*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

චීන සහාය නැතුවම IMF සල්ලි ලැබෙයිද ?

දැන් පෙනෙන විදිහට චීනයේ සහයෝගය නැතිවම ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන්නට ඉඩ ඇති බවක් පේනවා. එහෙම වුනොත් අදාළ ණය වාරිකය ලැබෙන්නට වැඩි කාලයක් යන එකක් නැහැ. මේක වෙන්නේ කොහොමද?

මේ ලංකාව අරමුදල වෙත ගිය 17 වන වාරයයි. අරමුදල වෙත යන රටකට අරමුදල සමඟ සාර්ව ආර්ථික වැඩපිළිවෙළකට එකඟ වෙන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි වැඩ පිළිවෙලක් ජනප්‍රිය සාහිත්‍යය තුළ අරමුදල විසින් කොන්දේසි දැමීමක් ලෙස හැඳින්වෙනවා.

අරමුදල සමඟ සාර්ව ආර්ථික වැඩපිළිවෙලකට එකඟ වීමේදී අරමුදල විසින් කොන්දේසි දමනවා කියන එක යම් ආකාරයක අර්ධ සත්‍යයක් පමණයි. මෙහිදී ඇත්තටම සිදුවෙන්නේ වැඩසටහන් කාලය තුළ ආර්ථිකයේ මූලික ප්‍රශ්න වලට පිළියම් යොදාගෙන වැඩ සටහන අවසන් වෙද්දී අරමුදලේ ණය ආපසු ගෙවිය හැකි පරිදි ආර්ථිකය පිළිසකර කර ගන්නා ආකාරය අදාළ රට විසින් පැහැදිලි කිරීම සහ අදාළ වැඩ පිළිවෙළෙහි ශක්‍යතාවය පිළිබඳව අරමුදල විසින් සොයා බලා එකඟ වීමයි.

අරමුදල වෙත නොගොස් ආර්ථිකය ගොඩ දමා ගන්නට බැරි මට්ටමට එන රටක් ඒ වන විට ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට සහ රාජ්‍ය මූල්‍යනය පිළිබඳ ප්‍රශ්න වලට මුහුණ දී තිබීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා, මේ අර්බුද වලින් ගොඩයාම සඳහා බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් කැපීම, විණිමය අනුපාතය නිදහස් කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වීමද සාමාන්‍ය තත්ත්වයක්. අරමුදල වෙත නොගියත් මේ දේවල් කරන්නම වෙනවා.

අරමුදලේ සහයෝගය නැතිව තනිව අර්බුදයෙන් ගොඩ යාමට සාපේක්ෂව, අරමුදල වෙත යාමේදී අමතර වාසි කිහිපයක් ලැබෙනවා. පළමු හා ප්‍රධානම වාසිය ගොඩ යා හැකි සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් හදා ගැනීම සඳහා අදාළ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ලැබෙන තාක්ෂණික සහයෝගයයි.

අරමුදලෙන් ලැබෙන ණය වාරික සැලකිය හැක්කේ දෙවන වාසිය ලෙසයි. එය ප්‍රධානම වාසිය නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ණය වාරික ලැබෙන්නේ රටේ මහ බැංකුවටයි. එම මුදල් සංචිත වලට එකතු වන අතර, රජයට වියදම් කිරීමේ හැකියාවක් නැහැ. එමෙන්ම, අරමුදල සමඟ සාමාන්‍යයෙන් එකඟ වන කොන්දේසි අනුව, මහ බැංකුවට එම අරමුදල් විකුණා නාස්ති කිරීමේ හැකියාවක්ද නැහැ.

තෙවන හා වැදගත්ම වාසිය මෙසේ අරමුදල සමඟ ඇතිකරන්නා එකඟතාවය හේතුවෙන් රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසනීයත්වය ගොඩ නැගීමයි. ඉහත මුල් වාසි දෙක මෙන් සෘජු වාසියක් නොවුනත්, වඩාත්ම ප්‍රතිඵලදායක දෙය මෙම වක්‍ර වාසියයි.

නැවතත් කිව යුත්තේ ඉහත සාමාන්‍ය තත්ත්වය තුළ සිදු වන දෙය අරමුදල විසින් කොන්දේසි දැමීමක් නොවන බවයි. එහෙත්, අදාළ රට විසින් අරමුදලේ තාක්ෂණික සහයෝගයද ලබාගෙන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සකස් කර එම වැඩ පිළිවෙළ මත පදනම්ව අරමුදලෙන් ණය ලබා ගනිමින් අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව අදාළ එකඟතාවය පිළිපැදීම කොන්දේසියක් බවට පත් වෙනවා.

