සිංහල සිනමාවේ ජනප්‍රියතම මෙන්ම ආරක්ෂණීයම අසාමාන්‍ය සිනමා පෞර්ෂය විජය කුමාරතුංගයන්ගේ 34 වන ගුණ සමරුව අදට(16) යෙදී තිබේ.
ජනප්‍රියතම සිනමා නළුවකු ගායකයෙකු මෙන්ම පක්ෂ දේශපාලනය තුළ ක්‍රියාකාරී නායකයෙකු වූ කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග හෙවත් විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින උපත ලැබීය. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඔහු සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 වසරේදී ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. විජය කුමාරතුංග දෙදරු පියෙකි.
සරසවිය පුවත්පතෙහි පළ කරන ලද දැන්වීමකට අනුව සිනමාවට අවතීර්ණ වන විජය 70-80 දශකයේ සිනමාවේ ගමන් මඟ වෙනත් දිශාවකට යොමු කිරීමට සමත් විය. ඔහුගේ රූපය සහ හඬ කෙරේ මිනිසුන් ආශක්ත විය. සිනමාහල්වටා රසිකයන් පෙළ ගැසුනේ විජය දැකීමේ අරමුණෙනි. එතරම්ම ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමේ ශක්‍යතාවයක් විජය සතු විය. ඔහු එකල යෞවනයේ සිහින කුමරා විය.
1967 වසරේ ‘මනමාලයෝ’ චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිශ්ට වු විජය මුලින්ම ප්‍රධාන චරිතයකට පණ පොවනු ලැබුවේ 1969 වසරේ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ නම් සිනමා නිර්මාණයෙනි.
වසර 20ක සිනමා දිවිය තුළ ඔහු විසින් රඟපාන ලද චිත්‍රපට සංඛ්‍යාව 120ක් පමණ වේ. ඉන් 114කම ඔහු ප්‍රධාන නළුවා වශයෙන් සිය රංගනයෙන් දායක විය. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ.
ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයේ වාර්තාවක්ද තබමින් සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස ‘කැඩපතක ඡායා ‘හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි.
ඔහු සිනමාව අතික්‍රමණය කළේ නළුවෙකු වශයෙන් පමණක් නොව ඔහු ගායකයෙකු වශයෙන්ද ප්‍රතිභා සම්පන්න විය. ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද (ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) නිකුත් කෙරිණ.
විජය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගැනීමට සමත් විය. “සහරාවේ සිහිනය”(1990) චිත්‍රපටයට ගායනා කරන ලද “වළාකුළක් ගෙන මුවා කරමු හිරු” හා “දොළොස් මහේ පහන” චිතපටයට ගැයුන “සාරා ගුවන විද නැගුන” යන ගීත වෙනුවෙන් සරසවිය හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානයෙන් ඔහු ඇගයීමට ලක් විය.
විජය රංගනය හා ගායනයට අමතරව චිත්‍රපට නිෂ්පාදනයටද සම්බන්ධ විය. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය “වරදට දඬුවම්”(1989) තිරගත වූයේත් ඔහුගේ මරණයෙන් පසුවය.
බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර 1978 වසරේ නගර සභා පිටියේ පැවැති සිය පළමු රැලියේදී ‘නෙවාඩා’ නම් චිත්‍රපටයකින් කොටසක් ගෙන කියා සිටියේ ‘යන්නේ කොහිදැයි නොදැන යා යුතු ආකාරය දැන සිටිනවාට වඩා යන්නේ කොහිදැයි දැන යා යුතු ආකාරය නොදැන සිටීම’ වඩාත් භයානක බවයි. ජනප්‍රියවාදයේ ගොදුරක් වූ විජයගේ දේශපාලන ගමන් මඟ සමස්තයම ඒ තුළ කැටිව ඇතැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.
විජය තම දේශපාලන දිවිය ආරම්භ කරන ලද්දේ සමසමාජ පක්ෂයෙනි. ඔහු 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී ඡන්ද 19738ක් ලබා ගත්තේය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව වෙනුවෙන් මැදිහත් විය. මැතිවරණයයෙන් පසුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා හිර ගෙදරට නියම වූ ඔහු 1983 ජනවාරි 18 නිදහස් කරන ලදි.
ඉන් අනතුරුව ඔහු 1983 අතුරු මැතිවරණයේදී මහර ආසනයෙන් මනාප 24899ක් ලබා ගත්තේය. 1984 අතුරු මැතිවරණයේදී මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගැනීමට ද ඔහු සමත් විය.
1986දී විජය කුමාරතුංග ‘එල්.ටී.ටී කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනතාව හමුවීමෙන් පසු එල්.ටී.ටී.ඊ. තරුණ නායකයින් හමු විය. විජය සැබැවින්ම ලිබරල් දේශපාලඥයෙකු විය. ආගමික හා ජාතික බෙදීම් නිදහස් නිවහල් රටකට නොගැලපෙන බව හෙතෙම පිළිගත්තේ ය. එවකට විජය ලිබරල් අන්තයේ හිඳිමින් උතුරේ වර්ධනය වෙමින් පැවැති සන්නද්ධ අරගලය සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට යා යුතු බවත් බලය බෙදීමකින් මෙය විසඳිය යුතු බවත් තරයේ විශ්වාස කළේය. යුද්ධය විසඳුමක් නොවන බවත් ඉන් ගැටුම් සමනය වනවාට වඩා උත්සන්න වන බව විශ්වාස කළේය.
ඒ වන විට රටේ පැවැති තත්වය හා විජයගේ පැවැති ජනප්‍රියතාවත් හේතුවෙන් ඔහු නැවැත්වීමට කිසිවකුට හැකියාවක් නොවීය. එවන් ආකර්ෂණීය නායකයෙකු මෙලෙස ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට යාම තුළම ඔහුගේ ලිබරල් දේශපාලන භාවිතාව දක්නට ලැබේ. එසේම එය බලය බෙදීමේ විසඳුමකට එරෙහි දේශපාලන කණ්ඩායම්වල දැඩි කෝපයට හා වෛරයට ද හේතුවක් විය.
1988 වන විට පැහැදිලිවම රට තුළ ආණ්ඩු දෙකක් විය. එනම් එක්සත් ජාතික පක්ෂයේ නිල ආණ්ඩුව හා ජනතා විමුක්ති පෙරම්ණේ නොනිල ආණ්ඩුවයි. විජය එම ආණ්ඩු දෙකේම වෛරයට පාත්‍ර විය. විශේෂයෙන් ඒ වන විට ජාතිවාදී අන්තයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ විජයගේ ලිබරල් චින්තනය දුටුවේ රට පාවා දීමක් වශයෙනි.
වයස අවුරුදු 43ක්ව සිටියදී අද (16) වන් දිනක නාදුනන තුවක්කු කරුවකු අතින් අසාමාන්‍ය සිනමා පෞරුෂය විජය ඝාතනය විය. විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. විජයව හැකි ඉක්මනින් රෝහල වෙත රැගෙන ගියමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබිණි. නඩු වාර්තාවල දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීරය හඳුනාගත නොහැකි වන පරිදි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස වෙඩි තබා තිබිණි. මින් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කොට ඔහුගේ ඝාතනයේ වගකීම බාරගත් බව ද කියැවේ.
2000 දශකයේ මුල ජනතා විමුක්ති පෙරමුණ හා විජයේ බිරිඳ වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයකට යාමේදී විජයගේ ඝාතනය විවිධ කතාවලට පටලවා ගනු ලැබීය. (ඇත්තෙන්ම ඒ සන්ධානගත වීමත් සිදුවුණේ චන්ද්‍රිකාගේ දේශපාලන පරිණතභාවය මත මිස ජවිපෙ හපන්කමක් නිසා නොවේ) ඒ කෙසේමුත් විජය ඝාතනයට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධය ඉතිහාසය තුළින් මකා දැමිය නොහැක.
ජනතා විමුක්ති පෙරමුණ විසින් විජය ඝාතනයට එවන ලද සාමාජිකයන් දෙදෙනා ආරක්ෂක අංශ භාරයේ සිටියදී එම ඝාතනය පිළිබඳ පාපොච්චාරණය කර තිබුණු අතර පසුව ඔවුන් ද ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්විය. ඇත්තෙන්ම ඔවුන් විජයව ඝාතනය කළේ පෞද්ගලික කෝන්තරයක් නිසා හෝ කුලී ඝාතකයින් වශයෙන් හෝ නොවේ. ඔවුන් විජයව ඝාතනය කළේ දේශපාලන තීන්දුවක් අනුව ය. එනමුත් පක්ෂයේ තීරණ ක්‍රියාත්මක කිරීමට දිවි පරදුවට තබා පැමිණි ඔවුන්ගේ වගකීම පවා ජනතා විමුක්ති පෙරමුණ පසු කලෙක භාර ගත්තේ නැත. ජවිපෙ විසින් ඔවුන්ව ඉතිහාසයේ කුණු බක්කියට තල්ලු කර දැමුවේ හුදෙක් මුදලට මිනී මැරූ කුලී ඝාතකයින් දෙදෙනෙකු වශයෙනි.
ඒ විජය ඝාතනය නම් වූ නිහීන දේශපාලන ක්‍රියාවේ දෙවැනි නිහීන දේශපාලන පියවර ය. අද වෙනත් ආකාරයක ජනප්‍රියවාදයක් හඹා යමින් සිටින ජවිපෙට මේ ඉතිහාසය වළදැමීමට තදින්ම වුවමනාව තිබුණ ද දේශපාලන ඉතිහාසය යනු තමන් කැමති අයගේ වැරදි සඟවා සෙස්සන්ගේ වැරදි පමණක් වැරදි ලෙස හුවා දැක්වීම නොවන අතර එය එසේ ක්‍රියාවට නැංවීම ද පහසු නැත.
ඝාතනයට ලක්වන මොහොත වනවිටත් විජය කුමාරතුංග ශ්‍රී ලංකා දේශපාලන කරළියෙහි ඉසිළූ ජනප්‍රියත්වය අනුව ඔහු යම් දිනෙක රාජ්‍ය නායකත්වයට පත්වීම වැළැක්විය නොහැක්කක් වී තිබිණි. විජය රටේ නායකත්වයට පත්විණි නම් මේ රට සුඛිත මුදිත වී සුරපුරයක් වන්නට තිබිණැයි අප කියන්නේ නැත. එහෙත් ඔහු වඩාත් ලිබරල් ප්‍රවේශයක් සහිතව රටේ ප්‍රශ්න විසඳීම කෙරෙහි යොමුවිය හැකි මෙන්ම අවංකවම ජනතාවට සේවය කිරීමේ වුවමනාව සහිත නායකයෙකු වන්නට තිබිණි. රටට අහිමි වුණේ ඒ අවස්ථාව ය.
- සශිකලා මධුෂාණි