සෑම දිනකම උදෑසන හයට සහ සවස හයට කඳවුරේ පරිපාලනයෙන් පැමිණ රැඳවියන්ව ගණන්කරනු ලබයි. එහිඅරමුණ කිසිවෙකු හෝ රහසේ පැනගොස් ඇද්දැයි පරීක්ෂා කිරීමය. මේ ගණන් ගැනීම සඳහා රැඳවියන් ශාලාවේ මිදුලට පැමිණ පෝලිම් විය යුතුය.
උපවාසයේ තෙවන දිනයේ සවස පරිපාලන ඒකකයේ එක් සැර පරුෂ නිලධාරියෙක් තවත් පොලිස් බටයන් පහලොස් දෙනෙකු සමඟ මේ ගණන් ගැනීම සඳහා කඳවුරු මිදුලට පැමිණියේය.
කඳවුරේ රැඳවියන් විසින් මේ නිලධාරියා හැඳින්වූයේ “මරුමුස්” යන නමිනි. හේතුව මීට පෙර රැඳවියන්ගේ අතපය කඩා දැමූ ධරුණු පහරදීම්වලට සහ කඳවුරෙන් පලායන්නවුන්ට පන්නපන්නා වෙඩි තැබීමේ සිද්දිවලට මේ නිලධාරීයා ඝෘජුවම සම්බන්දවී තිබීමයි.
එදා “මරුමුස්” පැමිණෙන විට පෝලිම් වීමට මිදුලට පැමිණ සිටියේ රැඳවියන්ගෙන් අඩක් පමණි.
එහිදී එළියට නොපැමිණි රැඳවියන් එසේ නොපැමිණියේ තමන්ව කෙයාර් නොකිරීම නිසා යැයි සිතූ නිලධාරීයා (මරුමුස්) එළියට නොපැමිණ සිටි රැඳවියන්ගේ නම් සහ අංක ලියාගන්නා ලෙස පොලිස් බටයෙකුට අනකර සිටියේය. (ඔවුන් එසේ නම් ලියාගනු ලබන්නේ පසුව තනිතනිව පිටතට රැගෙන ගොස් එල්ලා පහර දීමටය)
මෙහිදී ඒවන විට එළියට එළියට පැමිණි සිටි රැඳවියන්ද “එහෙනම් අපේ නමුත් ලියාගන්න” යැයි නිලධාරීයාට අභියෝග කරමින් ගනන් ගැනීමට සහබාගී නොවී ශාලාව තුලට යන්නට විය.
ඒ මොහොතේ මරුමුස් අසලට ගිය පොලොන්නරුවේ ලෙස්ලි අය්යා විසින් ඇතුලේ ඉන්නේ වේල් ගනනාවක් ආහාර නොගැනීම නිසා අඩපනව ඇති මිනිසුන් බවත් තාමත් ශරීර සෞඛ්‍ය යහපත් අය මෙසේ ගණන්ගැනීමට සහබාගීවීම සඳහා එළියට පැමිණ ඇති බවත් මෙය ඉතාම අහිංසක අරගලයක් බවත් මරුමුස්ට පවසා සිටියේය. අනතුරුව ඔහු ” ඔෆිසර් ඔබට අවශ්‍ය මෙතන නැති ප්‍රශ්නයක් ඇතිකරන්නදැයි” මරුමුස්ගෙන් ප්‍රශ්න කර සිටියේය.
කෙසේ හෝ ඒ මොහොතේ ලෙස්ලි අයියාගේ බුද්ධිමත් නිර්භීත තර්ක විතර්ක මැද නිලධාරීයා තමන්ගේ බට කන්ඩායමත් සමඟ නිශ්ශබ්දව කඳවුරු බිමෙන් පිටවන්නට විය. ඉන් පසුව උපවාසය අවසන් වන තුරුම රැඳවියන් ගණන්කිරීමට ඔවුන් කඳවුරැ ශාලා තුලට පැමිණියේ නැත.
මේ සිදුවීම සිදුවූ දින සවස්වන විට කඳවුර පිටත බූමිය අවිගත් පොලිස් බටයන්ගෙන් පිරීයන්නට විය. ඒ සමඟම කඳවුර අසල පිහිටි පළ්ලෙකැළේ හමුදාකඳවුරේ සිට හමුදා ට්‍රක් රථ හයක් පමණද රැඳවුම් කඳවුරු පරිශ්‍රයට පැමිණියේය. ඊට හේතුව තමන්ගේ පරිපාලනයෙන් ගිළිහුනු උපවාසයේ නියුතු රැඳවියන් යම් ප්‍රචන්ඩ ප්‍රවේශයකට පිවිසෙතැයි පරිපාලනය විසින් සිතූ නිසා විය හැකිය.
මේ තත්වයන් තුල උපවාසයේ මේ තෙවෙනි දිනයේදී කඳවුර මතවාදීව කොටස් දෙකකට බෙදින. එක් කන්ඩායමක් උපවාසය ජයග්‍රහණය කරන තුරුම අකන්ඩව කරගෙන යායුතු බව පැවසූ අතර අනෙක් පිරිස කඳවුර පිටත හමුදාව යොදවා තිබීම සම්බන්දව බියවී තිබින.
රැඳවියන් නිරාහාරව සිටින මොහොතේ ඇතුලට කඩාවදින පරිපාලනයේ දරුණු පහදීමකට රැඳවියන් ගොදුරුවෙතැයි ඔවුන් තැතිගෙන තිබින. එසේ හෙයින් ඔවුන් යෝජනා කර සිටියේ දැන් අප උපවාසය නවතාදමා ආහාර ගැනීමට සූදානම් බව පරිපාලනයට දැනුම් දියයුතු බවය.
මේ අවදිය වනවිට පරිපාලනය විසින් කඳවුරේ තොරතුරු සහ රහස් දැනගැනීම සඳහා සොරකම් හා මත්ද්‍රව්‍ය වලට සම්බන්ද සිවිල් සිරකරුවන් කීපදෙනෙක්ද රැඳවියන් අතරට ඇතුල් කොට තිබින. මෙහිදී බොහෝවිට මේ පසුබෑමට ඔවුන්ගේ බලපෑමද හේතුවී තිබින.
මෙහිදී නැවතත් හදිසියේම ලෙස්ලි අයියා මුළු ශාලාවේම රැඳවියන් කැඳවා ඔවුන්ව පැහැදිලි හඬින් ආමන්ත්‍රණය කරන්නට විය. මට මතක විදියට ලෙස්ලි අයියා කතාව ආරම්බ කලේ මෙසේය.
“මිනිසා තනිතනිව ගත් කල ආත්මාර්තකාමීවේ නමුත් පොදුවේ ගත් කල පරාර්ථකාමීය ….”
අප මේ සිටින්නේ දේශපාලන සිර කඳවුරක මිස සිවිල් සිරගෙයක
නොවන බවත් දේශපාලන සිරකරුවන් යනු සිරගෙවල් බිඳ පලා
යන්නවුන් මිස නිදහස හෝ කෑම වේලක් ඉල්ලා දනගසන්නවුන්
නොවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
මේ මොහොත වනවිට රැඳවියන් නිරාහාරව බිම වැටී සිටියදී ඊට
බියවී පොලිස් අතිරේක සේනාංකයද කැඳවා ඇති බවත් මේ
මොහොතේ පවා අප ලබා ඇති ජයග්‍රහණය දෙස දෑස් හැර බලන ලෙසත් ඔහු සියළු රැඳවියන්ගෙන් ඉල්ලා සිටියේය.
ලෙස්ලි අයියාගේ මේ කතාවෙන් පසුව උපවාසය නතර කිරීමට යෝජනා කල අය නිහඬවූ අතර මුළු කඳවුරම නැවතත් උපවාසය අකන්ඩව කරගෙන යායුතුය යන තනි මතයට පැමිණියේය.
නිදහස් බූමියක් තුල මිනිසුන් ගේ හැසිරීම හා අවිගත් රාජ්‍ය ත්‍රස්තවාදයක් විසින් වටලා ඇති සිරගෙයක් තුල මිනිසුන්ගේ හැසිරීම අතර වෙනස අහසට පොලොව මෙන් දුරස්තය. සැබෑ සටන්කාමීන් සැබෑ අරගල කරුවන් සැබැවින්ම අපට හඳුනාගත හැක්කේ අඳුරු සිරගෙයක් තුලදී වන උරගාබැලීමක් තුලය.
බොහෝවිට විවෘත ලෝකය තුල බිහිවෙන තොග ගනන් වීරයෝ අඳුරු සිරකුටි තුල දුර්වලව දුර්මුඛව යති .
අද ජීවතුන් අතර නැති එදා කඳවුර තුල සිටි ලෙස්ලි අය්යා නැමති මේ නිර්බීත බුද්ධිමත් මිනිසා ගැන යම් සටහනක් මෙහි තැබිමට මම අදහස් කලෙමි. උසින් අඩි පහක් පමණවූ උපැස් යුවලක් පලඳින කෙසඟ කාලවර්ණ පුත්ගලයෙකුවූ ඔහු 1983 වනවිට ජ.වි.පෙ. පොලොන්නරු දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායකයා ලෙසද එවකට ජ.වි.පෙ. මධ්‍යම කාරක සබාවේ සභිකයෙකු ලෙසද සිට ඇත. පසුව පක්ෂය රහසිගත සන්නද්ධ දේශපාලනයට පිවිසීමට ගත් තීන්දුවත් සමඟ ඊට එරෙහිව ඔහු පක්ෂයෙන් ඉවත්වී තිබින.
මේ අවස්ථාව වනවිට උපවාසය අත් හැරීමට යෝජනා කල කුසගිනි රැඳවියන් සඳහා අප කලින් රහසේ ගබඩාකර තිබූ වියලි ආහාර වලින් කොටසක් ලබා දෙන්නට වූයෙමු. එසේම මේ උපවාසය තුල සිදුවූ දෙකට බෙදීම අපගේ අනාගත මහා උපවාසය සඳහා පෙර අත්දැකීමක් වනබව පසු දිනයකදී ලෙස්ලි අය්යා මා හට පැවසීය ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN
පෙර ලිපි –