මෙවර තත්ත්වය ඉහත සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස්. අරමුදලේ සහයෝගය ලබා ගැනීම සඳහා ණය තිරසාරත්වය ඇති කර ගැනීම මූලික කොන්දේසියක්. මෙය නිර්දේශයක් නෙමෙයි. අදාළ කොන්දේසිය නොසපුරා අරමුදලේ මූල්‍ය සහයෝගය ලබා ගැනීමේ හැකියාවක් නැහැ.

මේ වෙනසට හේතුව අරමුදල වෙත යන විටද ලංකාව ණය පැහැර හැර අවසන්ව ඇති, ඊටත් පෙර සිටම ණය තිරසාරත්වය නැති කරගෙන සිටි, රටක් වීමයි. ඒ නිසා, පැවති තත්ත්වය තුළ, පෙර අවස්ථා වලදී මෙන් වැඩසටහන් කාලය අවසන් වන විට ණය ආපසු ගෙවීම සහතික කෙරෙන සාර්වආර්ථික වැඩපිළිවෙළක් පිළියෙළ කිරීමේ කිසිදු හැකියාවක් තිබුණේ නැහැ.

ප්‍රායෝගිකව, ණය තිරසාරත්වය ඇති කරගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යව තිබුණා. මෙවැන්නක් කිරීම කල් ගත වන, අසීරු දෙයක්. ඒ නිසාම, අරමුදල විසින් ගිවිසුම අත්සන් කර පළමු ණය වාරිකය ලබා දීමේ කොන්දේසියක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ යුතුයැයි ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියේ මුළු ණය ප්‍රමාණයෙන් කොටසක් වූ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූලික එකඟතාවයක් ඇති කරගෙන, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් ගත යුතු බව පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම සඳහා ඉන්පසුවද කාලය වෙන්ව තිබුණා.

පසුගිය කාලය පුරාම ලංකාවේ අවධානය වැඩි වශයෙන්ම යොමු වී තිබුණේ හැකි ඉක්මනින් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙතයි. මේ හා අදාළව පෙර ලිපි කිහිපයකම වැඩි විස්තර ලියා තිබෙනවා.

පසුගිය (2022) සැප්තැම්බර් අවසානයේදී පැවති තත්ත්වය අනුව, ශ්‍රී ලංකා රජයේ සෘජු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,814ක්. රජය විසින් ඇප වී ඇති රාජ්‍ය ව්‍යවසාය වල ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය මෙයට ඇතුළත් නැහැ. මහ බැංකුවේ ණයද මෙහි නැහැ. මෙම ප්‍රමාණය මධ්‍යම රජයේ මුළු විදේශ ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 35,347න් 31%ක්. ඉතිරි කොටසින් 27%ක් බහුපාර්ශ්වීය ණය වන අතර 42%ක් වාණිජ ණයයි.

ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතර රටවල් 22ක් සිටිනවා. මෙම රටවල් අතරින් රටවල් 15ක් පැරිස් සංසදයේ රටවල්. පැරිස් සංසදය තුළ සිටින්නේ සම්ප්‍රදායිකව දිළිඳු රටවල් වලට ණය දුන් සල්ලි තිබෙන රටවල්. ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් මෙන්ම රුසියාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල්ද පැරිස් සංසදය තුළ සිටිනවා. කෙසේ වුවත්, ලංකාවට විශාල ලෙස ණය දී තිබෙන චීනය, ඉන්දියාව හා මැදපෙරදිග රටවල් පැරිස් සංසදය තුළ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සංගමයේ භූමිකාව ඉතා ප්‍රබලයි. ඔවුන් මෙහිදී කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. පැරිස් සංගමයේ රටවල් අතරින් ලංකාවට විශාල ලෙස ණය ලබා දී තිබුණු එකම රට ජපානයයි. ජපානය විසින් ලංකාවට ඩොලර් මිලියන 2,464ක ණය ලබා දී තිබෙනවා. එය සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 22.8%ක්. පැරිස් සංසදයේ අනෙකුත් රටවල් 14ක් විසින් ලබා දී ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,710ක් (ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 15.8%ක්). මුළු එකතුව ඩොලර් මිලියන 4,174ක් හෙවත් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 38.6%ක්.

