අවුරුදු 35ක් ගිහිල්ලාත් තවම අපට 13 ක්‍රියාත්මක කරගන්න බෑ – සාකච්ඡාව ගැන රාජිත අදහස් දක්වයි

Date:

ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර ඇති සාකච්ඡාව මීට පෙර අවස්ථාවල මෙන් තවත් කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයන වෑයමක් නොවීමට සියලු පාර්ශ්ව වගබලා ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ආරම්භ වුණු සර්ව පාක්ෂික සාකච්ඡාව පිළිබඳ ලංකා නිව්ස් වෙබ් අප කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“1987 තමයි 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ගිවිසුම් අත්සන් කළේ. දැන් 2022 අවුරුද්දෙත් අපි තවම 13 ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කර කර ඉන්නවා. අවුරුදු 35ක් ගිහිල්ලාත් අපට මේක ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා තියෙනවා. ඕකයි මේ රටේ ඇත්ත තත්වය.

යුද්ධය ඉවර කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පිටරටවලට කිව්වා තර්ටීන් ප්ලස් විසඳුමක් දෙනවා කියලා. එතුමා ලංකාවට කිව්වා තර්ටීන් මයිනස් කියලා. ඔක්කොම නායකයෝ එදා ඉඳන්ම කළේ 13 වැනි සංශෝධනය ගැන බෝලය පාස් කර කර ඉන්න එක. අපි 2015 ආණ්ඩුවෙත් මේ ගැන ලේඛන සකස් කළා, නමුත් ක්‍රියාත්මක කරගන්න බැරිවුණා.

දැන් ඊයේ සාකච්ඡාවෙදීත් මේ 13 එක්ක ඉඩම් ප්‍රශ්නයි වෙන ප්‍රශ්නයි පටළාගන්න යනවා අපි දැක්කා. 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් ආයෙ එතන ඉඩම් ප්‍රශ්නයක් වෙනම එන්නෙ නැහැ නේ …

13 වැනි සංශෝධනයෙන් ඒ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රධානතම ප්‍රශ්න දෙකක් ආමන්ත්‍රණය කළා. එකක් ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය. දෙවැනි එක ඒ අය ජීවත්වෙන ඉඩම් පිළිබඳ අයිතිය. ඔය දෙක තහවුරු කරනවා නම් අනිත් ප්‍රශ්න ඔක්කොම වගේ විසඳෙනවා.

එදා 13 වැනි සංශෝධනයේ කෑල්ලක් අල්ලාගෙන විරුද්ධ වෙච්ච අය අද වෙනකොට එකඟ වෙලා තියෙනවා. නමුත් මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න යද්දී ආයෙ කවුරුහරි විරුද්ධ වෙයි. එහෙමනෙ මේ රටේ වැඩ සිද්ධ වෙන්නෙ.

ඊයේ සාකච්ඡාවේදී ගෙවිඳු කුමාරතුංග හැර අනෙක් සියලුම අය එකඟවුණා මේ ප්‍රශ්නය විසඳන්න ඕනෙ කියන කාරණයට. ඒක ලොකු දෙයක්.

මේ 13 හරියි කියලා කියපු නිසා තමයි එදා විජේ කුමාරතුංග සහෝදරයාව වෙඩි තියලා මැරුවේ. ඒ මරපු කට්ටියත් අද පළාත් සභාවලට ඇවිල්ලා ඉන්නවා. පළාත් සභාවල රිමෝට් කන්ට්‍රෝල් එක තමන්ගේ අතේ කියලාත් ඒ අයගේ නායකයෝ කිව්වා. නමුත් එදා ඔය පළාත් සභාවෙන් රට බෙදෙනවා, පළාතකින් පළාතකට යන්න වීසා ගන්න වෙනවා කියලා තමයි එයාලා විජේ කුමාරතුංග සහෝදරයාව මැරුවේ. දැන් බලමු මේ 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න යද්දී එයාලා මොකද කියන්නේ කියලා.

අපි මේ වතාවෙත් මේක විසඳනවා කියලා බොරුවක් කළොත් ඔය පසුගිය දවස්වල තිබුණා වගේ අරගලයකට උතුරේ තරුණයින් යනවා. ඒක සන්නද්ධ අරගලයක් නෙවෙයි සාමකාමී අරගලයක්. ඒත් ඒකෙන් උතුරේ දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට හැරේවි. එහෙම වුණොත් අලුත්ම පිරිසක් එක්ක තමයි ඉන් ඉදිරියට මේ ප්‍රශ්නය ගැන කතා කරන්න වෙන්නේ. ඊට කලින් අපට සම්බන්ධන්ලා එක්ක මේක කතා කරලා විසඳාගන්න පුළුවන් වෙලාවේ අපි අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනෙ” යැයි පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...