පාස්කු ප්‍රහාරය: CID ය හෙට සිට යළි හාදියාගෙන් ප්‍රශ්න කිරීම අරඹයි

0
347

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හෙට (12) එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාස්කු ප්‍රහාර මාලාව සිදු කරමින් මියගිය සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ඇයගෙන් මෙලෙස ප්‍රශ්න කිරිම සිදු කරනු ලබන්නේ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත යුතු බව අධිකරණයට දැනුම් දෙමින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට අනුවය.

මේ අනුව අදාළ ඉල්ලීමට අවසර ලැබුණු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.

ඒ එම දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය හමුවේ සිදු කළ ඉල්ලීමකට අනුවයි.

ප්‍රහාර මාලාව සහ එම ප්‍රහාර මාලාව මෙහෙය වූ පුද්ගලයන්, සහරාන් හෂීම් ඇසුරු කළ පුද්ගලයන් සහ ප්‍රහාර මාලාව හැසිරවූයේ කවුද යන්න සම්බන්ධයෙන් මේ වනවිට අනාවරණය කරගෙන ඇති කරුණු වඩාත් තහවරු කරගැනීම සඳහා මෙලෙස වැඩිදුර ප්‍රකාශ සටහන් කරගැනීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

ඒ අනුව, හෙට 12 සිට ලබන 25 වැනිදා දින 14ක කාලයේදී වැලිකඩ බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතය.

මොහොමඩ් සහරාන් යන අයගේ බිරිද අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී ඇති අතර ඇය ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීමද සිදු කරනු ලැබිමෙන් අනතුරුව රක්ෂිත භාර ගත කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here