Tag: ඉන්දියාව

  • විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

    විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

    ඕවින්දි විෂ්මිකා

    ජනවාරි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සහ පාකිස්ථානය අතර දිගුකාලීනව පැවති යුධ ගැටුම්, අවිශ්වාසය සහ විසඳා නොගත් ආරවුල් වලින් හෙබි වූ නොසන්සුන් ඉතිහාසය තුළ විරෝධතාවයට වඩා රාජ්‍යතාන්ත්‍රිකත්වය ඉදිරියට පැමිණි අතිශය දුර්ලභ අවස්ථා දෙකක් තිබුණි. ඒ අවස්ථා දෙකේදීම, පාකිස්ථාන නායකයින් ඉන්දියාවේ ජනරජ දින පෙරහැරේ ප්‍රධාන අමුත්තන් ලෙස ආරාධනා ලැබීය.එය සාමාන්‍යයෙන් ඉන්දියාවට සමීප මිතුරන්ට සහ උපායමාර්ගික හවුල්කරුවන්ට පමණක් හිමි වන චාරිත්‍රානුකූල ගෞරවයකි.

    1955 සහ 1965 වසරවල සිදු වූ මෙම ආරාධනා සාමාන්‍ය රාජ්‍ය සබඳතා ක්‍රියාවලියක කොටසක් නොවීය. දෙරට අතර සබඳතා දැඩි ලෙස පළුදු වී ඇති අවස්ථාවලදී සිදු වූ මෙම ආරාධනා හුදෙක් සාමය පිළිබිඹු කිරීමට සංකේතවාදය සහ උත්සව භාවිතා කළ හැකි බව විශ්වාස කළ ඉන්දියානු නායකත්වයේ සවිඥානයේ ප්‍රකාශයන් විය.

    ඉන්දියාවේ ජනරජ දිනය සෑම වසරකම ජනවාරි 26 වන දින සැමරෙන්නේ 1950 දී ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ දිනය සිහිපත් කරමින්ය. නවදිල්ලියේ කාර්තව්‍ය මාවත (Kartavya Path) හරහා පැවැත්වෙන මහා හමුදා සන්නද්ධ සහ සංස්කෘතික පෙළපාළියක් ඇතුළත් මෙය ඉන්දියාවේ වැදගත්ම ජාතික උත්සවය වේ. මෙම උත්සවය ආරම්භ වූ දින සිටම මිත්‍රත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සුහදතාව සංකේතවත් කිරීම සඳහා විදේශීය ගෞරවනීය පුද්ගලයෙකු ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කිරීම ඉන්දියාවේ සම්ප්‍රදාය වී ඇත.

    කෙසේ වෙතත් ඉන්දියාවේ දිගුකාලීන ප්‍රතිවාදියා වූ පාකිස්ථානයට මෙම ගෞරවය ලැබී ඇත්තේ දෙවරක් පමණි.

    පළමු අවස්ථාව 1955 ජනවාරි මාසයේදී සිදුවිය. එදා පාකිස්ථානයේ එවකට ආණ්ඩුකාර ජෙනරාල්වරයා වූ සර් මලික් ගුලාම් මුහම්මද් ජනරජ දින පෙරහැරේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබීය. මෙම තීරණය ධෛර්යසම්පන්න මෙන්ම විවාදාත්මක එකක් විය. 1947 දී බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවේ සිදු කළ කම්පන සහගත බෙදීමෙන් පසු ඇති වූ විපර්යාස සහ කාශ්මීරය සම්බන්ධයෙන් වූ පළමු ඉන්දියා–පාකිස්ථාන යුද්ධයෙන් වසර දහයකටත් අඩු කාලයක් පමණක් ගතව තිබුණි. දේශසීමාවල නොසන්සුන් බව උණුසුම්ව පැවති අතර සරණාගතයන්ගේ වේදනාව තවමත් එලෙසම තිබූණි.දෙරට අතර අවිශ්වාසය ගැඹුරු ලෙස පැවතිණි.

