*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

ජාතික ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළක් අවශ්‍ය ඇයි?

රජය මඟින් ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සුවිශේෂී වැඩපිළිවෙළක් 2022 ජූලි මාසයේදී ආරම්භ කළේය. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණයේ ප්‍රධානී සහ ජනාධිපති උපදේශක ආචාර්ය බී.එම්. සුරේන් බටගොඩ මහතා සමඟ ඒ පිළිබඳව අප කළ සාකච්ඡාවකි මේ.

? ජාතික ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළක් වහාම ආරම්භ කිරීමට වසර 2022 මැදභාගයේ අපේ රටට සිදු වූයේ ඇයි?

ආහාර සුරක්ෂිතතාවය ඕනෑම ජාතියක රටක තිබිය යුතු දෙයක්, ඒ රට සමාජය ලෝකය ඉදිරියේ අභිමානවත්ව ගෞරවනීය ලෙස පිළිගැනීමට ලක්වීමටත් කාරණාවක් වෙනවා. ඒ නිසා අපිත් රටක් ලෙස වසර 2022දී මෙම ජාතික අවශ්‍යතාවය සපුරාලීමට වැඩ කළ යුතුව තිබුණා.

? ඔබ සඳහන් කරන්නේ වසර 2022 වන විට අපේ රට ආහාර අනාරක්ෂිතතාවයට පත්වී සිටි බව ද? නැත්නම් කෘෂිකර්මාන්තයේ බිඳ වැටීමකට ලක්වී තිබූ බව ද?

වසර 2022 වන විට අපේ රටේ කෘෂිකර්මාන්තයේ විශේෂයෙන් වී ඇතුළු අනෙකුත් ආහාර භෝග ගණනාවක අස්වනු පහළ යමින් තිබුණා. ඇත්ත වශයෙන්ම සඳහන් කරනවා නම් මෙලෙස ආහාර නිෂ්පාදනය පහළ යෑම එක දිගට සිදු වුණා නම් අනිවාර්යයෙන්ම අපිට රටක් ලෙස ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ දැඩි අවදානමක් තිබුණා. දැඩි උවදුරක් අබියස අපි සිටියේ. එසේ වීමට කරුණු ගණනාවක් බලපෑවා. ආහාර භෝග නිෂ්පාදනය අඩුවීම එක රැයකින් සිදුවූ දෙයක් නොවෙයි. වසර 2019 පටන් ආරම්භ වී ඉදිරියට ඇදී ආ දෙයක්.

? ඒ පිළිබඳව වැඩි යමක් කිව හැකිද?

වසර 2019 එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර භාවිතය අවම කරමින් එක රැයකින් කාබනික පොහොර භාවිතය දිරිගැන්වීමට කෘෂිකාර්මික ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. මේ තීන්දුවත් සමඟ කලක් තිස්සේ රසායනික පොහොර යොදාගෙන ගොවිතැනට හුරු වී තිබූ ශ්‍රී ලාංකික ගොවි පරපුර විශාල අර්බුදයකට ඇද වැටුණා. එකවරම රසායනික පොහොර භාවිතයෙන් ඈත්වී කාබනික පොහොර ගොවිතැනට මුල්තැන දීම ප්‍රශ්න ගණනාවක් මතුකරපු කටයුත්තක්. එහිදී මුලින්ම සිදුවූ දේ තමයි අපේ ආහාර නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස අඩුවීම. මෙවැනි ආහාර නිෂ්පාදනය අඩුවීම වේගවත් වීමත් සමඟ තවත් සමාජ ගැටලු ගණනාවක් මතු වුණා.

? ආහාර සම්බන්ධයෙන් මතු වූ අනෙකුත් ගැටලු මොනවාද?

ආහාර නිෂ්පාදනය අඩුවීමත් සමඟ අපේ රටේ ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර ආනයනය කිරීමට සිදු වුණා. නමුත් ආනයන කිරීම සඳහා ප්‍රමාණවත් එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණයක් රටේ සංචිතයේ තිබුණේ නැහැ. ඒ වගේම ඉන්ධන අර්බුදයක් රටේ ඇති වුණා. සෑම නගරයක් ගමක් පාසාම ඉන්ධනහල් අසල තෙල් පෝලිම් ඇති වුණා. විදුලිය පැය විසිහතරම ලබාදීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. මේ නිසා කුඩා කර්මාන්ත, මධ්‍ය පරිමාණ කර්මාන්ත පමණක් නොව ඇතැම් විට විශාල කර්මාන්ත පවා අර්බුදයකට ලක් වුණා. බොහෝ පිරිසකගේ රැකියාවල ආරක්ෂාව සහතික කිරීමත් ගැටලුවක් වුණා. ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. සියයට අසූවක රැකියා අහිමිවීමක් සිදු වුණා.

