සටහන – රුවන් නෙළුගොල්ල
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ වී සඳහා ඉල්ලුමක් නොමැති හෙයින් ඉතාම කඩිනමින් වී වගාකරන කුඹුරු ඉඩම් ප්‍රමාණය සැලකියයුතු ප්‍රතිශතයකින් අඩුකිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කළයුතු බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා තරයේ අවධාරණය කළේය.
“දැන් අර පරාක්‍රමබාහු රජතුමා ගැන නොකියා යන්න හොඳ නෑ පොලොන්නරුවේ වැඩකට ඇවිල්ලා. පෙරදිග ධාන්‍යාගාරය මිසක් මේක පෙරදිග වීගාරය හරි මොකක්හරි එහෙම එකක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. හැබැයි ධාන්‍යාගාරය අතින් ගත්තොත් අපි මේ වෙනකොට ජාතියක් හැටියට ෆේල්. අනිත් සියලුම ධාන්‍ය වගේ දේවල් විදේශ රටවලින් ගෙන්නලා තමයි අපි පරිභෝජනය කරන්නෙ. මින්නේරියේ ඉඳන් හිඟුරක්ගොඩ ටවුන් එකට එනකල් වටපිට බලබලා ආවෙ, කාට විකුණන්නද මේ වී වවන්නෙ ? කොහෙද ඉල්ලුමක් තියෙන්නෙ ? අපේ වී අලෙවි මණ්ඩලය සතුව තියෙන වී අපි දැන් මේ වෙළඳපොලට දැම්මොත් වී මිල තවත් වැටෙනවා. හාල් මිල තවත් වැටෙනවා. අපිට අපේ කුඹුරුවලින් සැලකියයුතු පංගුවක් වගාකිරීම නතර කරන්න වෙනවාමයි කවුරු කැමති වුණත් අකමැති වුණත්. අනිවාර්යෙන්ම අපට දැනට වගාකරන කුඹුරුවලින් තුනෙන් එකක්වත් ඉක්මනින් අපි අඩු කළේ නැත්නම් අපේ ගොවි මහත්තුරුයි, රටේ ආර්ථිකයයි, කෘෂිකර්මාන්තයයි බරපතළ අර්බුදයකට යනවා. කුඹුරෙන් බාගයක් අතිරේක බෝග වගාකරන්න. මාස් කන්නෙ අස්වැන්න එන්න කලින් අපිට බරපතළ ප්‍රශ්නයක් තියෙනවා – ගොවි මහත්තුරු මෙතන ඉන්නවානෙ – ඔබතුමන්ලා මේ වගාකරනවා, ඇත්ත. හැබැයි විකුණන්න තැනක් නෑ ලංකාවේ ඈ … දැනටත් බඩු තියෙනවා පිරිලා. මේ මොහොතේ ඉල්ලුමක් නෑ”
කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ අද (26) පොලොන්නරුවේදී පැවති ‘සුපිරි වී යාය 10+ ’ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.