කෙසේ වුවත්, චීන ණය ප්‍රමාණය ඉහත රටවල් 15කම ණය ප්‍රමාණයට වඩා වැඩියි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 4,678ක් හෙවත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 43.3%ක්.

ඉතිරි කොටසින් ඩොලර් මිලියන 1,652ක් හෙවත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 15.3%ක් ඉන්දියානු ණයයි. සවුදි අරාබිය, කුවේට්, ඉරානය, හංගේරියාව හා පකිස්ථානය යන රටවල්ද ලංකාවේ ණයහිමියන් අතර සිටිනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් එකඟ වී ඇති ලංකාවේ ණය තිරසාරත්වය නැවත ඇති කරන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක හා අනුගත වන පරිදි සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව මුලින්ම නිල අනුමැතිය ලබා දුන්නා. ඉන් පසුව, පැරිස් සංසදයේ රටවල් වලින්ද මෙම අනුමැතිය ලැබුණා. එම අනුමැතිය ලබා දුන් පැරිස් සංසදයේ ජනවාරි 25 රැස්වීමට ඉන්දියාව මෙන්ම හංගේරියාව, සවුදි අරාබිය හා කුවේට් යන රටවල්ද සහභාගී වුනා. හංගේරියාව සෘජුවම පැරිස් සංසදයේ තීරණය සමඟ රැඳී අතර සවුදි අරාබිය හා කුවේට් රටවල තීරණ හා වලද ලොකු ප්‍රශ්නයක් ඇති බවක් පෙනෙන්නට නැහැ.

ඉහත තීරණ වලින් පසුව, චීනය හැර ඉතිරි වන අනෙක් රටවල් දෙක ඉරානය හා පකිස්ථානයයි. ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 32.9ක් වන අතර පකිස්ථාන රජයෙන් ලබා දී ඇත්තේ ඩොලර් මිලියන 2.1ක් පමණයි. මේ ගොඩවල් දෙක එකතු කළත් මුළු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 0.3%ක් පමණයි. ඒ නිසා, ප්‍රායෝගිකව ඉතිරි වී තිබෙන එකම ප්‍රශ්නය චීනයේ කැමැත්තයි.

ඩොලර් මිලියන 4,678ක් වන චීන ණය වලින් ඩොලර් මිලියන 4,005.8ක්ම චීන එක්සිම් බැංකුව විසින් ලබා දී ඇති අතර, චීන සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 535.2ක ණය මුදලක්ද, චීන රජය විසින් සෘජුවම ඩොලර් මිලියන 14.0ක මුදලක්ද ලංකාවට ණය ලෙස ලබා දී තිබෙනවා. මීට පෙර චීන එක්සිම් බැංකුව විසින් දැනුම් දුන්නේ ඔවුන්ගේ ණය ආපසු ගෙවීම සඳහා දෙවසරක් දක්වා කාලය ලබා දිය හැකි බවයි. එම දෙවසරෙන් වසරකට ආසන්න කාලයක් මේ වන විටද ගෙවී අවසන්. ඉතිරි වසරක කාලය තුළ ඉහත ණය ආපසු ගෙවිය හැකි තරමට රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ හැකියාවක් ලංකාවට නැහැ.

බටහිර රටවල් හා චීනය අතර සීතල යුද්ධයක් පවතින බවත්, ඉන්දියාවද මෙම යුද්ධය තුළ බටහිර රටවල පාර්ශ්වකරුවෙකු බවත් කවුරුත් දන්නා කරුණක්. ලංකාවද කාලයක සිටම මේ සීතල යුද්ධයේ පොර පිටියක්ව තිබෙන අතර, ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය තුළද අඩු වැඩි වශයෙන් ඉහත කඳවුරු වල අවශ්‍යතා නිරූපණය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන තුළ දේශපාලන බලය තිබෙන්නේ බටහිර රටවල් සතුවයි. ඒ නිසා, එම සංවිධාන බොහෝ විට කටයුතු කරන්නේ බටහිර රටවල දේශපාලනික අරමුණු හා අනුගත වන පරිදියි.