? ජනතාවගේ ආදායම අඩුවීම එක පැත්තකින් සිදු වුණා. අනෙක් පැත්තෙන් සිදු වූයේ කුමක් ද?

අප මුලින් සඳහන් කළ පරිදි අපේ රටේ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනවල අඩුවීමක් වාර්තා වුණා. වී නිෂ්පාදනය 20%කින් පහළ ගියා. බඩඉරිඟු නිෂ්පාදනය 50%කින් බිඳ වැටුණා. ඒ වගේම මිරිස්, එළවළු, පලතුරු නිෂ්පාදනය අඩාළ වුණා. එම නිසා සැපයුම අඩුවීම මත මේවායේ මිල ගණන් විශාල ලෙස ඉහළ ගියා. ආහාර උද්ධමනය සියයට සියයක් දක්වා ඉහළ ගියා. මෙය තුළින් මෙතෙක් මතු නොවූ සමාජ ප්‍රශ්න මතු වුණා.

? ඒවා මොනවාද?

ජනතාවගේ ආදායම් අහිමි වීමත් සමඟ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වීම දෙයාකාරයක ප්‍රශ්නයක් වුණා. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ලෝක ආහාර සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුනිසෙෆ් ආයතනය වැනි දෙස් විදෙස් ආයතන රැසක දත්ත අනුව ආහාර අනාරක්ෂිත පවුල් සංඛ්‍යාව 20%කින් වැඩි වුණා. අර්ධ වශයෙන් ආහාර අනාරක්ෂිතභාවය 30%කින් වැඩි වුණා. අපේ රටේ උග්‍ර ආහාර ප්‍රශ්නයෙන් පීඩාවිඳින පවුල් සංඛ්‍යාව 65000ක් වුණා. කිසියම් ආකාරයකින් ආහාර ලබා ගැනීම සම්බන්ධයෙන් ජනගහනයෙන් 60%කට ප්‍රශ්න මතු වුණා. තවත් දෙයක් සිදු වුණා. ඒ තමයි ළමා මන්දපෝෂණය ඉහළ යෑම.

? ළමා මන්දපෝෂණය ඉහළ යෑම ගැන සංඛ්‍යා ලේඛන දත්ත තිබෙනවද?

ඔව්. වයසට ගැළපෙන බර ප්‍රමාණවත් නොවන බර අඩු ළමුන් සංඛ්‍යාව 20%ක ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන බව හෙළිදරව් වී තිබෙනවා. අලුත්ම සංඛ්‍යා දත්ත අනුව අපේ රටේ ළමුන් 18000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම වර්ධනය වුණා නම් එය විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා රජය සහ වර්තමාන ජනාධිපතිතුමා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට පියවර ගත්තා.

? කුමක්ද ඒ වැඩපිළිවෙළ?

ඒ තමයි ජාතික ආහාර සුරක්ෂිතතා හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යන්ත්‍රණයක් ඇති කිරීම. මෙය සෑම අංශයකම ඒකාබද්ධ ආංශික යන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කොට තිබෙන්නේ. රජයේ ප්‍රමුඛම කාර්ය මෙය බව ජනාධිපතිතුමා මෙය හඳුන්වා දෙමින් අවධාරණය කළා.

? මේ වැඩපිළිවෙළට සම්බන්ධ වූවේ කවුරුන් ද?

ජනාධිපතිතුමා මේ සඳහා පෞද්ගලිකවම මැදිහත් වුණා. රජයේ සියලු මැති ඇමැතිවරුන් සම්බන්ධ කර ගත්තා. මෙම යන්ත්‍රණය සකස් කිරීමේදී රාජ්‍ය අංශය ඒ වාගේම පෞද්ගලික අංශය දායක කර ගත්තා. ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොවෙයි පෞද්ගලික අංශයේ දානපතීන්, ප්‍රභූන් ඒ වගේම සමාජයේ පිළිගත් විද්වතුන් වෘත්තිකයින් ආදී සියලු දෙනා මේ සඳහා ඒකාබද්ධ කර ගත්තා. ඒ අනුවයි මේ පිළිබඳව ජාතික කවුන්සිලය පිහිටුවූයේ. එහි සභාපතිතුමා ජනාධිපතිතුමායි.

? ඊට අමතරව මෙම යන්ත්‍රණය ගම්මට්ටමට ගමන් කරන්නේ කොහොමද?

ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සහ ළමා මන්දපෝෂණය දුරු කිරීම ඉලක්ක කොට ගත් මෙම යන්ත්‍රණය ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයා දක්වා සහභාගි කරවාගෙන දිවෙන්නක්. ඒ වගේම ජනාධිපති ලේකම්වරයාගේ සිට ගම්මට්ටමේ රාජකාරි කරන රාජ්‍ය සේවකයා දක්වා බැඳුණු වැඩපිළිවෙළක්. මේ අනුව ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මට්ටමේ තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්තිමය කමිටුවක් පිහිටෙව්වා. අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික උපදෙස් ලබා දීම සඳහා කමිටුවක් ඇති කළා. පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ලේකම්වරු ඇතුළු පළාත් සභා නිලධාරිහු, දිස්ත්‍රික් ලේකම්වරු සහ සියලු දේශපාලන අධිකාරීන් ඒකාබද්ධ කොටගෙන පළාත් මට්ටමින් කමිටු පිහිටුවූවා. මේවා හරහා හැකි තරම් ආහාර භෝග වගාව දිරිමත් කිරීමට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.

? ඔබ පවසන ආකාරයට ගම්මට්ටමට මෙය සාර්ථකව ළඟා වී ඇති බවක් දක්නට නැහැ. ගම්මට්ටමට ළඟා වීම සාර්ථක වී ඇතැයි ඔබ සිතනවාද?

සමහර තැන්වල ප්‍රශ්න ඇති. ගැටලු ඇති. නමුත් පොදුවේ ගත් කල ග්‍රාමීය ආර්ථික පුනර්ජනනීය හා ආහාර සුරක්ෂිතතා කමිටු රාශියක් පිහිටුවා තිබෙනවා. ගමේ සේවය කරන රාජ්‍ය නිලධාරීන් ප්‍රධාන වශයෙන් පස්දෙනකු සිටිනවා. ග්‍රාම නිලධාරිතුමා, සමෘද්ධි සංවර්ධන නිලධාරිතුමා, කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන නිලධාරිතුමා, ආර්ථික සංවර්ධන නිලධාරිතුමා වගේම පවුල් සෞඛ්‍ය සේවිකාව මෙම පස්දෙනයි. මෙම පස්දෙනාට අමතරව සර්වආගමික මධ්‍යස්ථානවල ගරුතර පූජක ප්‍රසාදීන් වහන්සේලා, පාසල්වල විදුහල්පතිවරු, රජයේ නිලධාරීන්, ගමේ ප්‍රභූවරු, දානපතියන් මෙම කමිටුවට සම්බන්ධ කොට තිබෙනවා. ඔවුන් හරහා ගමේ ජනතාවගේ ආහාර අනාරක්ෂිතභාවය දුරු කිරීමට, මන්දපෝෂණය දුරු කිරීමට කටයුතු කර තිබෙනවා. ඔවුන්ට ඉලක්ක ලබා දී තිබෙනවා.

? මොනවද ඒ ලබා දී ඇති ඉලක්ක?

අප ප්‍රධාන වශයෙන් ඉලක්ක දෙකයි ලබා දී ඇත්තේ. එකක් තමයි ගමේ කිසිම පවුලක් බඩගින්නේ තිබෙන්න බැහැ. දෙවැනි එක කිසිම ළමයෙක් ළමා මන්දපෝෂණයෙන් පෙළෙන්නට බැහැ. මෙම ඉලක්ක දෙක ජය ගන්නට සියලු නිලධාරීන් තනි තනිව නොව කණ්ඩායමක් වශයෙන් ගමේ ගෙයින් ගෙට ගොස් තොරතුරු ලබා ගෙන එවැනි සරණක් අවශ්‍ය පිරිසට උදව් කිරීම කළ යුතුයි. ඒ සඳහා රජය, ජාත්‍යන්තර සංවිධාන, දානපතියන් පිරිනමන භාණ්ඩ සහ මුදල් නිසි ලෙස බෙදාදීමට පියවර ගැනීම කළ යුතුයි. ඔවුන් මේ වන විටත් ගම්මට්ටමේ විශාල සේවයක් සිදු කරනවා. එය අප අගය කළ යුතුයි.

? කුසගින්න නිවා ගැනීමට, ළමා මන්දපෝෂණය දුරු කිරීමට ප්‍රමාණවත් සේවයක් සිදුවී තිබේ යැයි ඔබ සිතනවාද?

