අද අපේ රටේ රෝගීන් ‘පර්යේෂණාගාර මීයන්’ බවට පත්වෙලා – විමල් කියයි

Date:

උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද උත්තර ලංකා සභාගයේ අනුශාසක පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් අද (13) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්විය.

රටේ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ, රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහලකට යන රෝගියකුට අත්වන්නේ මරණය නම්, ඒ දෙස තවදුරටත් උපේක්ෂාසහගතව බලා සිටීමේ ප්‍රතිඵලයක් නොමැති අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙසේ කඩා වැටීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බව විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

එමෙන්ම, ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ දී, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව බාල ඖෂධ ගෙන්වා රෝගීන් මරණයට පත්වන තත්ත්වයට රටේ සෞඛ්‍ය සේවය කඩා වැට්ටවූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය ලේකම්වරයා ද තම ධුරයන්ගෙන් ඉල්ලා අස්විය යුතු බව හෙතෙම පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

“වත්මන් පාලකයන් ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු බැරෑරුම් පියවර කිසිවක් නොගෙන, සාමාන්‍ය ජනතාව බිල්ලට දෙමින්, සුපුරුදු ගසාකෑම පමණක් සිදු කරගෙන යන බව දැකගත හැකියි. අද වන විට එක පැත්තකින් රෝහල්වල ඖෂධ හිඟයක් තිබෙනවා; අනෙක් පැත්තෙන් තිබෙන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ ගැටලු තිබෙනවා. මෙම තත්ත්වය මොන තරම් බරපතළ ද, සංවේදී ද, යන්නට හොඳම නිදසුන තමයි, උදරාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ තරුණ දියණියක් ඇයට ලබා දුන් ඖෂධයක් හේතුකොටගෙන මරුමුවට පත් වීම.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමකින් තොරව ඖෂධ මිලදී ගැනීම් සිදු කොට ඇත්තේ ‘හදිසි මිලදී ගැනීම්’ හැටියටයි. හදිසි මිලදී ගැනීම් යටතේ බොහෝ ඖෂධ රැගෙනවිත් තිබෙන්නේ ඉන්දියාවෙනුයි. මේ තත්ත්වය හමුවේ අද අපේ රටේ රෝගීන් ‘පර්යේෂණාගාර මීයන්’ බවට පත්ව තිබෙනවා. අද රෝහලට යන එක මෝචරියට යෑමට සමාන වී තිබෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් ‘නිදහස් සෞඛ්‍ය සේවාව’ කියා එකක් නමට තිබුණාට එහි පිහිට පතා ගෙන එන ජනතාවට ඉන් කිසිදු සෙතක් සිදු වන්නේ නැහැ.

ආර්ථික අර්බුදයක් තිබෙන රටක යා යුත්තේ හදිසි මිලදී ගැනීම්වලට නොවෙයි. පූර්ව වශයෙන් සැලසුම් කරලා, නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ, නිසි ටෙන්ඩර් පටිපාටියක් මත මිලදී ගැනීමයි සිදුවිය යුත්තේ. නමුත් මේ සෞඛ්‍ය බලධාරීන් සිදු කරන්නේ ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩ හැරලා, අදාළ ඖෂධය ‘හදිසි මිලදී ගැනීම්’ යටතේ මිලදී ගැනීමට පියවර ගැනීම. විවෘත ටෙන්ඩර් පටිපාටියකින් තොර මෙම හදිසි මිලදී ගැනීම්වලදී අතයට ගනුදෙනු කිරීමට පහසුයි. මේ විදියට ඇතැමුන් ‘ගාණ කපනකොට’ අපේ රටේ රෝගී ජනතාව රෝහල් තුළ මියයන ඉරණමකට ඇද වැටී තිබෙනවා. ‘මේ තරම් පාපී, තුච්ඡ දේශපාලකයන් සහ නිලධාරීන් ලෝකයේ වෙනත් රටවල ඉන්නවා ද?’ කියා අපි නම් දන්නේ නැහැ.

මේ විදියට බඩේ අමාරුවකට ඉස්පිරිතාලෙකට ගියපු රෝගී දරුවකු ලබා දුන් එන්නතකින් මියයනවා නම්, බෙහෙත් ගෙන්වූ සහ මිලදී ගැනීම් සිදු කළ කිසිවකු ඒකට වගනොකියනවා නම්, සෞඛ්‍ය ඇමතිවරයාත් ‘බබා’ වගේ ඉන්නවා නම්, මේ රට රටක්ද? පඬු කරඳ ගහ කපන්න නම් කැබිනට් තීරණ ගන්නවා. නමුත් මේ වගේ කාලකන්නි ඇමැතිවරුන් සහ නිලධාරින් කපා දමන්න කැබිනට් තීරණ ගන්නේ කවදාද?

මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව හදිසි මිලදී ගැනීම් අවලංගු කරන්න ඕනේ. කල්තියා සැලසුම් කර ඖෂධ රැගෙන එන්න ඕනේ. අතිරික්තයක් තිබුණොත් ඊළඟ වසරේ පාවිච්චි කරන්න හැකි වෙන්න ඕනේ. එහෙම නැතුව ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට ගසාකන්න ඉඩ දීලා, මෙවැනි තරුණ දරුවන්ට මියයන්න ඉඩ දීලා, තවදුරටත් බලා සිටිය යුතු නැහැ. මේ පාපකර්මයට තවදුරටත් වැඩෙන්න ඉඩ දිය යුතු නැහැ.

මේ තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතුයි. නමුත් ඒ කිසිවකු ඉල්ලා අස්වෙන්නේ නැහැ. ඔවුන්ට මේ ගැන කිසිදු හැඟීමක් නැහැ. ඒ නිසයි අපි කියන්නේ මේක හරි අවාසනාවන්ත තත්ත්වයක් කියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමරිමය රැයක් වූ අසිරිමත් ක්‍රිකට් සම්මාන උළෙල

නිශ්මං රණසිංහ ජුනි 10, කොළඹ LNW: ක්‍රිකට් සම්මාන රාත්‍රියට පෙර...

‘සාගරිකා’ දුම්රිය අනතුර වැලකූ අයව ඇගයේ!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : පසුගිය දා වෙරළබඩ...

ව්‍යාජ ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයින් 05...

කේරළය කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය වෙයි!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ඉන්දියාවේ මේ වන...