පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මස 20 වනදාට පෙර පවත්වන බවට සහතිකයක් – මැතිවරණ කොමිසම

0
501

ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය.

ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය සඳහා කොමිසමක් පත් කිරීමත් සමග පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දා පැවැත්වීමට නොහැකි බව මේ වනවිට විවිධ මත පළ වේ.

මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට කොමිසමක් පත් කිරීමෙන් පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දාට පෙර පැවැත්වීමේ කිසිදු බාධාවක් නොමැති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය දා පැවසීය. මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341 ක් වේ.

ජනතා පරමාධිපත්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමට ලැබුණු සුභ පණිවිඩයක් බව බොහෝ දේශපාලන පක්ෂ නායකයන් පෙන්වා දෙයි.

රෂිකා හෙන්නායක
2022.11.17