ලංකාවේ ආර්ථික අර්බුදය තුළ මුල සිටම ඉහත සීතල යුද්ධයේ පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරිත්වය දැක ගත හැකිව තිබුණා. චීනය විසින් ලංකාව ණය උගුලක පැටලවූ බව ප්‍රචලිත අදහසක්. මෙම අදහස ඇමරිකාව විසින් ජනගත කළ බව කීවොත් එහි ලොකු වැරැද්දක් නැහැ. ට්‍රම්ප් රජයේ උප ජනාධිපති වූ මයික් පෙන්ස් විසින් වසර කිහිපයකට පෙර මේ බව සෘජුවම කිවුවා. ඉහත ප්‍රවාදය පිළිබඳව චීනය මුල සිටම ඔවුන්ගේ නොසතුට නොපැකිළ පෙන්නුවා. ලංකාවේ ණය අර්බුදයට ඇත්ත හේතුව ස්වෛරිත්ව බැඳුම්කර බව චීනය විසින් සැලසුම්සහගතව ජනගත කළ අදහසක්. චීනයට මෙම මතය ලෝක මට්ටමින් ජනගත කළ නොහැකි වුනත්, එම මතය ලංකාව තුළ සාර්ථක ලෙස ජනගත කිරීමට චීනය සමත් වුනා. දැන හෝ නොදැන මේ එක් එක් කඳවුර නියෝජනය කර ඇති ශ්‍රී ලාංකීය දේශපාලනඥයින් හඳුනා ගැනීම අපහසු නැහැ.

ඇත්තම කතාවනම් ලංකාව ණය උගුලක සිර වීමේ වගකීම චීනය වෙත හෝ වෙනත් රටක් වෙත පැටවිය නොහැකි බවයි. මේ කිසිදු රටක් ලංකාවට බලෙන් ණය දුන්නේ නැහැ. අදාල ණය ගිවිසුම් වලට එළැඹුණේ මහජන ඡන්දයෙන් තේරී පත් වූ රටේ නීත්‍යානුකූල පාලකයින්. ඒ අනුව, මෙය අවසාන වශයෙන් රටේ මහජනතාව විසින්ම කරගත් දෙයක්. දැන් ඒ වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවීමට සිදු වී තිබෙනවා. කෙසේ වුවත්, රටේ ආර්ථිකය නැවත ස්ථායී කරගැනීමේ ක්‍රියාවලිය තුළ ලංකාවට ඉදිරියට යාමට සිදුව ඇත්තේ ඉහත සඳහන් චීන-බටහිර සීතල යුද්ධයේ සෙවණැලි අතර සැරිසරමිනුයි. මෙහි බලපෑම රටේ අභ්‍යන්තර දේශපාලනය තුළද දැකිය හැකියි.

පැරිස් සංසදය විසින් මුලින්ම ලංකාව වෙත ඉතා සහනදායී පැකේජයක් යෝජනා කරමින් සිදු කළේ චීනය වෙත පන්දුව දමා ගැසීමක්. මේ ගැන පෙර ලිපි වල ලියා ඇති නිසා නැවත එම විස්තර සියල්ල ලියන්නේ නැහැ. මෙසේ කිරීම මගින් චීනය අකැමැති, චීනයට අවාසිදායක කොන්දේසි වලට චීනය කෙසේ හෝ කැමති කර ගැනීම සඳහා ලංකාවට බල කෙරුණා.

බටහිර රටවල් හා ඉන්දියාව විසින් නොපැකිළ උදවු කරද්දී, චීනය විසින් ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා නොදුනහොත් දිගු කලකට නැවත ප්‍රකෘතිමත් කරගත නොහැකි පරිදි චීන-ලංකා මිත්‍රත්වය පලුදු විය හැකි නිසා චීනය විසින් යම් අවාසිදායක තත්ත්වයක් යටතේ වුවද බටහිර කොන්දේසි වලට එකඟ වීමේ හැකියාවට බටහිර රටවල් විසින් ඔට්ටු දැම්මා වෙන්න පුළුවන්. චීනයේ අනාගත භූ දේශපාලනික සැලසුම් තුළ ලංකාව කොයි තරම් වැදගත්ද යන කරුණ මත මෙය තීරණය විය හැකිව තිබුනා.

