*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ 23 – සදාතනික පෙම්වතී

ළමයාගේ ආසම විෂයය වුණේ සිංහල. ළමයා පොඩිකාලේ ඉඳන්ම අතට අහුවෙන මුද්‍රිත කඩදාසි කියෙව්වා. සිත්තර පත්තරේ සිට දිවයින පත්තරේ දක්වා අතට අහුවෙන පත්තර කියෙව්වා. පාසැල් පෙළපොතේ සිට විජයබා කොල්ලය හෝ පූජාවලිය දක්වා අතට අහුවෙන පොත් කියෙව්වා. ඒ හැම කඩදාසියකම තිබ්බ අකුරුවලින් අලුත් අලුත් අර්ථ මැවෙන එක තරම් අසිරිමත් දෙයක් ළමයාට වෙන කොහෙන්වත් හම්බවුණේ නැහැ. සිංහල භාෂාවේ විස්මය ඒ හැම කඩදාසියකින්ම අත්විඳින්න ළමයාට පුළුවන් වුණා. ළමයො ඕක පස්සෙ කියවන්න.. දැන් ඔය පැය ගානක් තිස්සෙ අතගගා ඉන්න බත් ටික කාල ඉන්න යැයි අනන්ත අප්‍රමාණ වාරයක් වැඩිහිටි මුවින් ඇසුණත් ළමයාගේ කුස පිරුණේ බත්වලින් නෙමෙයි පොත්වලින්. පත්තරවලින්.

සරත්මධුගේ යුනිකෝ, අර ගුප්ත රජා වෝගීර්ට දැවන්ත කුළුණක් බිම හෙළන්නැයි අභියෝග කළ මොහොතේ, මට බැරි දෙයක් මම වෙන කාටවත් කියන්නෑ වෝගීර්.. කියා කී බව මතකයෙන් ගිලිහෙන්නෙ නැහැ. අකුරු වචන වී වචන දෙබස් වී රස මවන විස්මිතය අහුවුණේ චිත්‍රකතා පත්තර කියැවීමෙන්. උත්තම පුරුෂ කතා කලාව මුළින්ම ඇහැ ගැටුණේ ජනක රත්නායකගේ චිත්‍ර කතාවලින්. කැලෑ අස්සයෝ වගේ කතාවක ජනක ඒ කථනය ලියපු හැටි සුවිශේෂයි. පිරිමි නිර්මාණකරුවෙක් ස්ත්‍රී කෝණයකින් සිදුවීම් විස්තර කරපු හැටි අපට කියාදුන්නේ සාහිත්‍යයේ අරුමැසි බවම මිස වෙන මොකක්ද ?

සෝවියට් රුසියාව කෑලි කෑලිවලට කැඩුනට පස්සේ එතෙක් ඔලිම්පික් පදක්කම් ලැයිස්තුවේ පළමු තැනින් සෝවියට් රුසියාව අතුරුදන් වෙලා ඇමරිකාව එතැනට එනකොට, ලෝකවාසී දහස් සංඛ්‍යාත ප්‍රගතිශීලී ජනයාගේ හද පෙළූ කම්පනය දිවයිනේ ලිපියක හෙඩිමට ආවේ, සමාජවාදී කඳවුරට බාසිලෝනාවෙන් පාඩමක් යනුවෙන් බව ළමාවියෙන් දශක ගණනකට පස්සේ වුණත් තවමත් මතකයි. එකල ඉරිදා දිවයිනේ සතිපතා එක්තරා උපහාස තීරු කවිපෙළක් පළවුණා, අවාසනාවකට රචකයා හෝ තීරුවේ නම මතක නැතත් වාසනාවකට, එකමත් එක සතියක පළවූ කවියක පේළි හතර තවම කට පාඩම්.

ඔහ්හ්.. අබරන් සීයාගේ කවියද ඒ ? කෙසේ වෙතත් මතකය මෙහෙමයි.

සකල සිරින් පිරි සිරි ලංකාවේ යුනිවර්සිටියේ කොලු පැංචෝ බෝඩින් තසිමේ කායං හොද්දෙන් ඩිග්රිය හෝදන මුව පැංචෝ අග්ගල කන්ටත් පුඩින් බුදින්ටත් ලයිසොන් නොදෙනා ආර්තිකේ උපාදි විකුණා කේක් බුදින දා හඳ පායනු ඇත අමාවකේ

මීට අවුරුදු තිස්පහකට විතර කලින් ඉරිදා දිවයිනේ පාඨක පිටුවක ආජු තපර ලාහිලා තාලෙට කියන්න පුළුවන් කවියක් තිබ්බා, මහා මෙරක් ලෙසට - පොත් මිටියක් ඇත කියල. ඒක ලියැවිලා තිබ්බේ විද්‍යා විෂයයන් කරන උසස් පෙළ ශිෂ්‍යයකුගේ කෝණයකින්. ඒකෙ ආජු තපර කොටස වෙනුවට මෙහෙමයි තිබ්බේ.

