සජිත්ට අලුත් විය හැකිද ?

සජිත් ප්‍රේමදාස කියන දේශපාලන චරිතය සම්බන්දයෙන් එතරම් ගැඹුරට අපේ සමාජය හිතල තිබ්බේ නැති ඇතැම් ලක්ෂණ ප්‍රමාණයක් ගැන දැන් දැන් කතාකරන්න අරගෙන. සාමාන්‍යයෙන් චන්ද්‍රිකා රනිල් මහින්ද මෛත්‍රී වගේ අය ගැන හැම පැත්තකින් ම වගේ කතා අපි අහල තිබ්බත් සජිත් ගැන ඇහිච්චි නැති කතා දැන් අපිට ඇහෙන්න දකින්න ලැබෙනවා.

සජිත් සම්බන්දයෙන් ඒ ඇහිච්ච නැති පැත්ත සමාජගත වෙන එක හොඳයි. විශේෂයෙන් ඔහුගේ දේශපාලන අනාගතය වෙනුවෙන්.

පොදුවේ ගත්තම මම සජිත් කියන කෙනා ගැන අහන්න දකින්න පටන් ගත්තේ කොයි කාලෙද කියල මතක නැතත් මම ඔහුව දැක්කේ සාමාන්‍යයෙන් ලංකාවේ ‘සම්ප්‍රදායික දේශපාලන නායකයෙක්’ හැටියට (conventional political figure). සහ එහෙම හිතන්න කරුණුත් ගොඩක් තිබ්බ. හැබැයි මම චන්ද්‍රිකා සම්ප්‍රදායික දේශපාලන චරිතයක් විදියටම දැක්කේ නැහැ. එයා පොඩි ‘ලිබරල් – සටන්කාමී’ කෑල්ලක් එක්ක දැක්කේ. හැබැයි මම හිතන්නේ එයත් ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන චරිත එක්කම වැළලිලා ගියා.

මම හිතන්නේ ලංකාවේ යුද්දය අවසන් වීමත් එක්ක ලංකාව නැවත ‘සම්ප්‍රදායික දේශපාලනය’ (ආගමික සංඥා, ජාතිකත්ව සංඥා, සම්ප්‍රදායික සංඥා) එක්ක කොන්සර්වේටිව් ගමනක් ආරම්භ කළා. ගෝඨා එහි කුඨප්ප්‍රාප්තිය.

අරගලය එන්නේ එක පැත්තකින් ආර්ථික අර්බුදය එක්ක උනාට ඒ එක්කම අර සම්ප්‍රදායික දේශපාලනයේ අවුල් ප්‍රමාණයක් ගැනත් සමාජය කතාකරන්න ගත්ත. ඒ හඬ උස් හඬක් උනා සමාජය ඇතුලේ. වගේම ලෝකය පුරාම ඒ වෙලාවේ රැව් දුන්නෙත් අලුත් දේශපාලනයක් දෙන්න කියල. මම කියන්නේ ටියුනීසියාවේ, කයිරෝ සහ වෝල් ස්ට්‍රීට් හරහා ගෝල් ෆේස් දක්වා හමා ගිය රැල්ල ගැන. ඒක ලිබරල් අනන්‍යතා රැල්ලක්. අවම වශයෙන් කැරපොත්තන් උනත් අයිති වෙන්නේ නව පරම්පරාවේ අනන්‍යතාව පැත්තට.

මේ අලුත් තත්වය දැක්ක ජාතික ජන බලවේගය එයාලගේ දේශපාලන ප්‍රවේශය අලුත් කළා. පෝස්ටර් ෆොන්ට් එකේ ඉඳන් නායකයාගේ ඇඳුම දක්වා ඔවුන් ලොකු සංඥා වෙනසක් කළා. ඒක ලංකාවේ ආපු හොඳම දේශපාලන කැම්පේන් එකක්.

මේ සියලු දේවල් අවම වශයෙන් සිද්ද වෙන්න අවුරුදු දෙකක් තුනක් යනවා. ඒ කියන්නේ අරගලය ඇවිල්ල, ගෝඨා ගෙදර ගිහිල්ල, රනිල් ඇවිල්ල කොටයක් ඇඳල මැතිවරණයක් එනකම් අවුරුදු තුනක් විතර ගියා. ආසන්න වශයෙන්.

