රජය රැස්කරන සියලුම ආදායම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, දීමනා හෝ අතිකාල දීමනා ලෙස ගෙවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානාන්ද සුරවීර මහතා පවසයි.
“රටක් ගොඩනගනවා කියන කාරණාව ජාතික ජන බලවේගයට බලය දුන් පමණින්ම ඉටුවෙන එකක් නෙවෙයි, ඒක රටක් විදියට රටේ පුරවැසියන්ගේ වගකීම. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාගෙ වගකීමත්. අපේ රටේ ආර්ථිකයට සාපේක්ෂව තමයි අපි යම් යම් දේවල් කළයුතු වෙන්නේ. රටක් හැටියට අපි රැස්කරගන්න සියලුම ආදායම් වැටුප්, දීමනා හෝ අතිකාල ලෙස ගෙවන්න බෑ. එහෙම රටක් ඉස්සරහට යන්නෙ නෑ. රාජ්‍ය සේවකයා අපේ රටේ සංවර්ධනය ඉලක්ක කරගෙන වැඩ කළයුතුයි. රාජ්‍ය සේවකයෝ අරගල කරන්න ඕනෙ නෑ, කළුපටි බඳින්න ඕනෙ නෑ. අපි රාජ්‍ය සේවකයා ඇතුළු සමස්ත රටේ ජනතාවම සුඛිත මුදිත රාජ්‍යයක් කරා අරගෙන යන සිහිනයක තමයි ඉන්නේ”
දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹ දී පැවති ‘අයවැය සහ වැඩකරන ජනතාව’ – වෘත්තීය සමිති නියෝජිත හමුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


