රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW:
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂිකව පවත්වනු ලබන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාස මාලාවේ 12 වන අදියර වන ‘මිත්‍ර ශක්ති – XII’ (Mitra Shakti – XII), 2026 නොවැම්බර් 13 සිට 26 දක්වා සති දෙකක කාලයක් පුරා මදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් විය.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 17 දෙනෙකු සහ සෙසු නිලයන් 153 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද, ඉන්දීය යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද සහභාගී වූහ. මීට අමතරව, අභ්‍යාසය පාලනය කිරීමේ සහ සහාය සේවා කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයින් 650 කට අධික පිරිසක් මෙම අභ්‍යාසය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද මෙම වැඩසටහන පුරාවටම සිය සහාය ලබා දුන්නේය.

මෙම අභ්‍යාසයට බලඇණි මට්ටමේ කැරලිකාර මර්දන මෙහෙයුම්, ගුවන් සහාය ඒකාබද්ධ කිරීම, නාගරික සහ වනාන්තර යුද මෙහෙයුම්, සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස, සැඟවී පහර දීමේ මෙහෙයුම්, හමුදා රථ පෙළ ආරක්ෂා කිරීම සහ මහජන සාමය පවත්වාගෙන යාමට සහාය වන මෙහෙයුම් ඇතුළත් විය.
තවද, සහභාගී වූ භට පිරිස් වෙත විශේෂ බලකා පුහුණු පහසුකම් නිරීක්ෂණය කිරීමටත්, නවීන යුද පුහුණු උපකරණ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත්, විවිධ මෙහෙයුම් අවස්ථාවන්ට මුහුණ දීම සඳහා සකස් කරන ලද ප්‍රායෝගික අභ්‍යාසවල නිරත වීමටත් අවස්ථාව ලැබුණි.

‘බලකොටු ගම්මානයකට පහර දීම’ (Assault on Fortified Village) යන තේමාව යටතේ පැවති මෙම අභ්‍යාසයේ අවසාන ප්‍රායෝගික අදියර, 2026 නොවැම්බර් 25 වන දින මදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී සාර්ථකව පවත්වන ලදී. මෙම ප්‍රායෝගික නිරූපණය මගින්, අනුකරණය කරන ලද හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේදී සහභාගී වූ භට පිරිස් සතු උපක්‍රමික හැකියාවන්, යුද සූදානම සහ ඒකාබද්ධ මෙහෙයුම් කාර්යක්ෂමතාව මනාව විදහා දැක්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ සහාය ආරක්ෂක උපදේශක යන මහත්වරුන් ද, වෙනත් සම්භාව්‍ය අමුත්තන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




