දේශපාලනඥයින්ගේ වියදම් කැපීම ගැන ….

Date:

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා රජයේ අයවැය හිඟය අඩු කර ගැනීමේ අවශ්‍යතාවය ගැන හා ඒ සඳහා ආදායම් වැඩි කර ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය ගැන ලිපි කිහිපයකින්ම පෙන්වා දුන්නා. ආදායම් වැඩි කර ගැනීම අයවැය හිඟය අඩු කර ගැනීම සඳහා කළ හැකි එකම දෙය නෙමෙයි. වියදම් කැපීම මගිනුත් මෙය කළ හැකියි.

කෙසේ වුවත්, මෙහි දිගින් දිගටම නැවත නැවත විස්තර කර ඇති පරිදි, ආදායම් වැඩි කර ගැනීමේ මෙන්ම වියදම් කැපීමේද ප්‍රායෝගික සීමාවන් තිබෙනවා. ආදායම් පැත්ත ගැන තරමක් කතා කර ඇති නිසා දැන් අපි වියදම් පැත්තටත් එමු.

වියදම් කැපීම ගැන කතා කරන ගොඩක් අයට මුලින්ම මතක් වෙන්නේ දේශපාලනඥයින්ගේ අනවශ්‍ය, නාස්තිකාර වියදම්. මේ අනවශ්‍ය, නාස්තිකාර වියදම් පිළිබඳ චෝදනාව පදනමක් නැති එකක් නෙමෙයි. ඇහැට පේන දෙයක්. මම එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. එහෙත්, මේ ආකාරයේ වියදම් කැපීම මගින් පමණක් අයවැය හිඟය පියවා ගත හැකි බව දරුණු මුලාවක්.

මම පහත සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නේ කිසිදු අයුරකින් අනවශ්‍ය, නාස්තිකාර වියදම් කපා හැරීම අධෛර්යය කරන්නට නෙමෙයි. ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්නයි. යෝජිත 2023 අයවැයෙන් දේශපාලනඥයින්ගේ වියදම් ඇතුළත් වන වැය ශීර්ෂ පහත තිබෙනවා.

ජනාධිපති වරයාගේ වැය ශීර්ෂය = රුපියල් මිලියන 2,800

අග්‍රාමාත්‍ය කාර්යාලය = රුපියල් මිලියන 926

අමාත්‍ය මණ්ඩල කාර්යාලය = රුපියල් මිලියන 178

පාර්ලිමේන්තුව = රුපියල් මිලියන 3,699

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය = රුපියල් මිලියන 70

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය = රුපියල් මිලියන 159

විපක්ෂ නායක කාර්යාලය = රුපියල් මිලියන 216

මේ වියදම් සියල්ලේ එකතුව = රුපියල් මිලියන 8,047

අපේක්ෂිත ආදායම = රුපියල් මිලියන 3,433,000

ආදායමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.23%

ණය ගෙවීම්ද ඇතුළුව මුළු වියදම = රුපියල් මිලියන 7,879,499

මුළු වියදමේ ප්‍රතිශතයක් ලෙස ඉහත වියදම = 0.10%

ඉහත වියදම් සියල්ල දේශපාලනඥයින්ගේ වියදම් නෙමෙයි. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවේ වියදම් වලින් සැලකිය යුතු කොටසක් එහි සේවකයින්ගේ වියදම්. ඔවුන් දේශපාලනඥයින් හෝ දේශපාලන පත්වීම් ලැබූ අය නෙමෙයි. අනෙක් අතට, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ වියදම් මෙහි ඇතුළත්ව නැහැ. ඒ වගේම, වෙනත් වැය ශීර්ෂ යටතේ “සැඟවුණු” වියදම් ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා, මම මේ සංඛ්‍යාලේඛණ වලට ලොකුවට බර තබන්නේ නැහැ.

කෙසේ වුවත්, මේ සියල්ල ලිහිල් ලෙස (conservatively) සලකා බැලීමෙන් පසුව වුවත්, දේශපාලනඥයින්ගේ වියදම් මුළු වියදම් වලින් 0.5%ක්වත් විය නොහැකියි. ඒ නිසාම, මේ වියදම් කොයි තරම් අඩු කළත්, පවතින වියදම් වලින් 99.5%ක්වත් එළෙසම පවතිනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. බොහෝ විට එම ප්‍රමාණය 99.9%ක් පමණම විය හැකියි.

මේ හේතුව නිසා අනවශ්‍ය වියදම් සාධාරණීකරණය වෙන්නේ නැහැ. අඩු වශයෙන් ආදර්ශයක් ලෙස හෝ දේශපාලනඥයින් විසින් හැකි හැම වියදමක්ම කපා දැමිය යුතුයි. ආරක්ෂක වියදම් ගැන ඉදිරි සටහනකින් කතා කරමු.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...