මෙරට ජන අරගලය පැවති සමයේ විවිධ පාර්ශවයන් අරගලය නියෝජනය කළ අතර, එහි දේශපාලනික පක්ෂ නියෝජනය කරමින් පැමිණි පාර්ශව මෙන්ම, තම දේශපාලනික අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ පාර්ශව සහ දේශපාලනික පක්ෂ නියෝජනය නොකළ පාර්ශව ද සිටි බවත්, අරගලය වෙනුවෙන් පෙනී සිටි යම් අයෙකු වර්තමානයේ කුමන දේශපාලන වේදිකාවකට ගොඩවූව ද එය ජාතික ජන බලවේගයට ගැටළුවක් නොවන බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වූ ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සමඟි ජන බලවේගයේ වේදිකාවට ගොඩ වී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරමින් එල්ල කළ දැඩි විවේචනාත්මක අදහස් පිළිබඳ අද (24) දින කැඳවූ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“සෙසු දේශපාලන පක්ෂවලට ජාතික ජනබලවේගය සමග ප්‍රශ්නයක් තිබීම අපට තේරුම් ගත හැකියි. අපේ රටේ දේශපාලනයේ සාම්ප්‍රදායික බෙදීම දැන් අවසන්. දැන් තිබෙන්නේ අලුත් බෙදීමක්. කලින් බෙදීම තිබුණේ නිල් කොළ පක්ෂ අතර. නිල් කියන්නේ එක් පිරිසක්, කොළ කියන්නේ තව පිරිසක් යැයි ඔවුන් සිතුවා. දැන් නිල් කොළ බෙදීමක් තවදුරටත් අපේ රටේ නැහැ. ඊළඟට ජනතාව හිතුවා, පාර්ලිමේන්තුවේ පිරිසක් ආණ්ඩු පක්ෂය පැත්තේත් තවත් පිරිසක් විපක්ෂය පැත්තේත් වාඩිවෙන බව. ආණ්ඩුව හා විපක්ෂය ලෙස බෙදීම මේක තමයි යැයි ඔවුන් හිතුවා. නමුත් අපි දන්නවා, එහෙම බෙදීමක් නැහැ. ඒ නිසා මෙපමණ කාලයක් අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව, ආණ්ඩුකරණය පිළිබඳව, දේශපාලන සංස්කෘතිය පිළිබඳව විවිධ දුර්වර්ණ වූ බෙදීම් තිබුණා. අද ඇත්ත නිශ්චිත බෙදීම ඇති වී තිබෙනවා. ඒ බෙදීම තමයි, ජාතික ජන බලවේගය එක පැත්තකත් අනිත් සියලු දෙනා තව පැත්තකත් සිටීම. ඒ නිසා ඡන්ද පත්‍රිකාවේ ලකුණු ගොඩක් තිබ්බත්, පාර්ලිමේන්තුවේ වෙනස් ආකාරයේ පැති දෙකක් තිබ්බත් ඇත්තටම රටේ තිබෙන්නේ ප්‍රධාන දේශපාලන බෙදීම් දෙකයි. ඒ බෙදීම තමයි, ජාතික ජන බලවේගය සහ අනිත් සියලු දෙනා එකට එකතු වූ බකට් එක. ඇත්තටම තිබෙන්නේ ලකුණු දෙකයි. මාලිමාවයි බකට් එකයි.
අරගලය තුළ විවිධ අය, කණ්ඩායම් හිටියා. අපේ අය හිටියේ අපේ බව කියාගෙන. සමාජවාදී තරුණ සංගමයේ එරංග සහෝදරයා, කලා සංගමයේ ප්‍රේම් සහෝදරයා, සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේවප්‍රිය සහෝදරයා, ජාතික ජන බලවේගයෙන් ජගත්, කැටිපෙ ආදී සියලු දෙනා පෙනී සිටියේ ජාතික ජන බලවේගයේ කොටස්කරුවන් ලෙසටයි. සමහරු තමන්ගේ දේශපාලන ව්‍යාපාරය එළිදරව් නොකර සඟවාගෙන සිටියා. ඇත්තටම දේශපාලන ව්‍යාපාර සමග සම්බන්ධ වූ කොටසකුත් හිටියා. අරගලය අවසන් වූ පසුව දේශපාලනය සඟවාගෙන සිටි කණ්ඩායම්වලට තමන් කැමති දේශපාලන කඳවුරක් සමග කටයුතු කිරීමේ අයිතිය තිබෙනවා. අරගලයේ සිටි සියලු දෙනා අප සමග සිටිය යුතු යැයි මම කියන්නේ නැහැ. ඔවුන්ට කැමති දේශපාලන කඳවුරකට එක් විය හැකියි. එම කඳවුර තෝරා ගැනීම හොඳද නරකද කියා තීරණය කිරීම ජනතාවට අයත් කාර්යයක්. අරගලයේ සිටි කෙනෙක් කවර වූ හෝ වේදිකාවකට ගොඩවැදීම අපට ප්‍රශ්නයක් නෙමෙයි.
අපේ රටේ අධ්‍යාපනයේ විශාල ව්‍යාකූලතාවයක් ඇති කර තිබෙනවා. පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගෙන මර්දන ක්‍රියාමාර්ගයක් දියත් වෙමින් තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ උද්ඝෝෂණ කර තිබෙනවා. පෙත්සම්, අධ්‍යාපන ඇමතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා. එහෙත් කිසිදු සාධාරණ පිළිතුරක් ඔවුනට ලැබී නැහැ. ඒ නිසා ඔවුන්ට සාධාරණ අයිතියක් තිබෙනවා, තමන්ගේ අධ්‍යයන කටයුතු පවත්වා ගෙන යන්න අවශ්‍ය වන පරිසරය පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය තුළ හදාගන්න. එහෙත් ආණ්ඩුව මේ ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි පත්වා ගෙන යාම වෙනුවට උන්වහන්සේලා මර්දනය කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය බවට පත් කරගෙන තිබෙනවා. අපේ ස්ථාවරය වන්නේ එම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නිසි අධ්‍යාපනයක් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය රජය විසින් වහාම සකස් කර දිය යුතුය යන්නයි.”
රෂිකා හෙන්නායක