ශ්‍රී ලංකාවේ අවුරුදු 15-24 වයස් කාණ්ඩය අතර HIV ආසාදිතයින්ගේ ඉහළ යාමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර HIV ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව සෞඛ්‍ය බලධාරීහු අවධානය යොමු කර ඇති අතර, දත්ත වලින් පෙනී යන්නේ වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන්නන්ගේ ආසාදන සංඛ්‍යාවේ ක්‍රමානුකූල වර්ධනයක් පවතින බවයි.

දෙසැම්බර් 1 වැනිදාට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනයට පෙර මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ “ඒඩ්ස් තුරන් කිරීමට සේවාවන් වෙනුවෙන් එක්වෙමු” (Unite for Services to End AIDS) යන්නයි. HIV වැළැක්වීම, පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය නිලධාරීහු මෙම ප්‍රවණතාව පිළිබඳව කරුණු අනාවරණය කළහ.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මාධවී ගුණතිලක මහත්මිය ප්‍රකාශ කළේ මෑත වසරවලදී අලුතින් හඳුනාගත් HIV ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි. 2025 වසරේදී පමණක් ජාතික වැඩසටහන මගින් නව HIV ආසාදිතයින් 874 දෙනෙකු හඳුනාගෙන තිබේ.

UNAIDS සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ 8,700කට ආසන්න පිරිසක් HIV ආසාදිතයින් ලෙස ජීවත් වී ඇති අතර, එම සංඛ්‍යාවෙන් සියයට 87ක් පමණ පිරිමි පුද්ගලයින් වේ.

2010 වසරේ සිට මේ දක්වා දත්ත සමාලෝචනය කිරීමේදී අවුරුදු 15-24 වයස් කාණ්ඩය අතර HIV ආසාදනවල ක්‍රමානුකූල නමුත් ස්ථාවර වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, සෞඛ්‍ය බලධාරීන් මෙම ප්‍රවණතාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් වෛද්‍ය ගුණතිලක මහත්මිය පැවසුවාය.

කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබා ගන්නේ නම් HIV යනු තවදුරටත් මරණ වරෙන්තුවක් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කළහ. දිවයින පුරා පිහිටි රජයේ ලිංගික සෞඛ්‍ය සායන සහ රජයේ රෝහල් හරහා ඵලදායී ප්‍රතිකාර නොමිලේ ලබා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය විනු ධර්මකුලසිංහ මහතා සඳහන් කළේය.

පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි වෛද්‍ය විනු ධර්මකුලසිංහ මහතා, රජයේ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හරහා රහස්‍යභාවය සුරැකෙන පරිදි HIV පරීක්ෂණ සිදු කර ගත හැකි බව පෙන්වා දුන්නේය. එමෙන්ම, පරිශීලකයින්ට තම අවදානම තක්සේරු කර ගැනීමට, අසල පිහිටි ලිංගික සෞඛ්‍ය සායනවලින් වේලාවන් වෙන් කර ගැනීමට සහ ස්වයං-පරීක්ෂණ කට්ටල (self-testing kits) නිවසටම ගෙන්වා ගැනීමට පවා ඉඩ සලසන know4sure.lk වෙබ් අඩවිය පිළිබඳව ද ඔහු කරුණු ඉදිරිපත් කළේය.

ප්‍රතිකාර ක්‍රමවල සිදුව ඇති ප්‍රධාන දියුණුව HIV සමඟ ජීවත් වන පුද්ගලයින්ගේ ජීවිත පරිවර්තනය කර ඇති බව විශේෂඥ වෛද්‍ය උමේධා ජයසිංහ මහත්මිය පැවසුවාය. නවීන ඖෂධ වඩාත් ඵලදායී වන අතර අතුරු ආබාධ අඩු බවත්, බොහෝ විට දිනකට එක් පෙත්තක් පමණක් ලබා ගැනීමට තරම් ඒවා සරල වී ඇති බවත් ඇය සඳහන් කළාය.

ගෝලීය වශයෙන් හඳුන්වා දෙන නවතම ප්‍රතිකාර ක්‍රම අතර මාස කිහිපයකට වරක් ලබා දිය හැකි දිගුකාලීන ක්‍රියාකාරී එන්නත් ඖෂධ (long-acting injectable medicines) ඇතුළත් වන බව පැවසූ ඇය, එය HIV ප්‍රතිකාර හා පර්යේෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර ප්‍රගතිය පිළිබිඹු කරන්නක් බවද පෙන්වා දුන්නාය.

වගකීම්සහගත ලිංගික හැසිරීම් සහ විශ්වාසවන්ත සහකරුවෙකුට පමණක් ලිංගික සබඳතා සීමා කිරීම ඇතුළු රෝගය වැළැක්වීමේ ක්‍රමවේදවල වැදගත්කම සෞඛ්‍ය බලධාරීහු නැවතත් අවධාරණය කළහ. නව HIV ආසාදන අවම කිරීම සඳහා ජෛව වෛද්‍ය වැළැක්වීමේ උපායමාර්ග (biomedical prevention strategies) ලොව පුරා වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව විශේෂඥයෝ පැවසූහ.

තරුණ වයස් කාණ්ඩ අතර ආසාදන ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින්, මෙරට පවතින නොමිලේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති. HIV ව්‍යාප්තිය පාලනය කිරීමට සහ ආසාදිතයින්ට නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඇති වඩාත්ම ඵලදායී මෙවලමක් වන්නේ කල්තියා රෝගය හඳුනා ගැනීම බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලලිත් – කුගන් නඩුවට සාක්ෂි දෙන්න ගෝඨාභය අධිකරණයට එද්දී යුක්තිය වෙනුවෙන් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් (ලලිත් -...

පොලිසියට විද්‍යුත් යතුරුපැදි 65,000ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පොලිස් නිලධාරීන් සඳහා රුපියල්...

මන්ත්‍රී චාමර සම්පත්ට සහ පෞද්ගලික ලේකම්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...