චීනය මේ කොන්දේසි වලට එකඟ වූවානම් එය බටහිර හමුවේ දණ නැමීමක් මෙන්ම ලංකාවේ පෙරමුණට අමතරව වෙනත් පෙරමුණු ගණනාවකදී අනාගත පරාජය සලකුණු කර ගැනීමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා බටහිර රටවල් විසින් යෝජනා කළ කොන්දේසි වලට චීනය නැමුනේ නැහැ. මෙම තීරණය ගැනීමේදී ලංකාවේ හොඳහිත පලුදු වීම පිළිබඳව චීනය වැඩි බරක් තැබුවේ නැහැ.

මේ තත්ත්වය තුළ සිදු විය හැකි දේවල් දෙකක් තිබුණා. පළමුවැන්න, චීනයේ සහයෝගය නැති කමින් ලංකාවේ ආර්ථිකය දිගින් දිගටම අස්ථායී තත්ත්වයක පවතින බව ලෝකයට පෙන්වීමට ඉඩ සලස්වමින් බටහිර රටවල් විසින් කල් මැරීමයි. දෙවැන්න, චීනය හමුවේ පරාජය භාර ගනිමින්, චීනයේ සහයෝගය නැතිව බටහිර රටවල් මුල් වී ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීමයි.

දෙවැන්න සිදු වූවානම් එය ලෝක මට්ටමේදී චීනය ලබන ජයග්‍රහණයක්. මෙහිදී චීනයට ඔවුන්ගේ ණය දීමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යාම සඳහා යම් ආකාරයක ලෝක අනුමැතියක් ව්‍යංගයෙන් ලැබෙනවා. අනෙක් අතට පළමුවැන්න සිදු වූවානම්, ඒ හරහා ලංකාවේ සිදුවන දේශපාලන අස්ථාවරත්වය බටහිරට එරෙහි හා චීනයට වඩා නැඹුරු අභ්‍යන්තර දේශපාලන බල තුලනයක් කරා ලංකාව තල්ලු කරනු ඇතැයි චීනය ගණන් හැදුවා වෙන්න පුළුවන්.

දැන් මේ අභියෝගය හමුවේ බටහිර රටවල් විසින් චීනයට නැවතත් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙහිදී ඔවුන් ලංකාවේ ආර්ථික ස්ථායීත්වය තුළින් හැදෙන දේශපාලන බලතුලනය තමන්ට වඩා වාසිදායක සේ ගණන් බලා ඇති බව පෙනෙනවා. ඒ අතර, ලෝක මට්ටමේදී චීනයට නොනැමී මේ වැඩේ කරගන්නට තරම් බටහිර රටවල් උපක්‍රමික වී තිබෙනවා. මෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස ලංකාවට දිගින් දිගටම චීනය සමඟ ගැටෙන්නට සිදු වීම මග හැර යා නොහැකි එකම විකල්පය බවට පත් කර තිබෙනවා.

දැනට පවතින තත්ත්වය තුළ සිදුව ඇත්තේ චීනයේ කැමැත්ත නැතිවම චීනය වෙනුවෙන් බටහිර රටවල් විසින් තීන්දුවක් ගැනීම හා සමාන දෙයක්. ලංකාවට සිදුව ඇත්තේ චීනය අරභයා එම බටහිර තීන්දුව ක්‍රියාත්මක කරන්නටයි. මේ අනුව, චීනය හැර අනෙකුත් රටවල ණය ආපසු ගෙවීම සඳහා එම රටවල් විසින් එකඟ වී ඇති සහන කාලය ලංකාවට ලැබෙනු ඇති අතර, අදාළ සහන කාලය තුළ, චීනය කැමති වුනත් නැතත්, ලංකාවට චීන ණය ආපසු ගෙවිය නොහැකියි. එසේ ණය ගෙවීම පැහැර හැරීම මගින් රටේ ණය තිරසාරත්වය ඇති කර ගත හැකි නිසා ලංකාවට අරමුදලේ වාරිකද ලබා ගත හැකියි.

මේ මුෂ්ඨි ප්‍රහාරයට චීනය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? එම ප්‍රතිචාර කවර ස්වරූපයක් ගත්තත්, කෙරෙන දෙයක් කෙරෙනු ඇත්තේ අභ්‍යන්තර දේශපාලනය තුළ චීනයට කළ හැකි බලපෑම්ද උපරිම වශයෙන් භාවිතයට ගනිමිනුයි. එය සිදුවන ආකාරය ඉදිරි කාලය තුළ නිරීක්ෂණය කරන්නට හැකි වෙයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan