සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ලෝකයේ බොහෝ රටවල් සමග සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව සෞඛ්‍ය අංශය සඳහා වෙන් කරන මුදල ඉතා ම අවම මට්ටමක පවතින බව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණේ ‘ජනරජ කතිකා’ සම්මන්ත්‍රණ මාලාවේ ‘බංකොලොත් රටේ සුවය සුරැකීම’ මැයෙන් වූ සම්මන්ත්‍රණය අමතමිනි. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයේ දීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ අමරසිංහ මහතා;
“ආර්ථික බංකොලොත්භාවය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න ආර්ථිකමය අංශයෙන් විග්‍රහ කිරීමේ දී මුලින් ම අපට මතකයි, 2022 අප්‍රේල් 12 බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කළා. බංකොලොත්භාවය කියන්නෙ තමන් අරගෙන තියෙන ණයවල ණය වාරික පොළිය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කිරීමයි. ණය පොළිය ගෙවාගැනීමට නොහැකි බව ප්‍රකාශ නොකළත් ලෝකය අප බංකොලොත් බව ප්‍රකාශ කරනවා.”
අපේ රට එසේ ණය පොලී ගෙවා ගත නොහැකි ව බංකොලොත් බව ප්‍රකාශ කිරීමට හේතු කිහිපයකි.
1. අධික ලෙස වියදම් කිරීම : දරාගත නොහැකි මට්ටමට වඩා වියදම් කිරීම
2. දරාගත නොහැකි ආකාරයෙන් ණය ලබා ගැනීම; කරන කටයුත්තට වඩා දෙතුන් ගුණයක ණය ගැනීම
3. ආදායම අහිමි වීම; එවක රජය විසින් 2019 බදු ආදායම අහිමි කර ගැනීම, කොවිඩ් වසංගතය නිසා වන ආදායම අහිමි වීම
බංකොලොත්භාවය සඳහා අපේ සෞඛ්‍ය සේවය යම් කිසි ආකාරයකට බලපාලා තියෙනවද?
“බංකොලොත්භාවය මග හැරීම සඳහා කළ යුතුව තිබූ බොහෝ දේ නොකිරීම නිසා අපි බංකොලොත්භාවය කරා ගියා. අපි බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීම නිසා ප්‍රශ්න රැසක් මතු වෙලා තියෙනවා. අපේ දේවල් විකුණන්න වෙලා තියෙනවා. සමහර ණය රඳවා ගැනීමට සිදු වී තිබෙනවා.”
ලෝකයේ විවිධ රටවල් සමග සංසන්දනය කරන විට දළ ජාතික නිෂ්පාදිතයෙන් ශ්‍රී ලංකාව වියදම් කරන ප්‍රමාණය ඉතාමත් අවම මට්ටමක පවතී. ලෝකයේ අඩු ආදායම් සහිත රටකටත් වඩා අඩු ප්‍රමාණයෙන් ලංකාවේ සෞඛ්‍ය සඳහා වියදම් කරයි. එම නිසා සෞඛ්‍ය සඳහා කරන වියදම තවදුරටත් අඩු කළ යුතුය යන තර්කය කිසි කෙනෙකුට ගෙන ආ නොහැක. එක් එක් රටේ ආදායම් මට්ටම හා එක් එක් රටේ ජීවන වියදමේ හැටියට සෞඛ්‍ය සඳහා වන ඒක පුද්ගල වියදම ශ්‍රීලංකාවේ ඩොලර් 504 ක් පමණි.
• ආර්ථික සංකෝචන තත්ත්වයක දී පුද්ගලයන්ගේ ආදායම අඩු වී තිබේ. රැකියා වියුක්තිය වැඩි වී තිබේ. රැකියා වියුක්තිය සෞඛ්‍යයට බලපාන සමාජමය සාධකවලින් එකකි.
• පසුගිය වසර කිහිපය තුළ ඇති වූ උද්ධමනකාරී තත්ත්වය තුළ ආහාර මිල දී ගැනීමේ හැකියාව අඩු වී තිබේ.
• විවිධ ඖෂධවල මිල වැඩිවීම පසුගිය වසර තුළ විශාල ප්‍රතිශතයකින් සිදුව තිබේ. ඖෂධ මිල දී ගැනීම අඩු වී තිබේ. ආහාර හිඟය, ලංකාවේ ජනගහණයෙන් 79% ක් මේ වන විට විවිධ ආකාරයෙන් තමන්ගේ ආහාර ගැනීම අඩු වී තිබේ. 78% ක් මිල අඩු ආහාරවලට යද්දී 49% ක් තමන් ගන්නා ආහාරවල ප්‍රමාණය අඩු කර තිබේ. 39%ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කර තිබේ.
• 95% කින් ආහාර උද්ධමනය ඇති ව තිබේ. 2/3 ක් ආහාර හිඟයට මුහුණ දී තිබේ. ලෝකයේ හතරවෙනි මට්ටමේ ආහාර මිල අධික වීමේ තිබෙන්නේ ලංකාවේ ය. මේ සඳහා හදිසි ආහාර සහාය; ළමයින්ට දිවා ආහාර දීම, සාමූහික මුළුතැන්ගෙය වැනි සංකල්ප යොදා ගත හැකිය.
• සෞඛ්‍ය වියදම පසුගිය අවු. 20 ඇතුළත හතර ගුණයකින් වැඩි වී තිබේ. සෞඛ්‍ය සඳහා කරන වියදමේ අඩුවක් කර නැත.
නමුත් මහජනතාවට ගුණත්වයෙන් යුතු ඖෂධ ලැබීම ගැන බරපතල ගැටළුවක් මතු ව තිබේ. සමහර ඖෂධ හිඟය. මිල අධික ය.
ජනරජ කතිකාවට එක් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේ වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටළු 6 කට මුහුණ දෙන බව ය.
1. අත්‍යවශ්‍ය ඖෂධ හිඟය
2. හදිසි අවශ්‍යතා ලෙස සළකා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය රහිතව ඖෂධ මිල දී ගැනීම; ඖෂධවල ගුණත්වය/තත්ත්වය, ආරක්ෂාව, බලපෑම් සහගත බව සම්බන්ධයෙන් ගැටළු පැන නැග තිබේ,
3. රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ඖෂධ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් නොගෙවීම
4. ඖෂධ මිල ගණන් දිනෙන් දින නොනවත්වා ඉහළ යාම
5. සෞඛ්‍ය උපකරණ නිසි පරිදි නඩත්තු නොකිරීම
6. වෛද්‍යවරු ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල සාමාජියකයන් රට හැර විදේශගත වීම
සාමාන්‍ය පුරවැසියන් මෙන් ම වෛද්‍යවරුන් වශයෙන් මේ තත්ත්වය යටතේ විශේෂ කාර්‍යභාරයක් පැවරෙන බව අවධාරණය කළ වෛද්‍ය විජේවික්‍රම මහතා, තමන් ඇතුළු විවිධ පාර්ශව ඖෂධ හිඟයක් පැමිණෙන බව පසුගිය වසර මුල දී අනතුරු හැඟ වූ බව ද පෙන්වා දුන්නේය.
2022 පෙබරවාරි මාසයේ දී ඖෂධ හිඟයක් පැමිණෙන බවත්, එම ගැටළුව විසඳීම සඳහා ගත යුතු පියවරයන් ද සඳහන් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත අනතුරු අඟවන ලදී.
2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඖෂධ හිඟය සම්බන්ධ අනතුරු ඇඟවීමක් සහ යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලදී.
2022 මැයි 23 වෙනිදා වන විට රජයේ රෝහල්වල ඖෂධ හිඟය මග හරවාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් විගනකාධිපතිවරයා විසින් විශේෂ වාර්තාවක් ද නිකුත් කරන ලදී.
ඒ සියළු අනතුරු ඇඟවීම් සිදු කර තිබිය දී ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වීම ප්‍රමාණවත් නොවීය. ඊට අමතරව දැනට ඖෂධ සම්බන්ධ අර්බුදය තවමත් පවතී.
• ඖෂධ හිඟය
• ඖෂධ හදිසි මිලදී ගැනීම් සහ පරිත්‍යාග රැසක් තිබීම
• මිලදී ගන්නා ඖෂධවල ගුණත්වය, ආරක්ෂා සහිත බව සහ බලපෑම් සහගත බව සම්බන්ධ අවම සැළකිල්ල
• බාල ගුණත්වයෙන් යුතු ඖෂධ සම්බන්ධ වාර්තා වූ උදාහරණ රැසක් තිබීම
• මහජන විශ්වාසය බිඳ වැටීම
• අඛණ්ඩව ඉහළ යන ඖෂධ මිල
ශ්‍රී ලංකාව තම වාර්ෂික ඖෂධ අයවැයෙන් 35% ක් ඖෂධ සඳහා වැය කරයි. ඉන් 85% ක් ආනයනය කරන බවත්, ඖෂධ සඳහා දරන සමස්ත වියදමෙන් 70% ක් වැය කරන්නේ 10-12% අතර ප්‍රමාණයක මිල අධික, ප්‍රමාණයෙන් අඩු ඖෂධ සඳහා බවත්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙහිදී අනාවරණය කළේය.
ජාතික ඖෂධ අයවැයෙන් විශාල මුදලක් ඖෂධ මිල දී ගැනීම සඳහා යෙදවූව ද, පෞද්ගලිකව ජනතාව තම පසුම්බියෙන් ඖෂධ වෙනුවෙන් කරන වියදම ද අධික ය. ඖෂධ ද හිඟ ය. රු. බිලියන 58 ක් වූ රාජ්‍ය අංශයේ මිල දී ගැනීම්වලින් රු. බිලියන 42 ක් පමණ වටිනා ඖෂධ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ටෙන්ඩර් මගින් මිලට ගන්නා අතර, ඉතිරි රු.බි. 16 වැයවන්නේ හදිසි ඖෂධ මිල දී ගැනීම් වැනි කටයුතුවලට ය.
මෙම කතිකාවත සඳහා මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුන් ද, එක් වූ අතර, දේශන අවසානයේ වත්මන් සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් වූ සාකච්ඡා සභාවක් ද පවත්වන ලදී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??