය.

එහෙත් වර්තමානයේ බැලූ බැල්මටම පෙනෙනුයේ මෙම තත්ත්වය ඉතා අස්වාභාවික අන්දමට අසමබරව දෝලනය වන බවය. අධි පරිභෝජනවාදී ජීවන රටාවට හුරුවූ ඇතැම් භික්ෂූන් වහන්සේද ආමිසය මුල් කොට තබා ක්‍රියා කරනුයේ මෙම තත්ත්වය නිසාය යන්න මගේ විශ්වාසයයි.

මහනාහිමිවරුද මෙම තත්ත්වය නොදක්නා ලෙස සිටීම බලවත් කනගාටුවකි. විකල්ප අදහස් දරන ස්වාමීන්වහන්සේලා එහිමිවරුන් සාමාජිකත්වය දරන නිකායන්ගෙන් නෙරපා හැරීමට තරම් සාහසික වූ අවස්ථා ගැනද අසන්නට ලැබේ. සංඝ ශාසනයට නිගා දෙන අයුරින් නිර්මල බුද්ධ දේශනාවට පටහැනි අයුරින් අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ බළල් අත්ව හැසිරෙන නාමික සංඝයා වහන්සේලාගේ නොමනා හැසිරීම් දෙස නෑසූ කන්ව සිටීම සමාන කළ හැක්කේ තමන්ගේ ඇසේ පොල්පරාල ගණන් නොගෙන අන්‍යයන්ගේ දෑසේ කෙස් ගස් ගැන අවධානය යොමු කිරීමක් ලෙසය.

කෙසේ වුවත් බෞද්ධ සමාජය ආමිෂයට⁣ ලොල්වීමේ උච්චතම අවස්ථාවක් ලෙස වර්තමානයේ ඇතැම් බෞද්ධයන් වෙසක් උත්සවය සමරන වාණිජවාදී ස්වරූපය සඳහන් කළ හැක. අපිදු අතීතයේ දන්සැල් දීම්, වෙසක් පහන් කූඩු සෑදීම් ආදිය කර ඇත්තෙමු. ඒවා සරල කුටුම්බය ආශ්‍රිත ව සිදු කළ ක්‍රියාකාරකම් වන අතර ඒවා යින් අත්විඳි බුද්ධාලම්බන ප්‍රීතිය අදද මෙත් සිතින් සිහිපත් කළ හැකිය.

නමුත් අද පෞද්ගලික ආයතන අනුග්‍රහයෙන් ඉදි කෙරෙන දැවැන්ත තොරණ් රාජයාණන්ට අමතරව විද්යුත් මාධ්‍ය ආයතන මගින් හුදෙක් සිය ජනප්‍රියත්වය උදෙසා පවත්වන වෙසක් කලාප දක්වා පුළුල් වී තිබේ. මේවා හැඳින්විය හැක්කේ වෙසක් කාණිවල් ලෙසය.

මීට අමතරව කටින පූජොත්සවයන් පවත්වන වාණිජවාදී ස්වභාවය ගැනද යමක් සඳහන් කළ යුතුය. ඒවා පවත පවත්වන ආකාරයේ තරගකාරිත්වය හැබෑ බෞද්ධයන්ට නම් අපුල දනවන සුළුය.

මෙම තත්ත්වය හැම තැනම එකහා සමාන නැත. ගෞරවනීය භික්ෂූන් වහන්සේ සැදහැති ගම්වාසීන් ගේ සහභාගිත්වයෙන් ගමේ ආර්ථිකයට ගැලපෙන ලෙස චාම් අයුරින් පවත්නා කටින පූජෝත්සව අදත් ගම් වල දක්නට ලැබේ. නමුත් නාගරික කරණයට ලක්වී වාණිජ කරණයය හිස මත තබා ගත් තැන්වල මෙම පින්කම් පවත්නා ආකාරය කිසිසේත් දහමට ගැලපෙන්නේ නැත. එහා ගමේකටිනයට වඩා ඉහළින් මෙහා ගමේ කටිනය පැවැත්වීම ඇතමකු ගේ අරමුණයි. ඇතැම් සල්ලිකාර පන්සල් ආශ්‍රිතව ඉහළ පන්තියේ මඟුල් ගෙවල් ලෙස කටින පවත්වන ආකාරය අපි දැක ඇත්තෙමු. ඇතැම් තැනක ගිහි සාදය.

ධර්මයට අනුව කඨින චීවරය පූජා කිරීම මහඟු පින් කමෙකි. එහෙත් එම කර්තව්‍ය නිවන් මගෙහි එකම මං සලකුණ නොවේ. සාමාන්‍ය ජනතාවට කඨින පින්කමක මූලිකත්වය ගෙන කටයුතු කිරීමට නොහැකි වන තරමය වැය පක්ෂය ඉහළය. සාමාන්‍ය මට්ටමේ කඨිනයක් සඳහාද රු.දශලක්ෂය ඉක්මවූ මුදලක් වැය කිරීමට සිදුවන බව අසා ඇත්තෙමි.

ඇතැම් උගත් තරුණ භික්ෂූන් වහන්සේ මෙම තත්ත්වය වෙනස් කිරීමට කොපමණ උත්සාහ කළද ඊට තවම නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම කඨින චීවරය වඩම්මවන පෙරහරට අලි ඇතුන් කුමකටද? මෑතක සිට බොහෝ පන්සල්වල පවත්නා උත්සවවලට අලි ඇතුන් යොදා ගැනීම මෝස්තරයක් බවට පත්ව තිබේ.

ආමිස ක්‍රියාකාරකම්වලට සමගාමීව ප්‍රතිපත්ති වර්ධනයක් නොසිදු වන බවය අපේ අදහස. පහන් දසදහසක් දැල් වීම සුවඳ මලින් චෛත්‍ය රාජයාණන් වහන්සේ සැරසීම ආදිය බැලූ බැල්මට ආකර්ෂණීය වුවද ඉන් නිර්මල බුදු දහමේ වර්ධනයට ලැබෙන පිටිවහළ ඉතා සුළුය.

ආමිස පූජාවෙන් සෞම්‍ය වන සිත දහමට නැඹුරු කර ගැනමට ආධාරකයකැයි ඇතමෙක් තර්ක කරති. ඔව්, නමුත් එහි සත්‍ය රඳා පවතිනුයේ එම පූජාවන්ගේ ගුණාත්මකභාවය මතය යන්න අපේ අදහසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 'කවන්තිස්ස' ඇතුට වෙඩි තැබීමේ...

Miss Universe 2026 කිරුළ පුවර්ටෝ රිකෝවට! ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයක් සමඟ Jennifer Barreto ලෝක රූ රැජින වෙයි!

සටහන – පුලීනොවැම්බර් 25, LNW (කොළඹ): ලොව පුරා රූපලාවණ්‍ය තරගාවලි...

මාලිමාව බුලත්කොහුපිටියේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027...

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

රාජාංගනේ සද්ධාරතන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...