හැබැයි මේ සියලු සංක්‍රාන්ති සිදුවෙද්දී ලංකාවේ ප්‍රධානම විපක්ෂය විදියට අලුත් මුහුණුවරක්, අලුත් භාෂාවක්, අලුත් දේශපාලන සංඥා ප්‍රමාණයක් දෙන්න සහ ඒ හරහා දේශපාලන ආකර්ෂණය (political attraction) තමන් වෙත දිනාගන්න වැඩපිළිවෙලක් සජිත් හෝ ඔහුගේ පක්ෂයට නැතිවෙනවා. නමුත් ඔහුට ලැබෙන සියයට 30 වගේ චන්ද බ්ලොක් එක හැමදාම ලැබුණ. හැබැයි ඉන් ඉස්සරහට යන්න ඔහුට බැරිවෙනවා. 30% ඉන්න සජිත් එතනම ඉන්න කොට 3% හිටපු අනුරලා 50% පහුකරනවා.

මේක තමයි සජිත්ගේ අතිශයින් පැහැදිලි පරාජය.

අලුත් වෙන්න ඕනි තමන්ගේ ආත්මයේ කොටස සජිත් සතුව මේ හැම කාලෙම තිබ්බ. එයාගේ බටහිර අධ්‍යාපනය, ඉංග්‍රීසි දැනුම, පරිබාහිර දැනුම පිළිබද කුතුහලය, විද්‍යාවට සහ තොරතුරුවලට දක්වන කැමැත්ත, සවන් දීම, පරිසරය පිළිබද ලැදියාව, ක්‍රිකට්, කැමරාව, විනෝදාංශ, මියුසික් වගේ මොඩන් පොලිටික්ස් වලට ඕනි මාකට් කරන්න පුළුවන් ඔය හැම දෙයක්ම මේ මනුස්සය තුල තිබිල තියනවා. හැබැයි ඒවායින් තෝරාගත්ත දේවල් ටිකක් එක්ක දේශපාලනය සම්මිශ්‍රණය කරලා අලුත් දේශපාලන ප්‍රක්ෂේපණයක් (new political projection) හදන්න ඒ පක්ෂයට බැරිවෙනවා. ඒ නිසා අවස්තා ගණනාවකදී ඔහුට ලංකාවේ විපක්ෂ නායක ලෙසම ඉන්න සිද්ද වෙනවා.

ඉනුත් විශේෂයෙන් අද දවස ඉල්ලන ‘අලුත් දේශපාලන සංකල්ප රූපය’ (new political image) තනන තැනදී තවමත් සජිත් ඉන්නේ අරගලයක. ඒක තනිකර හදන්න ඕනි එකකටත් වඩා බොක්කෙන් එන්න ඕනි එකක් කියලත් මට හිතෙනවා.

මම දන්නා විදියට මේක තරමක් රාහුල් ගාන්ධි කරමින් ඉන්නවා ඉන්දියාවේ. එයා වැඩේ ඇතුලේ සීරියස්.

අන්තිමට මේ මාසයක් දෙකක් ඇතුලේ විතර සජිත් එයාගේ ප්‍රවේශය සියුම් ලෙස වෙනස්කරමින් ඉන්නවා. දැන් ඔහු සටන්කරනවා. ගේම ඉල්ලනවා. මෙතෙක් කතාකරපු නැති දේවල් කතාකරනවා (ක්‍රිකට් වගේ). මෝටර් ෂෝ බලන්න යනවා (ලක්ෂ 12 විට්ස් ඉල්ලනවා). ටෙක් ප්‍රදර්ශන බලන්න යනවා (සේනක බටගොඩගේ සිංදු ඉල්ලනවා). ඒ පැත්ත හොඳයි. පරස්පරතා මතුකරනවා.

හැබැයි මම කැමතියි ඔහු තවත් දුරට ඔහුගේ මේ ඇත්තටම තමන්ගේ ආත්මය ඇතුලේ තිබ්බ දේවල් දේශපාලනික විදියට සහ අලුත් සමාජ අවශ්‍යතා සහ ඉල්ලුම එක්ක නිර්මාණශීලි විදියට ගැටගහනවා නම්.

මම හිතනවා ඒක සාර්ථක උනොත් දැනට නිශ්ශබ්දව ඒ දිහා බලන් ඉන්න ගොඩක් අය ඔහු වෙත එයි කියල.

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග යුද උණුසුම තවත් ඉහළට ; යේමනයේ පිපිරීමක්, රියාද් වෙත මිසයිල ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: යේමනයේ අගනුවර වන...

අදත් (26) ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 26) දිනයේදී උතුරු, උතුරු...

අගමැතිනිය සමග සාකච්ඡා අසාර්ථකයි. ගුරු – විදුහල්පතිවරුන් 30 ලෙඩ වෙයි. සියලුම පාසල් වැසෙන ලකුණු !

අග්‍රාමාත්ය හරිනි අමරසූරිය මහත්මිය සමග ඊයේ (25) සවස පැවති...

කලවාන සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන විවිධ සේවා සමූපාකාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය...