පසුගියදා චීනයේ හොංෂු නුවර පැවැති 19 වන ආසියානු ක්‍රීඩා උළෙල සදහා ආරාධනා ලැබ සහභාගී වූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හා චීනයේ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය (චීන රජයේ ක්‍රීඩා පරිපාලනයේ උප සභාපති මෙන්ම චීන ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති) ලී යින්ග් චුවාන් අතර හමුවක් චීනයේ හොංෂු නුවර දී පැවැත්විණි.
මෙම ක්‍රීඩා උළෙලේදී සත්කාරකත්වය දරන චීනය වැඩි පදක්කම් ප්‍රමාණයක් ලබා ගෙන ඉහළ දක්ෂතා දක්වමින් කලාපයේ පළමු තැනට පත්වීම පිළිබදව චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ඒ සදහා කැපවූ නිළධාරීන්ට හා චීන රජයට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සුබ පැතුම් එක් කළේය. එයට ස්තූතිය පල කල ලී යින්ග් චුවාන් අමාත්‍යවරයා අතිශය තරගකාරී මීටර් 800 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව රන් පදක්කමක් ලබා ගැනීම ආකර්ණීය මෙන්ම විශිෂ්ඨ බව පෙන්වා දුන්නේය. මින් පෙර අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට චීනයේ පුහුණු අවස්ථාවන් ලබා දුන් බව ද එහි දී ඔහු සිහිපත් කළේය.
වසර 21 කට පසුව ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය පිළිබදව නිහතමානීව තමන් සතුටු වන බවත්, ඉතා අවම පහසුකම් යටතේ මෙම ජයග්‍රහණයට ලබා ගත් බවත්, වඩා විධිමත් පුළුල් සහයෝගයක් ඉදිරියේ දී මෙම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීමට තමා ඇතුළු කණ්ඩායම පියවර ගන්නා බවත් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රට තුළ මූල්‍ය අර්බුදයක් පැවතිය ද කළ හැකි උපරිමය ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ බවත්, ලබා දෙන මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්ම යොදා ගන්නා ලෙසත් මෙරට ක්‍රීඩා සංගම් හා සම්මේලන වෙත උපදෙස් ලබා දුන් බවත් මෙහිදී රොෂාන් රණසිංහඅමාත්‍යවරයා පැවසීය.
ක්‍රිඩා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය එවූ පණිවිඩයෙන් කොටසක් සුළු සංශෝධන සහිතව උපුටා ගෙන ඇත.
මේ සටහන තැබීමට සූදානම් වෙද්දි ප්‍රවෘත්ති ප්‍රකාශයක ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය කාලයේ සිඳු වූ සියලු වැරදි තරුෂිගේ පදක්කම වෙනුවෙන් සුසන්ත විදේශගත කිරීමට අවසර දීම හරහා සිය ගිණුමට බැර කරන්නට හදන බව දුටිමි.මේ අමාත්‍යවරයා යටතේ නිවැරදිව කළමනාකරනය නොවිම නිසා කොළොම්ඹියාවේ පැවති ලෝක යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියට තරුෂි කරුණාරත්නට මිටර් 800 ඉසව්වට සහභාගි වන්නට නොහැකි විය.එයටද සුසන්ත එකතු විය.නමුත් නිවැරදි මොහොතේ සහභාගි නොකිරීම නිසා තරුශිට මිටර් 800 ඉසව්වට සහභාගි වන්නට නොහැකි විය.සහභාගි වූයේනම් ඇය පදක්කමක් ලබා ගැනීමට හැකි මට්ටමේ සිටි බව ද අමාත්‍යවරයා සමහර විට දන්නවා විය හැකිය.නොදන්නවා විය හැකිය.
තවත් අවස්ථාවක සුසන්ත සහභාගි කරවූයේ කණ්ඩායමේ කළමණාකරු ඉවත් කර ඒ බර ද සුසන්ත පිට පටවාලමින්ය.ඒ ආසියානු කණිෂ්ඨ තරගාවලියට කොරියාවටය.අමාත්‍යවරයා මෙහිදී නොදන්නා කාරණය අවසාන මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයේ රන් පදක්කම සඳහා තාක්ෂණිකව යම් වෙනස්කමක් කළ යුතුව තිබුණු බවය.එම වෙනස්කම කිරීමේ කාර්යය සඳහා සහභාගි විය යුත්තේ කළමණාකරුය.එහිදී මීටර් 800 ඉසව්ව නිමා වී සිටි තරුශි වෙනුවෙන් වෙහෙසීම පසෙක තබා සුසන්තට අමාත්‍යංශය විසින් පත් කරන ලද නිල රාජකාරියට උර දෙන්නට සිඳු විය.ඒ නිසා හොඳම පෞද්ගලික කාලය වාර්තා කරමින් දිව ගිය මීටර් 400 මිශ්‍ර කණ්ඩායමට එම පදක්කම අහිමි වන්නටද තිබිණ.
මෙවැනි අමාත්‍යංශය වගකිම් ඉටු කළ හැකි කරුණු ගණනාවක් කිව හැකිය.ඒවා හැම එකක්ම අමාත්‍යවරයා නොවන අමාත්‍යවරයාට උපදෙස් දෙන ඇරියස්කාර උපදේශක සභාවේ සේවාවන් බව ද කිව යුතුය.ක්‍රීඩකයින්ට කුමන හෝ ප්‍රවර්ධන කටයුත්තකට තබා සංචාරයකට ගුවන් ටිකට්පතකට මුදල් දෙන්නට හෝ නොහැකි තත්ත්වයකට වැටී තිබෙන ක්‍රීඩා අමාත්‍යංශය දැන් දමන සද්ද අහෙන්නේ හිස් කළයකට තට්ටු කරන මට්ටමෙන්ය.ඒත් අවංකත්වයෙන් එය පුරවා හිස් හඬවල් නැඟෙන හැටි නවත්තන්නට හැකිය.
.
අඩුම ගණනේ මේ සාකච්ඡා මෙන්ම එහි ප්‍රතිපල ලෙස පහසුකම් දීමට චීනය එකඟ වන්නේනම් ඒවා බුද්ධිමත්ව ගත යුතුය.අමාත්‍යවරයා සුසන්ත ගැන කියූ ආකාරයටම නොකියූ කතාවක්ද සිහිපත් කර ඒ බුද්ධිය අවශ්‍යය වීමේ කතාව දැක්විය හැකිය.ඒ මෑතකදී නිමාව දුටු ලෝක යොවුන් තරගාවලියේදී එම කණ්ඩායම් සමඟ නම් කර සිටි ජ්‍යෙෂ්ඨම පුහුණුකරුවා වූ අනුර බණ්ඩාර ප්‍රමුඛ කොට නොසළකා හැරීමය.ඒ නිසා ඔහුට ලංකාව දිනූ රිදී පදක්කමේ හිමිකාරයා වූ සිය ගෝලයා සමඟ ළඟ සිටින්නට අවස්ථාව නොලැබිණි.සමහර ව්ට සිටියානම් අන්තිම මොහොතේ දෑසින් විඳ අනුර දෙන උපදෙස රිදී රන් පැහැයට පෙරළන එකක් වන්නට ද තිබිණි.
ලකුණු වැඩිපුර ලබන්නටනම් තමන් ඉගෙනගත් බව දැකිය යුතුය.වැරදි ශත පහකට මායිම් නොකර ඒවායෙන් කම්පා නොවී තමන්ට සියල්ල කළ හැකි බලයක් ඇමති දූරය හරහා ලැබී තිබෙන බවට ගොඩ නඟාගත් උද්ධච්ඡ ස්වභාවයෙන් කටයුතු කිරීම පලක් නැත.ඒ නිසා අඩම්බර වීමට නිවැරදි කරුණු වගා කර ගත යුතුව ඇත.තරුශිලා වැනි අනාගතයට වටින වස්තු සමඟ ඒවා ක්‍රමයෙන් පූර්ණත්යට ගෙන ආ හැකිය.ඒ නිසා චීනයේ ක්‍රිඩා ආධාර ලබා ගැනිමට සුදුසු කුමන ක්‍රිඩා සම්බන්ධයෙන් ද යන්න අවබෝධ කර ගත යුතුය.නමුත් තාක්ෂණික පහසුකම්වල උසස් බව නිසා ක්‍රීඩා පුහුණුකරුවන්ටනම් හොඳ දැනුමක් ලබා ගන්නට චීනය වැරදි නැත.
මේ කරුණු ගැන අවධානයෙන් තීරණ ගැනීම වැදගත්ය.උදාහරණයකට චීනය තරුශිට පුහුණුවීම් අවස්ථාවක් දුනහොත් එය භාර ගැනීම තාර්කික නැත.මේ මොහොතේ මීටර් 400 සහ 800 ඉසව් ගත් විට ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතා යහපත්ය.නදීශා දිල්හානිට පසුපසින් චීන ක්‍රීඩිකාවන් සිටියත් පිටියේ ඉසව්වලදී ඔවුන් දක්ෂය.වඩා වැදගත් මේ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ලෝකයට විවෘත වෙන්න මාවත් විවර කර දීමය.අතින් වියදම් කරගෙන විදේශ තරගවලට සහභාගි වූ අරුණ දර්ශන වැනි ක්‍රීඩකයින් මේ තත්ත්වයේ වැදගත්කම පෙන්වා දී ඇත.
වෘත්තීය මට්ටමෙන් තරග කරන විට අමාත්‍යංශයට වගකීම පැටවෙන්නේ නැත.ඒවා අති පෞද්ගලික මට්ටමේ සිය ක්‍රිඩා ජීවිතය සම්බන්ධ ක්‍රියාවලිය.නමුත් ක්‍රිඩා අමාත්‍යංශය බැදී සිටින්නේ මේ මොහොතේ ක්‍රීඩකයන්ට එසේ සහභාගි විය හැකි වටපිටාවක් සකස් කිරීමටය.වෘත්තීය භාවය සනාත කරන්නටය.ඒ සඳහා පළමු පියවර වන්නේ ක්‍රීඩකයින්ට ලොව පුරා සිය දක්ෂතාවලට සරිලන තරග සොයා ගැනීමට සහභාගි වීමට මාර්ගයක් සකස් කිරිමය.එහි පළමු පියවර ලෙස අමාත්‍යංශය පොරොන්දුවක් ලෙස ජනගත කර ඇති ජයග්‍රාහකිය්නට දීමනා පිරිනැමීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරමට විශේෂ කැබිනට් පත්‍රිකාවක් හෝ යෙදිය හැකිනම් වැදගත්ය..මෙවර මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කළ සියලුම ක්‍රීඩකයින් අමාත්‍යංශය නම් කර තිබෙන මුල් අට දෙනා අතර සිටින බැවින් එම ත්‍යාග මුදල් හිමිය.එසේම බොහෝ විට මේ තරගාවලියෙ අවසන් ආසියාතික තරගාවලිය විය හැකි ගයන්තිකා වැනි ක්‍රිඩිකාවන් රට වෙනුවෙන් කරන ලද කැපකිරීම ඇගයීමට වැඩ පිළිවෙලක් තිබිය යුතුය.එයද අවධාරණය කළ යුතු වන්නේ ඔවුන් සහභාගි වූ ඉසව්වල ඇති කරන ලද ප්‍රගතිය හමා ආ අලුත් පරම්පරාව ඒවා ඉක්මවා යමින් තිබෙන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ජයග්‍රහණවලට සමීප කරමින්ය.එය නොසළකා හැරිය නොහැකි ඇගයිය යුතු අතීතයක්ය.
අමාත්‍යවරයා තමන් කියන දෙය කියන්නට පෙර ලැබෙන අදහස ප්‍රකාශ කිරිම හැරෙන්නට එම කියමන් වල තාර්කික බව සිතන්නේ නැති බව අපි විශ්වාස කරමු.කියන දේවල් සම්බන්ධයෙන් එන ප්‍රතිචාර ද එසේම නොබලන බවද අපි සිතමු.එසේ නොවී විවේචනය යනු කර්කශ රළු දෙයක් පමණක් ලෙස සිතන සිතුවිල්ලෙන් ගැලවී තාර්කික වේනම් අප මේ මෑත ඉතිහාසය තුළ පවා අමාත්‍යවරයා අතින් වූ වැරදි නොවෙන්නට ඇරියස්කාර කේවට්ට උපදේශනයන්ගෙන් වියුක්තව සිතිය යුතු බොහෝ තැන් පෙන්වා දී ඇත.
දැන්වත් නිවැරදි වුවහොත් ඉතිහාසයේ නොපැමිණි තැනකට මේ මොහොතේ මලල ක්‍රීඩාව සපැමිණි ඇති බැවින් අලුත් හුස්මක් සහ අලුත් සැළසුමක් සහිතව මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීම සඳහා ප්‍රවේශයක් ආරම්භ කළ හැකි බව අපි සිතන්නෙමු.මේ සටහන ඒ අදහසින්ය.චීනය පරිස්සමෙන් අපේ අවශ්‍යයතාවයන් හොදින් තේරුම් ගෙන ඒවා සඳහා පමණක් ප්‍රයෝජනයට ගන්න.චීනය හරහා උදව් ගත හැකි ක්‍රීඩා කවරේදැයි ලෝක ක්‍රිඩාවන් හී ප්‍රතිපල සමඟ සසඳන්න.මේ වැඩේ උපදේශනය සඳහා උපදේශක මඬුල්ල කැඳවන්න පෙර ගූගල් සම්පත හරහා නිවැරදි දත්ත නෙලා ගන්නට ඔබට හැකියාව ඇතිනම් සාකච්ඡාවේදී ඉහළ ප්‍රතිපලවලට ළඟාවීම පහසු වෙනවා ඇත.
මේ සමඟ ඇත්තේ චීන සබඳතා තහවුරු කර ගැනීම සඳහා අමාත්‍යවරයා සහභාගි වූ හිමාලයා සමුළුවේ සිඳුවීම් ද ඇතුළත් ඡායාරූප කිහිපයක්ය.

සටහන – නිෂ්මං රණසිංහ