කිසිවක් නොකර සිටිනවාට වඩා කුමක් හෝ සිදු කිරීම තුළින් ජනතාවට යහපතක් ළඟා වන්නේ නම් එය තමයි වගකිවයුතු අප සැමගේ කාර්ය භාරය විය යුත්තේ. ඒ අනුව මම මුලින් කී උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 18000කට මේ වන විටත් උදව් කරනවා. ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය ඒකාබද්ධ වී මාපිය කැපකරු ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මාස හයක් යනතුරු මාසයකට රු.15000 බැගින් ලබාදීමක් සිදු කරනවා. පෙර පාසල් දරුවන්ට, ප්‍රාථමික අංශ දරුවන්ට ආහාර ලබාදීමක් කරනවා. මීට අමතරව ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම සිදු කරනවා. පවුල් ලක්ෂ 30කට ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට කටයුතු කරමින් ඉන්නවා.

? මෙහිදි ප්‍රජාව වැඩි වශයෙන් දායක කර ගන්නේ කොහොමද?

ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ රටේ ආහාර නිෂ්පාදනය අඩුවීමක්, ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළයාමක් සිදුවුණත් බොහෝදුරට ගම්මානවල දේශීය ආහාර වර්ග ප්‍රමාණවත් තරම් තිබෙනවා. සිදුවී තිබෙන්නේ මෙම තිබෙන ආහාර ද්‍රව්‍ය මනා කළමනාකාරිත්වයක් යටතේ ජනතාව අතට පත්නොවීමයි. ඒ නිසා අප මෙම දුර්වලතාවය මඟහැරීමට ගම්මට්ටමෙන් විවිධ වැඩසටහන් ආරම්භ කළා. පන්සල්, පල්ලි, පොදු ස්ථාන යොදා ගෙන ආහාර ප්‍රදර්ශන පැවැත්වූවා. පවත්වන්නටත් නියමිතයි. මෙහිදී අප දේශීය අල, බතල, පලා වර්ග සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය එක්රැස් කොට හුවමාරු කිරීමේ වැඩසටහනක් ද සැලසුම් කොට ක්‍රියාත්මක කළා. ආහාර හුවමාරු කිරීමේ මධ්‍යස්ථාන ඇති කළා. මේ තුළින් ඕනෑම අයෙකුට තමන්ගේ වැඩි ආහාර භෝග නිෂ්පාදනය පීඩාවට පත්වී සිටින අයෙකුට පරිත්‍යාග කිරීමට ක්‍රමවේදයක් සකස් කළා.

? ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළාද?

මේ සඳහා මුල පුරමින් යල මහ කන්නයට බාධාවකින් තොරව රසායනික පොහොර ලබාදීම සිදු කළා. ගොවීන්ට අවශ්‍ය බීජ ලබාදීමට කටයුතු කළා. ඌන උපයෝජිත ඉඩම්වල යළි වගාවට දිරිමත් කළා. තරුණ ළමයි ලක්ෂයක් තෝරාගෙන ගොවිතැනට පියවර ගනිමින් ඉන්නවා. පවුල් 10000කට ඉහළ තාක්ෂණික කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමට උදව් කරනවා. විශේෂයෙන් රසායනික පොහොර සහ කාබනික පොහොර දෙවර්ගයම භාවිතයට ගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදීමට ගොවි ජනතාව දිරිගැන්වීමක් කරනවා.

? වන සතුන්ගෙන් ගොවිතැනට වන හානිය විශාලයි. මෙය දරුණු ප්‍රශ්නයක්. මෙයට විසඳුමක් ලබාදීමට පියවර ගෙන තිබේ ද?

මේ සඳහා දිසාපතිවරුන්ගේ සම්මේලනය, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීම්වලදී පමණක් නොව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අපේ ජාතික කවුන්සිලයේදීත් කතාබහ කොට විසඳුම් යෝජනා කර තිබෙනවා. ඒවා දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

? ආහාර නිෂ්පාදනය නිසි ලෙස රට පුරා බෙදා හැරීමට, කල් තබා ගැනීමට, නව නිපැයුම් කිරීමට කටයුතු කළ යුතුයි නේද?

ඒ සඳහා විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. දේශීය ආහාර ද්‍රව්‍ය නව ආකාරවලින් සකස් කොට සිත්ගන්නා සුළු කොට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ තුළින් ගොවි ජනතාවගේ ආදායම් ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් මිදී නව තාක්ෂණය හා මුසු වූ වාණිජ කෘෂිකර්මාන්තයක් කරා අපේ ගොවි පරපුර පරිවර්තනය කිරීමට ක්‍රියා කරනවා. මේ සියල්ල හරහා වඩාත් පැහැදිලි දැක්මක් ඇතිව රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, මන්දපෝෂණය දුරු කිරීම සිදු වෙනවා. එය අපගේ රටේ බිම් මට්ටමේ යථාර්ථයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවිය යුතුයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan