Thursday, February 2, 2023
spot_img

Latest Posts

එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (5) මහා උපවාසයට සුදානම් වෙමින්

දිගින් දිගටම අපව මෙසේ දුෂ්කර කොන්දේසීන් තුල රඳවාතබා ගැනීමට එරෙහිව රැඳවියන් වූ අප විසින් යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව රැඳවියන් අතර සාකච්චාවට ගැනුනි. ඒ සඳහා යෝජනා වූ එක් යෝජනාවක් වූයේ රැඳවියන් හයසීය ගණනකගේ මානවහිමිකම් අභියෝගයට ලක්වීම සම්බන්දව ආන්ඩුවේ වගඋත්තර කරුවන්ට එරෙහිව මානවහිමිකම් කොමිසම හරහා නඩුපැවරීමට කටයුතු කිරීමයි.

තවත් යෝජනාවක් වූයේ අපව නිදහස්කරන තුරු අප විසින් මාරාන්තික උපවාසයක් කල යුතුය යන යෝජනාවයි.

මෙහිදී නඩුමගට බැසීමට උවමනා නීති ආධාර ලබාගැනීමට අවශ්‍ය අදාල අංශ කඳවුර තුලට ගෙන්වාගැනීමට අවශ්‍ය ලිපි ලේඛණ කඳවුර තුලදීම සකස්කෙරෙන්නට විය. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කලේ දැනට නවසීලන්තයේ පදිංචිව සිටින කායා සොයුරා විසිනි. එහි සියළු සැලසුම් ඔහු සතු විය. ඒ සඳහා සකස්කරන ලද සියළු ලිපි ලේඛණ රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් හරහා තැපැල් කරවීමට කටයුතු සකස්කර තිබින. සාමාන්‍යයෙන් රැඳවියන්ගේ සියළු ලිපි කඳවුරේ නිලධාරීන් විසින් කියවා පරීක්ෂාකර බලන හෙයින් සියළු ලිපි ලේඛණ ඉතාම රහසිගතව ඥාතීන්ට බාරදීමට කටයුතු යොදා තිබින.

මේ අතර තවත් පිරිසක් මාරාන්තික උපවාසකට සූදානම් වෙමින් සිටියේය. මෙහි සැලසුම වූයේ කඳවුරේ සිටි සියළුම රැඳවියන් මුලින්ම උපවාසය සඳහා ඉඳගෙන පසුව රෝගී අය ඉන් ඉවත් වීමයි. ඊළඟට තමතමන්ට හැකි උපරිමය දක්වා නිරාහාරව සිට එකිනෙකා ඉන් ඉවත්වී අවසානයේ කලින් සූදානම් වී සිටි පහලොස් දෙනෙකුගේ කන්ඩායමක් උපවාසය මාරාන්තික උපවාසයක් දක්වාම පවත්වාගෙන යාමට නියමිතව තිබීමයි.

(මින් ඉදිරියට එහි සිදුවූ සිද්දීන්ට අදාල පුත්ගලයන්ව සඳහන්කිරීමේදී ඔවුන්ට කඳවුර තුල බාවිතා කල අනවර්ත නාමයන්ගෙන් ඔවුන්ව හැඳින්වීමට මා අදහස් කරමි)

මෙහිදී කඳවුරේ සිටි සවිශක්තිමත් පුත්ගලයෙකුවූ “හනුමා”ද (හනුමා කඳවුරෙන් නිදහස්ව එළියට පැමිණ වසර කීපයකට පසුව පුත්ගලික ගැටුමක් තුලදී මියගිය බව පසුව දැනගන්නට ලැබින) “කළු අයියා” ද (ඔහු කඳවුරෙන් පලායෑමට දැරූ උත්සාහයකදී වෙඩි වැදී මිය ගියේය.) “ඒන්ජර්”ද (ඔහු නිදහස්වී එළියට ගියපසු අතුරුදන් විය) යන පිරිස මෙහිදී මැරී වැටෙන තුරුම උපවාසය කිරීමට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්වී සිටියේය.(දැනට ඉතා දීර්ඝ කාලයක් ගතවී ඇති බැවින් ඉදිරිපත්වූ අනෙක් සගයන්ගේ නම් මට මේවනවිට මතක නැත)

පසුකාලයේදී ඔවුන් ගැන මධ්‍යස්ථව සිතන විට මට සිතුනේ ඉතිහාසයේ වීරයන් විදියට අවසන් ගමන් යාමට සිටි මිනිසුන්ට ඒ අවස්තාව ඉතිහාසයේ මගහැරුන හොත් වීරයන් නොවුනද ඔවුන් ජීවිතයෙන් කලින්ම නික්ම යෑමට නියමිත බවය.

මෙහිදී උපවාසයේ පළමු කොටස ලෙස සියළුම රැඳවියන් උපවාසයට සම්බන්ද විය යුතු අදියරේදී දියවැඩියා රෝගීන්, හෘද රෝගීන්ට හා වයෝවෘර්ධයන්ට අවම ආහාරයක් රහසින් හෝ ලබා දිය යුතුයැයි යෝජනා විය.
ඒ අනුව සියල්ලෝම මහා උපවාසයට සූදානම් උනි.

හැමදෙනාම දිනපතා උදේ ආහාරයට ලැබෙන පාන් බාගයෙන් කුඩා පෙත්තක් කපා එක තැනක ගොඩගසයි. ඊළඟට ඒවා අව්වේ වියලා කුඩුකර පැකට් ලෙස සකස් කර පොලොව යට තැනූ රහස් කුටීරයක් තුල ගබඩාකර තැබින.

දිනපතා ලැබෙන දිවා සහ රාත්‍රී බත් වේලෙන් සැවොම බත් මිටක් එක තැනක ගොඩ ගැසුවෝය. ඊළඟට ඒවා අව්වේ වියලා උඳුන්වල බැද කුඩුකර පෙරසේම පැකට් කර පොළොව යට රහස් කුටීර තුල තැම්පත් කෙරෙයි.
ඒ උපවාසයට මූලික අදියරේදී සම්බන්ද වෙන සරීර සෞඛ්‍ය දුර්වල තැනැත්තන් වෙනුවෙනි.

මේ අතර පොළොන්නරුවේ ලෙස්ලි අයියා (ඔහු මීට වසර කීපයකට පෙර වකුගඩු රෝගයක් වැලඳී මිය ගියාය.) ලෝකයේ සිරගෙවල් තුලදී සිදුවූ මහා උපවාස ගැන සහ යාපනයේ උපවාසයෙන් මියගිය තිලීපන් ගැන වීර සාහිත්‍ය කතා දේශනා පවත්වමින් රැඳවියන් දිරිමත් කලේය.

මේ අතරවාරයේ කඳවුර තුල යම් විශේෂ සිදුවීමක් සිදුවිය. එනම් උදෑසන ආහාරවේලට පාන් සමඟ එවා තිබූ පරිප්පු හොද්ද තුල කුඩා ගෙම්බෙකු වැටී තැම්බී තිබීමයි.

මෙහිදී මේ කරුන පාදක කරගෙන මහා උපවාසයට පෙරහුරුවක් ලෙස සමස්ථ කඳවුරම අකන්ඩ උපවසයකට අවතීර්ණ විය යුතුබව ඒකමතිකව තීරනය විය.

මේ උපවාසයේ අරමුණ වූයේ නිදහස ඉල්ලීම නොව කඳවුරේ මුළුතැන්ගේ පාලනය රැඳවියන් අතට ලබාගැනීමය. මන්ද, ඒ දක්වා ලැබුන අහාරවල තිබූ අපිරිසිදු බව මෙන්ම රැඳවියන් සඳහා වෙන්කර තිබූ ආහාර සලාකය අතර මගදී යටි මඩි ගැසීමක් ගැනද අප තුල යම් සැකයක් තිබින.

එසේ හෙයින් අපගේ උපවාසයේ ඉල්ලීම වූයේ රැඳවියන්ගේ ආහාර සලාකය රැඳවියෙකු ඉදිරියේ නිවැරදිව කිරා මැන රැඳවියන්ට ලබාදිය යුතුය, ඊළඟට ඒවා පිසගැනීමේ කාර්‍ය සඳහා කඳවුරේ මුළුතැන්ගෙය අපට ලබාදිය යුතුය, එසේම ආහාර බෙදීමේ කාර්‍ය්යද අපවෙත ලබාදිය යුතුය යන්නය.

මෙහිදී සම්පූර්ණ දිනයක්ම උපවාස තුල ගෙවී ගියේය. නමුත් කඳවුරේ පරිපාලනයෙන් ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් පැමිණියේ නැත.

උපවාසයේ දෙවෙනි දින අපගේ නියෝජිතයෙක් ඔවුන් සමඟ සාකච්චාකිරීමට එවන ලෙස කඳවුරේ නිලධාරීන් විසින් දන්වා තිබින. මෙහිදී අපේ නියෝජිතයා ලෙස අප විසින් පත්කර යවන ලද්දේ ජයේ අයියාය.(ඔහු කොත්මලේ ප්‍රදේශයේ තාමත් සිටී)

එම අවස්ථාවේදී පරිපාලනය සමඟ සාකච්චා කිරීමට ගිය ජයේ අයියාට පරිපාලන නිලධාරීන් විසින් පවසා තිබුනේ මින් පසු ආහාරයට සතුන් වැටීමට ඉඩ නොතබන බව සහ මුළුතැන්ගෙය රැඳවියන්ට ලබාදීම කල නොහැක්කක් බවත් ලෝකෙ කොහෙවත් හිරකාරයන්ට කුස්සි බාරදී නැතිබවත් පවසා ඇටකටු කුඩු නොකරගෙන උපවාසය වහා නතරකර දමන ලෙස දන්වා තිබින.

නමුත් රැඳවියන්ගේ ජවය බිඳ දැමීමට ඒ තර්ජනය කොහෙත්ම ප්‍රමාණවත් වූයේ නැත …..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

පෙර ලිපි –

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.