උපාලි කොළඹගේ
කොළඹ LNW:22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත දැනට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද යන්න විමසා බැලීමේ අධිකරණමය ක්‍රියාවලිය දැන් අරඹා තිබේ.
මෙහිදී විශෙෂයෙන්ම සඳහන් කළ යුත්තේ ශේ්්‍රෂ්ඨාධිකරණය මෙහිදී සිදු කරනුයේ කුමක්ද යන්න ය. මෙහිදී ඔවුන්ගේ රාජකාරිය වනුයේ මෙම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පවත්නා ව්‍යවස්ථාව සමඟ කිසියම් ගැටුමක් ඇතිවන්නේ ද යන්න සොයා බලා ඊට යම් අතුරු යෝජනා ඇත්නම් ඒ පිළිබඳව රජය දැනුවත් කිරීමයි.
මෙය අපට ආගන්තුක සංසිද්ධියක් නොවේ. එය සිදු වන්නේ 22 වැනි වරටය. ප්‍රජාතන්ත්‍රවාදය සෘජුව අභියෝගයට ලක්කෙරෙන ව්‍යවස්ථා සංශෝධන රාශියක් අතීතයේ ඉදිරිපත් වූ බවද අප අමතක නොකළ යුතුය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිල කාලයේදී 6 වැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවේ සිටි දෙමළ ජාතික මන්ත්‍රීන්ට ඉල්ලා අස්වන තත්ත්වයක් ඇති වූ අතර එය තිස් අවුරුදු කුරිරු යුද්ධයට පාර කැපුණ බවද විශෙෂයෙන් සඳහන් කළ යුතුය. එමෙන්ම විනිසුරුවරුන්ට ළිදිවුරුම් දීමටද සිදුවිය. මහින්ද රාජපක්ෂ යුගයේ ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී සාරය වියැකී යන අන්දමේ වෙනස් කම් රාශියක් සිදුවිය .
මෙහි උත්ප්‍රාසය නම් ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කරන එම වෙනස්කම්වලට දෑතම ඉස්සූ පුද්ගලයන් කිසිදු හිරිකිතයකින් තොරව 22 වැනි සංශෝධනයට එරෙහිව හඬ අවදි කිරීමය. එයද ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව අවිවාදිත ය.
මගේ මතකය නිවැරදි නම් 78 ව්‍යවස්ථා වද නීතිගත වූයේ ජනමත විචාරණයකින් තොරවය. එය වැරදි මතකයක් නම් සමාවන්න.
අධිකරණ විනිසුරුවන්රුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් එය අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන්නේ කෙසේද යන්නට තවම ප්‍රමාණවත් පිළිතුරක් මා නම් අසා නැත. එමෙන්ම තමන්ගේ නඩුව තමන් අසනවා යන ජනප්‍රිය ප්‍රකාශයද මේ දිනවල බොහෝ විට අසන්නට ලැබේ. එසේ නම් කළ යුත්තේ කුමක්ද ?,
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැත්ද සොයා බැලීම ගමේ සාම මණ්ඩලයට බාර දීමද?
එමෙන්ම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම ක්‍රියාවලියෙන් ඉවත්ව සිටිය යුතුයයි ඇතැම් අය තර්ක කරති. ඒ ඇයි? මෙය සූරසේන මහතාගේ ප්‍රශ්නයක් නොවෙයි. සියලුම අධිකරණ නිලධාරීන්ට බලපාන්නකි.
මෙය පුද්ගල කේන්ද්‍රීය ප්‍රශ්නයක් කර ගෙන ඇත්තේ විපක්ෂයයි. මෙය සූරසේන භීතිකාවක් මිස අන් යමක් නොවෙයි.


