ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ විදෙස් සංචාර වියදම් කප්පාදු කරයි

ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළුව ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිල විදේශ සංචාරවල නිරත වීමේදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අදාළ චක්‍රලේඛය මේ සතියේදීම නිකුත් කෙරෙනු ඇති බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දුක් විඳිද්දී රාජ්‍ය නිලධාරීන් ද කැපකිරීම් කළයුතු බවත් රාජ්‍ය වියදම් අඩුකිරීමේ ප්‍රතිපත්තියට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කෙරෙන බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙම චක්‍රලේඛය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ නිල විදෙස් සංචාරවලදී ඔවුන් නවාතැන් ගන්නා හෝටල් සම්බන්ධයෙන් ද වියදම් සීමාවක් පැනවීමට නියමිත බවත් වාර්තා විය.

නිල විදෙස් සංචාරවලදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමේ වරප්‍රසාදය ලැබූ නිලධාරීන් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, කැබිනට් ලේකම්වරයා, අමාත්‍යාංශ ලේකම්වරුන්, නීතිපතිවරයා සහ මහබැංකු අධිපතිවරයා ද විය.

RN