එන්තැල්පිල මටුලලා - දර්පණලා කාචලා එන්තැල්පිල දර්පණලා - ආත්‍රපෝඩ බයවෙලා..

මේ වචන මේ තරමට මතකයට කිඳා බැස්සේ කොහොමදැයි ලියුම්කරු කල්පනා කරනවා. අකුරු හරඹ සහ වචන හරඹ. ඒක තමයි රහස. අකුරු හරඹ වචන හරඹ සම්බන්ධ පුංචි පුංචි ආශාවන් දල්වපු මෙකී නොකී සිය ගණනක් හෝ ඇතැම්විට දහසකටත් වැඩි හැම මතකයක්ම සිංහල භාෂාව පිළිබඳ මහා ආශාව දල්වපු අතිසුන්දර වගේම අති වැදගත් නිමේෂයන් කියල අද හිතෙනවා ලියුම්කරුට. පූජාවලියේ එන යමා මහ පෙළහර තරම් විශිෂ්ට වර්ණනයක් මුණගැසී නැහැ ජීවිතේට. පූර්වාරාම පූජාවෙන් පසු විශාකා සිටු දියණියගේ අදිටන පරිදි සෑම කුටියකම බුදු කෙනෙකුන් දර්ශනය වීමේ සිදුවීම මයුරපාද හිමියන් විස්තර කළ හැටි දෙවෙනි වෙන එකක් නැහැ ලෝකයේ ඕනෑම අංක එකේ විෂුවල් ඉෆෙක්ට්ස් කාල්පනිකයකට.

ළමයා ගැටවරයා වෙනකොට හරඹ තරමටම අර්ථ වැදගත් කියල හිතෙන කඩදාසි මුණගැහෙන්න පටන් ගන්නවා. එකමත් එක දවසක අතට අහුවුණු බුක් මාක් එකක තිබුණු කවියක් මේ.

සිනාසෙන්නට හිඳින දරුවන්ට සිනාවක් රැගෙන එමු පළඳින්ට පියාපත් පිරිමදින තුරු නොඉඳ පියාඹමු හිස සිඹින සිහිනයට

ඉනිදු කලකට පසු සත්හඬ සිහිනය පළමු කලාපයේ පළමු පිටුවේ පළ කෙරුවම නාඳුනන කවියකු ලියූ මේ කවිය, පළවී දින දෙකකට පසු කවියා කතා කෙරුවේ දුරකතනයෙන්. කැටිපෙ, මං නිලාර් එතකොටයි දන්නේ වසර ගණනක් හිතේ තැන්පත් වී තිබුණේ සිංහල භාෂාවේ අවිවාදිත වැඩකරුවකු වන නිලාර් එ​න්.කාසිම් සහෘදයාගේ කවියක් බව. බසට පෙම්බැඳි මිනිහෙක්ට වීරයන් මුණගැසෙන්නේ අන්න එහෙම. මේ භාෂා ප්‍රේමය ගැන කල්පනා කරනකොට එක්තරා සුවිශේෂී ගුරුවරයෙක්ව මතක් වෙනවා.ලියුම්කරුට මුණගැහුණු අපූරුම සිංහල ගුරුවරයා තමයි මරික්කාර් සර්. රෝමානු කතෝලික ඉස්කෝලෙකට ගිය බෞද්ධ දරුවකුට හොඳටම සිංහල ඉගැන්නුවේ මුස්ලිම් ජාතික ගුරුවරයකු බව කියන්නේ අගෞරවයක් පිණිස හෙම නෙමෙයි අනෙකුත් යහපත් ගුරුවරුන්ට. ඒක ඇත්තක් නිසා.

භාෂාව නමැති සදාතනික පෙම්වතිය කොයිතරම් ලස්සන එක්කෙනෙක්ද කියා විස්තර කරන්නේ කොහොමද එක තීරු ලිපියකින් ? හෙළ බසට පෙම්කළ කුමාරතුංග මුනිදාස කීවේලු වරෙක, ජාතික කොඩියට සතෙකු ගන්න එපාය.. සූර්ය ලකුණ ගන්නය කියා. ඒ ඉතිහාස කතා උගන්වන්නේ ජාතිවාදී නොවී භාෂා ප්‍රේමී වන්නේ කෙසේද කියා. මේ මතක කොලාජය අවසන් කළ යුතුයි දැන්. කුමරතුඟු මුනිදසුන් කී පරිදි ධජය නිර්මාණය වූවානම්, ලංකාවේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්නට තිබුණා නේද ? සමහරවිට එහෙම වුණා නම්, ලස්සන වෙයි භාෂාව තරම්ම ඉතිහාසයත්.

විමල් කැටිපෙආරච්චි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan