දිට්වා ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණ අනුස්මරණ ජාතික වැඩසටහන බදුල්ලේදී!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටු ව්‍යසනයේ පළමු වර්ෂ පූර්ණය නිමිති කරගනිමින්, මියගිය සහ අතුරුදහන් වූ ජනතාව සිහිපත් කරමින් නොවැම්බර් 26 වැනි දා බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේ දී ජාතික වැඩසටහන පැවැත්විය.

එම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ මෙරට ජනතාව දිට්වා වැනි ස්වාභාවික විපත්වලදී දක්වන මනුෂ්‍යත්වයේ බැඳීම රට ගොඩනැඟීමේ කාර්යයේදී ද ශක්තිමත්ව පැවතීම ඉතා වැදගත් කාරණයක් බවයි.

ඌව පළාත් සභාව සහ බදුල්ල – මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, එයට සමගාමීව මියගිය සහ අතුරුදහන් වූ ජනතාව වෙනුවෙන් පැවති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායන පින්කම සඳහා ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී වූවාය. අග්‍රාමාත්‍යවරිය එහි දී දිත්වා ව්‍යසනයෙන් දිවි අහිමි වූ ජනතාව සිහිකර පුෂ්පෝපහාර දැක්වීය.

එහිදී අග්‍රාමාත්‍යතුමිය, ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේ භාරකාර ධූරන්දර, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.

​එමෙන්ම, දිට්වා වර්ෂ පූර්ණය සිහිපත් කරමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ද අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

​මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නේ දිට්වා ව්‍යසනයේ විනාශය මධ්‍යයේ පවා මෙරට ජනතාවගේ මනුෂ්‍යත්වය නොබිඳුණු බවයි.

තමන්ගේ සියලු අපහසුතා පසෙක තබා තවත් අයෙකුගේ ජීවිතයක් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් ශක්තියක් වීමට දිවයිනේ නන් දෙසින් විපතට පත් ප්‍රදේශ වෙත ආ පොදු ජනතාවගේ කැපවීම අග්‍රාමාත්‍යවරිය ඇගයීමට ලක් කළාය.

​විශේෂයෙන්ම ව්‍යසනයෙන් අඩු බලපෑමක් එල්ල වූ දිස්ත්‍රික්කවල ජනතාව මහනුවර, බදුල්ල සහ පුත්තලම වැනි දැඩි හානියට පත් ප්‍රදේශවලට පැමිණ දින ගණනාවක් රැඳී සිටිමින් ජන ජීවිත යළි ගොඩනැඟීම සඳහා කළ කැපකිරීම සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, සියලු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම ස්වේච්ඡා සංවිධාන ද තම ජීවිත අවදානම පවා නොතකා ජනතාව වෙනුවෙන් ඉටු කළ සේවය කෘතවේදීව සිහිපත් කළාය.

​එමෙන්ම, ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන් මෙම ව්‍යසන අවස්ථාවේ විශාල ශක්තියක් වෙමින් කටයුතු කළ ආකාරය ගෞරවයෙන් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, ඓතිහාසික මුතියංගන විහාරස්ථානය හරහා විපතට පත් ජනතාව වෙනුවෙන් මේ දක්වා සිදු කළ ඉමහත් සේවයට ස්තූතිය පළ කළාය. ව්‍යසනයකදී පමණක් නොව රටේ සංවර්ධන ගමනේදී ද සියලු ජනතාව එකිනෙකා ගැන සිතමින් සාමූහිකව කටයුතු කිරීම රටක් ලෙස ඉදිරියට යාමට ඇති ප්‍රබලතම ශක්තිය බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

​වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

​”ව්‍යසනයකින් පස්සේ රටක් නැවත ගොඩනඟනවා කියන්නේ විනාශ වුණ ගොඩනැඟිලි, මාර්ග සහ පාලම් යළි ඉදිකිරීම පමණක් නොවෙයි. බිඳවැටුණු මිනිස් ජීවිත යළි ශක්තිමත් කරන එක, සමීපතමයන් අහිමි වූ පවුල්වලට ශක්තියක් වෙන එක, ජනතාවට අහිමි වූ ජීවනෝපායන් යළි ගොඩනැඟීම, දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වගේම නැවත මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට සිදු නොවන ආකාරයේ සුරක්ෂිත අනාගතයක් ජනතාවට තහවුරු කිරීමත් අපේ වගකීමක්.

