මහ බැංකුව විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර දැනුම් දී ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල සතු වූ රුපියල් බිලියන 3,220ක භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 2,667.5ක ප්‍රමාණයක් අලුතෙන් නිකුත් කර තිබෙන බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. එම ප්‍රමාණයට 14% බදු සහනය දිගටම පවත්වා ගැනීම සඳහා හුවමාරු කළ යුතු වූ අවම ප්‍රමාණය (78%ක්) මෙන්ම ඊට අමතරව රුපියල් බිලියන 149.9ක බැඳුම්කර ප්‍රමාණයක්ද ඇතුළත්. අමතර ප්‍රමාණයද සමඟ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 83%ක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා.
මීට දින දෙකකට පෙර නිකුත් කළ මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති නිවේදනය අනුව, සමස්තයක් ලෙස විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු වූ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් 84%ක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනු ලැබ එම අයැදුම්පත් පිළිගෙන තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ අනෙකුත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් බොහොමයක්ද සේවක අර්ථසාධක අරමුදල විසින් හුවමාරු කරගත් බැඳුම්කර ප්‍රතිශතයට නොඅඩු ප්‍රතිශතයක් අලුත් බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන ඇති බවයි. ඊට අමතරව, විශ්‍රාම පාරිතෝෂික අරමුදල් නොවන අනෙකුත් ආයතන විසින්ද යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබෙනවා විය හැකි වුවත්, එසේ කර ඇත්නම් එම ප්‍රමාණය සාපේක්ෂව සුළු ප්‍රමාණයක් විය යුතුයි.
මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා තිබෙන්නේ බැඳුම්කර හුවමාරුවෙන් පසු රජයේ මුදල් ප්‍රවාහ වෙනස් වන ආකාරයයි. රජය විසින් 2023-2043 කාලය තුළ ආපසු ගෙවිය යුතුව තිබුණු ආපසු ලබාගත් බැඳුම්කර වල මුහුණත අගය වන වන රුපියල් බිලියන 3,204.5ක මුදල, අලුත් බැඳුම්කර වල මුහුණත අගය ලෙස එලෙසම ආපසු ගෙවිය යුතු වුවත්, එම මුදල් ප්‍රමාණය දැන් ආපසු ගෙවන්නට වෙන්නේ 2027-2038 කාලය තුළ සමාන වාරික වලින් බැවින් එහි සහනය රජයට ලැබෙනවා.
ආපසු ලබාගත් බැඳුම්කර වෙනුවෙන් රජය විසින් කූපන් පොලී ලෙස රුපියල් බිලියන 2,055.8ක් ගෙවිය යුතුව තිබුණා. හුවමාරුවෙන් පසුව, රජයට අලුත් බැඳුම්කර වල කූපන් පොලිය ලෙස ඊට වඩා රුපියල් බිලියන 771.7ක් වැඩියෙන් ගෙවන්නට සිදු වෙනවා. එහෙත්, ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ වීමට සාපේක්ෂව මෙම අමතර කූපන් පොලිය ගෙවීම රජයට වාසියක්. හරියටම කිවුවොත් අපේක්ෂිත වාසියක්. එම අපේක්ෂිත වාසිය කුමක්ද යන්න තීරණය වන්නේ බැඳුම්කර හුවමාරුව නිසා ශුද්ධ මුදල් ප්‍රවාහයන්හි (net cashflow) සිදුව ඇති වෙනස මතයි. එම වෙනස වගුවෙහි අවසාන සිරස් තීරුවේ පෙන්වා තිබෙනවා.
ඉහත ශුද්ධ මුදල් ප්‍රවාහයේ වත්මන් අගය (present value) ශුන්‍ය වීමටනම් 5.5% වැනි වට්ටම් අනුපාතිකයක් (discount factor) යොදා ගෙන මුදල් ප්‍රවාහ වට්ටම් කළ යුතුයි. එහෙත්, එම අගය ලංකාවේ කිසිවෙකු විසින් ප්‍රමාණවත් සේ සලකන ප්‍රතිලාභ අනුපාතයක් නොවන නිසා හුවමාරුවට සම්බන්ධ වූ අරමුදල් වල වත්මන් වටිනාකමෙහි අපේක්ෂිත වෙනස අඩු වීමක් මිස වැඩි වීමක් අපේක්ෂා කළ නොහැකියි. වට්ටම් අනුපාතිකය 9% ලෙස සැලකුවහොත්, අරමුදල් වල වත්මන් අගය 7.8%කින් පමණ අඩු වෙනවා.
සේවක අර්ථසාධක අරමුදලේ අපේක්ෂිත ප්‍රතිලාභ සම්බන්ධව මහ බැංකුව විසින් අද (සැප්තැම්බර් 14) දින ඉදිරිපත් කර තිබෙන තොරතුරු මත පදනම්ව අප විසින් සිදු කළ ගණනය කිරීම් වලට අනුව, 2038 දක්වා කාලය තුළ අරමුදලට සිදු වන සමස්ත අලාභය 7.8%ක්. හුවමාරුව නොකර 30% අනුපාතයෙන් බදු ගෙවීමට තීරණය කළේනම් මෙම අලාභය 20.8%ක්. මුදලින් රුපියල් බිලියන 209ක් පමණ වන ඉහත 7.8% අලාභය ගැලපෙන්නේ 9%ක වට්ටම් අනුපාතයක් සමඟයි. එහෙත්, මේ වන විට වෙළඳපොල විසින් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය 13% තරම් විශාල විය හැකියි.
අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වෙළඳපොළ තුළ හුවමාරු වෙද්දී එම බැඳුම්කර වල වත්මන් වෙළඳපොළ වටිනාකම හරියටම දැනගන්නට ලැබෙනවා. මේ අනුව, අපට අපේක්ෂිත අලාභය පිළිබඳව වෙළඳපොළ මත පදනම් වූ ඇස්තමේන්තුවක් සකස් කිරීමට ඉඩ ලැබෙනවා. වෙළඳපොළ අපේක්ෂාවන් කිසිසේත්ම සියයට සියයක් නිවැරදි නැතත්, තනි පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ඇස්තමේන්තු විශ්වාස කරනවාට වඩා වෙළඳපොළ විශ්වාස කිරීම වඩා සාර්ථක ප්‍රවේශයක්. අපගේ අදහස වනුයේ වෙළඳපොළ මත පදනම් වන සේවක අර්ථසාධක අරමුදල ඇතුළු බැඳුම්කර හුවමාරුවට සම්බන්ධ වූ අයගේ අලාභය මහ බැංකුවේ ඇස්තමේන්තුවට වඩා වැඩි විය යුතු බවයි.
පවතින වෙළඳපොළ අපේක්ෂාවන් අනුව, මෙම අපේක්ෂිත අලාභය 12%කට ආසන්න අලාභයක් විය හැකියි. වැඩි දවසක් නොගොස් හරියටම බලා ගන්නට ඉඩ ලැබෙන නිසා මෙම අපේක්ෂිත අලාභය ඇස්තමේන්තු කිරීමට හදිසි විය යුතු නැහැ.
~ ඉකොනොමැට්ටා
RN