​දිට්වා ව්‍යසනයෙන් ඔබට අහිමි වූ සියලු දේ අපට නැවත ලබා දෙන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් ඔබේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය, සහයෝගය සහ රැකවරණය ලබා දීම වෙනුවෙන් අපි අපේ උපරිම කැපවීම කරනවා. ඒක අපේ වගකීම. ඒ වගකීමෙන් අප කිසිවිටෙකත් බැහැර වෙන්නේ නැහැ. ජාති, ආගම්, පළාත් හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව ඔබ වෙනුවෙන් අවශ්‍ය සෑම මොහොතකම ඔබ සමඟ සිටින බවටත්, ඔබ අත්නොහරින බවටත් අපි යළිත් සහතික කරනවා.

මෙම අවස්ථාව ආමන්ත්‍රණය කළ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මෙසේ පැවසීය,

”​පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දිත්වා සුළි කුණාටුවේ බලපෑම ආරම්භ වන විට පාර්ලිමේන්තුවේ අයවැය විවාද පැවැත්වෙමින් තිබුණා. මට මතකයි, නොවැම්බර් 26 දිනම ජනාධිපතිතුමා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවා සාකච්ඡා කරමින්, පාර්ලිමේන්තු කටයුතු දින කිහිපයකට අත්හිටුවා ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා තම තමන්ගේ ප්‍රදේශ වෙත යන ලෙස ඉල්ලා සිටියා. එතැන් සිට අප ආරම්භ කළ සහන සැලසීමේ ක්‍රියාවලිය අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මේ ව්‍යසනයෙන් ලක්ෂ තිහකට ආසන්න ජනතාවක් සෘජුවම පීඩාවට පත්වුණා. ජීවිත අහිමි වුණා. මාර්ග අවහිර වුණා. රෝහල්, පාසල්, රාජ්‍ය ආයතන, කර්මාන්ත මෙන්ම ආගමික ස්ථාන පවා ආපදාවට ගොදුරු වුණා. සමස්ත රටේම සාමාන්‍ය ජන ජීවිතය බරපතළ ලෙස බිඳවැටුණා.
​
අපට අහිමි වූ ජීවිත නැවත ලබා දීමට නොහැකි වුවත්, ජීවතුන් අතර සිටින ජනතාවට අහිමි වූ දේ නැවත ලබා දීමට පමණක් නොව, ඔවුන්ට තිබුණාටත් වඩා යහපත් ජීවිතයක් උදා කර දීමට අප සියලු දෙනා කැපවෙනවා. ඒ වෙනුවෙන් රජය භාණ්ඩාගාරයේ සම්පත් උපරිමයෙන් යොදවමින් විපතට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු කළා. ඒ වගේම දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් සහ සමස්ත ජනතාව ලෙස අපට තවමත් විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ නිසා මෙම ව්‍යසනයේ දෙවැනි වර්ෂ පූර්ණය සමරන අවස්ථාව වන විට ජනතාවගේ මූලික ගැටලු විසඳා ඔවුන්ගේ ජීවිත යළි ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරි වසරේදී මීටත් වඩා කැපවීමෙන් කටයුතු කිරීමට අප සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතුයි.

​මෙම අවස්ථාව සඳහා ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේ භාරකාර ධූරන්දර, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මුරුද්දෙණියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවණීය මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර ජේ. එම්. කපිල ජයසේකර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් ද, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා තැපැල්පති රුවන් සත්කුමාර, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගල යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීන් ද, දිත්වා ව්‍යසනයෙන් ජීවිත අහිමි වූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘මිත්‍ර ශක්ති – XII’ (Mitra Shakti – XII), 2026 සාර්ථකව අවසන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකා යුද්ධ හමුදාව...

ලලිත් – කුගන් නඩුවට සාක්ෂි දෙන්න ගෝඨාභය අධිකරණයට එද්දී යුක්තිය වෙනුවෙන් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් (ලලිත් -...

පොලිසියට විද්‍යුත් යතුරුපැදි 65,000ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පොලිස් නිලධාරීන් සඳහා රුපියල්...

ශ්‍රී ලංකාවේ අවුරුදු 15-24 වයස් කාණ්ඩය අතර HIV ආසාදිතයින්ගේ ඉහළ යාමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ තරුණ පරපුර...