    මෙම ආරාධනය ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ චින්තනය පිළිබිඹු කළ එකක් විය.මන්ද උත්සවීය සංකේත භාවිතයෙන් හෝ වේවා වෛරය මඳක් හෝ හකුළා සංවාදයට ඉඩක් සැලසිය හැකි බව ඔහු විශ්වාස කළේය. බෙදීමට පෙර ඉන්දියානු සිවිල් සේවයේ සේවය කළ මලික් ගුලාම් මුහම්මද් පාකිස්තානයේ ආරම්භක දේශපාලන ඉතිහාසයේ බලවත් චරිතයක් විය.එහෙත් ඔහුගේ ධුර කාලය මතභේදාත්මක විය.1953 දී අගමැතිවරයා ඉවත් කිරීම සහ ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීමත් හේතුවෙන් ඔහුගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කළ එකක් බවට පසුව විවේචනයට ලක්විය. එවන් චරිතයක් නවදිල්ලියේ පිළිගැනීම සංකේතවත් සහ දේශපාලනිකව ඉතා වැදගත් එකක් විය.

    දශකයකට පසු 1965 ජනවාරියේදී ඉන්දියාව නැවත වරක් එවන්ම පියවරක් ගත්තේය. එදා පාකිස්ථානයේ ආහාර හා කෘෂිකර්ම අමාත්‍යවරයා වූ රනා අබ්දුල් හමීද් ඉන්දියාවේ ජනරජ දින පෙරහැරේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය. මෙම සංචාරය සිදු වූයේ අගමැති ලාල් බහාදූර් ශාස්ත්‍රිගේ කාලයේදී වන අතර දෙරටම නිහඬව තම හමුදා හැකියාවන් පුළුල් කරමින් බාහිරව සන්සුන් බව පවත්වාගෙන යන අවස්ථාවකදී මෙම ආරාධය සිදු විය.

    රනා අබ්දුල් හමීඩ් යනු සින්ධ් සහ රාජස්ථාන් ප්‍රදේශවල මුල් බැසගත් ප්‍රසිද්ධ පන්ජාබ් ඉඩම් හිමි පවුලකින් පැවත එන්නෙකි. පෙළපාළියේ ඔහුගේ පැමිණීම නැවත වරක් මහජන මට්ටමේ සාමය සහ විශ්වාසය ගොඩනගා ගැනීමට කළ උත්සාහයක් ලෙස දැකිය හැකි විය.

    එහෙත් එම බලාපොරොත්තුව කෙටි කාලයකින්ම බිඳ වැටුණි. 1965 අප්‍රේල් මාසයේදී පාකිස්ථානය Rann of Kutch ප්‍රදේශයේදී “ඔපරේෂන් ඩෙසර්ට් හෝක්” දියත් කරමින් ඉන්දියානු හමුදාව සමඟ ගැටුම් ආරම්භ කළේය. ජුනි මාසයේදී සටන් විරාමයකට එළඹුණද අගෝස්තු මාසයේදී “Gibraltar” මෙහෙයුම දියත් කරමින් ජම්මු සහ කාශ්මීරයට ඇතුළු වී කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කළේය.අවසානයේ 1965 වසරේ පූර්ණ ඉන්දියා–පාකිස්ථාන යුද්ධයකට මඟ හෙළී පෙහෙළි විය.

    එවකට ද ඉන්දියාව තුළ මෙම ආරාධනා පිළිබඳ අදහස් පළ විය. සමහර දේශපාලනඥයන් සහ විචාරකයන් තර්ක කළේ මේවා සංවාදයට ඉඩ සලසන “soft bridges” ලෙසයි.තවද අනෙක් අය අනතුරු ඇඟවූයේ ප්‍රායෝගික ප්‍රතිපත්තිමය පියවරක් නොමැතිව උත්සවීය උණුසුම දේශපාලනික වශයෙන් වැරදි ලෙස අර්ථ දැක්විය හැකි බවයි.

    ආපසු හැරී බලන විට ඉතිහාසය පෙන්වා දෙන්නේ මෙම සංකේතමය උත්සාහයන් දෙරට අතර ගැඹුරු ගැටළු විසඳීමට ප්‍රමාණවත් නොවූ බවයි. කාශ්මීරය පිළිබඳ විවාද, නැවත නැවත ඇති වූ යුධ ගැටුම් සහ සටන් විරාම,න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ මෙම අසල්වැසි දෙරට අතර සම්බන්ධතා එලෙස නිර්වචනය කර ඇත.

    අද දිනද ඉන්දියාවේ ජනරජ දින උත්සවය ලෝකයේ බොහෝ රටවල නායකයන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ ගෝලීය සම්බන්ධතාවය ඉස්මතු කරමින් පැවැත්වෙයි. එහෙත් 1955 සහ 1965 වසරවල සිදු වූ මෙම දුර්ලභ අවස්ථා විරෝධී ඉතිහාසයක් සහ අවිශ්වාසයෙන් පිරි සම්බන්ධතාවයක් අතරතුර සාමය ගොඩනගා ගැනීම කෙතරම් දුෂ්කර සහ නාස්තිශීලී ක්‍රියාවලියක්ද යන්න සිහිපත් කරවමින් තවමත් මතකයේ රැඳී ඇත.

  • බානගල නා හිමි 76 වන ජන්ම දිනය සැමරේ!

    බානගල නා හිමි 76 වන ජන්ම දිනය සැමරේ!

    කොළඹ LNW:ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, දඹදිව සාංචි චේතියගිරි විහාරය,බානගල උපතිස්ස පිරිවෙන,සපුගස්කන්ද අබේසේකරාරාමය සහ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරය යන සිව් මහා විහාරයන් හි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ හැත්තෑ හයවන ජන්ම දින සමරුව අදට (05) යෙදී ඇත.

    1950 ජනවාරි පස්වන දින දකුණේ මොරවක් කෝරළේ බානගල නම් සුන්දර ගම්මානයේ ජාසින් ලියනගේ දොන් හෙන්ද්‍රික් ජයසේන සහ අම්පාගොඩ ලියනගේ ප්‍රේමවතී මාපියන්ගේ නව දෙනෙකු ගෙන් යුත් පවුලේ හත්වැනි දරුවා ලෙස උපන් මෙම කුමරාට ජේ.එල් උපතිස්ස ලෙස නම් තබනු ලැබූයේ හෙන්ද්‍රික් ජයසේන මහතාගේ වැඩිමල් සොයුරු බානගල සීලරත්න හිමියෝය.

    මූලික අධ්‍යාපනයෙන් පසු මැටිවල සංඝරත්න හිමියන් සමග අවුරුදු දොලහෙ දී දඹදිවට ගිය, උපතිස්ස දරුවා අවුරුදු දාහතේ දී හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමි වෙතින් බානගල උපතිස්ස ලෙසින් පැවිදි දිවියට ඇතුළත් විය.

    සාංචි, විදසා පාසල්වල සහ බෝපාල් විශ්ව විද්‍යාල හි අධ්‍යාපනය ලැබූ බානගල උපතිස්ස හිමියෝ පසුව ජපානයේ දී පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපනය හෙවත් පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ඉහළම අධ්‍යාපනය ලැබූහ.

    මෙරටට ජපන් සම්ප්‍රදායේ පෙර පාසල් අධ්‍යාපනය හඳුන්වාදීමේ සහ පෙර පාසල් පිළිබඳ ජාතික ප්‍රඥප්තියක් සැකසීමේ පුරෝගාමියා වන්නේ ද බානගල උපතිස්ස නා හිමියෝය.

    ජපානයේ ථෙරවාදී බුදු දහම ස්ථාපිත කිරීමේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මහා ප්‍රාර්ථනාව ඉටු කරමින් ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරය සවරා ලංකා ජී විහාරය (1984) ඉදිකරමින් ජපානයේ, ලංකාවේ සහ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සැදැහැවත් වන්දනාවට ලක් වූ බානගල නා හිමියෝ ය.උන් වහන්සේ ඉටු කළ මේ මහා ආගමික විප්ලවීය කාර්යභාරය අගය කරමින් කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී මහා ධර්ම සංඝ සභාව (1984) අවුරුදු තිස් හතරක් තරම් ලාබාල උන්වහන්සේට ජපානය ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීම මෙරට ශාසන ඉතිහාසයේ ඓතිහාසික සංසිද්ධියකි.

    දහසය වන බෙනඩික් ශුද්ධෝත්තම පාප් වහන්සේ ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ද ගෞරවනීය හිතවතෙකු වූ බානගල නා හිමියෝ 14 වන ශුද්ධෝතම දලයිලාමාතුමා ද ඉන්දියාවේ ස්වාමි දයානන්ද සරස්වතී,ශ්‍රී ශ්‍රී රවි ශන්කර්, ස්වාමි අවාද්හෙස්හානන්ද ගිරි මහරාජ්, කාංචිපුරම් හි ශුද්ධෝත්තම ශංකරාචාර්යතුමා, ජපානයේ නරිතතසං ශිංශෝජි මහා විහාරාධිපති ශෝසෙකි ත්සුරුමි මහා නා හිමි,අතිපූජ්‍ය නිචිඩාට්සු ෆූජී නා හිමි, අතිපූජ්‍ය ශෝජින් හෂිමොටෝ නා හිමි, ශෝකන්ජි මහා විහාරාධිපති මෙයිටොකු හොරීයි නා හිමි, කියෝතෝ හි හොන්ගන්ජි විහාරාධිපති අතිපූජ්‍ය ඔටානී චෝජුන් නා හිමි, චීනයේ අතිපූජ්‍ය ෂී බෙන් හුවාන් නා හිමි,බ්‍රහ්ම කුමාරී ආශ්‍රමයේ නිර්මාතෘ ප්‍රකාශ්මානී මෑණියන්,දකුණු අප්‍රිකාවේ මහා සාම වීරයෙක් ලෙස සැලකෙන මයිකල් ලැප්ස්ලි පියතුමා, මියන්මාරයේ අතිපූජ්‍ය සිතාගු සයර්ඩාව් නා හිමි ,ලෝක බෞද්ධ සම්මේලනයේ මහ ලේකම් ලොබ් සන්ග් ලාමාතුමා,ඉන්දියාවේ ඔතඩොක්ස් පල්ලියේ උත්තරීතර නායක අති උතුම් බැසෙලිඔස්මාර් තෝමා තුමා වැනි ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ආගමික නායකයෝ බානගල නා හිමියන් සමඟ විවිධ ආගමික, සංස්කෘතික අභිවර්ධන කටයුතු වෙනුවෙන් සාමූහිකව කටයුතු කළ අය වෙති.

    සෞදි අරාබියට වැඩම කළ ප්‍රථම බෞද්ධ භික්ෂුව වන්නේ ද ඉරානයේ ආධ්‍යාත්මික නායක (2008) අල් කුමෙයිනිතුමා හමු වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ වන්නේ ද බානගල උපතිස්ස නා හිමියෝ ය.

    ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමන්,පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, භූතාන අග්‍රාමාත්‍ය ජිග්මේ තින්ලේ, අශී සෝනාම් වන්ග්චුක් භූතාන රජ කුමරිය, තායිලන්තයේ මහාචක්රි සිරින්ඩෝර්න් අගරැජින ද ශීසෙල්ස් රාජ්‍යයේ නිර්මාතෘ සභාපති ජේමිස් ආර් මැන්චම්,පෘතුගාලයේ අග්‍රාමාත්‍ය අන්ටෝනියෝ ලුයිස් සන්ටෝස් ඩා කොස්ටා මැතිතුමා,ජපානයේ අග්‍රාමාත්‍යකයිෆු ටොෂියාකි,ජපානයේ මහ අධිරාජයා යන අය ඇතුළුව බොහෝ රාජ්‍ය නායකයන් ද රාජ්‍යතාන්ත්‍රිකයන් ද උන් වහන්සේ සමග සමීපව කටයුතු කළ අය වෙති.

    ක්‍රි.ව.1193 දී ඉන්දියාවේ නාලන්දා මහා බෞද්ධ විශ්ව විද්‍යාලය මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් විනාශ කළ පසු ඉන්දියාවේ ආරම්භ කළ ප්‍රථම බෞද්ධ විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන සාංචි විශ්ව විද්‍යාලය බානගල නා හිමියන්ගේ අප්‍රතිහත උත්සාහයේ අමිල ප්‍රතිඵලයකි.

    තායිලන්තයේ මහ රජතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් තායිලන්ත සහ ඉන්දීය රජයේ ඉල්ලීම පරිදි ප්‍රථම වරට අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා (2025) තායිලන්තයට වැඩම කරවීමට කටයුතු කළේ ද බානගල නා හිමියෝය.

    විවිධ රටවල පැවති ථෙරවාදී, මහායාන බෞද්ධ සමුළු සම්මේලන,හින්දු හා සමයාන්තර ආගමික දර්ශන සමුළු,මුස්ලිම් ආගමික සමුළු යනාදී ජාත්‍යන්තර සමුළු සියයකට ආසන්න සංඛ්‍යාවක විශේෂ දේශකයෙක්, ආරාධිතයෙක් ලෙස බානගල නා හිමියෝ සහභාගි වී ඇත්තාහ.

    ශ්‍රී ලංකා මහාබෝධි සංගමය, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය,යොෂීඩා අධ්‍යාපන,සමාජසේවා පදනම,සාංචි විශ්වවිද්‍යාලීය නිර්මාතෘ සාමාජික,ශ්‍රී ලංකා ආගමික කවුන්සිලයය,අන්තර් ආගමික සමුළුව යනාදී ආයතනවල තනතුරු රැසක කර උර දී කටයුතු කරන බානගල උපතිස්ස නා හිමියන්,වසර විසිපහක් ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ මේ සභාපති ලෙස ඉටුකරන සේවය අති විශිෂ්ටය. අනගාරික ධර්මපාලතුමන්ගේ එකසිය පනස් වන ජන්ම දිනය නිමිත්තෙන් 2014 දී ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජය විසින් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කරනු ලැබූයේ බානගල නා හිමියන්ගේ ගෞරවනීය ඉල්ලීම පෙරදැරිවය. ඉන්දියාවේ (මුදල් නෝට්ටුවක ඇති එකම ආගමික ස්ථානයක ඡායාරූපය) රු.200.00 මුදල් නෝට්ටුවේ ඇති සාංචි චෛත්‍යයේ චිත්‍රය ඇතුළත් වීමේ ගෞරවය ද හිමි විය යුත්තේ බානගල නා හිමියන්ට බව ඉන්දියාවේ බොහෝ දෙනක් මෙම ලියුම්කරුට පෙන්වා දී ඇත.

    බානගල නා හිමියන්ට නිදුක් නිරෝගී සුවය සමගින් දිගාසිරි ප්‍රාර්ථනා කරමින්,අද (05) මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ විශේෂ අග්‍රශ්‍රාවක පූජෝපාහාරයක් සහ සපුගස්කන්ද අබේසේකරාරාමයේ විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් ද,ජපානයේ සවරා ලංකා ජී විහාරයේ ද විශේෂ ආශිර්වාද පූජා පැවැත් වේ.

    උපුල් ජනක ජයසිංහ

  • සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

    සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

    ආශිකා බ්‍රාහ්මණ

    කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබේ.

    ඉන්දියානු රජයේ වසර අවසාන ආර්ථික සමාලෝචනයේ ගණනය කිරීම් වලට අනුව ඉන්දියාව ජපානය අභිබවා ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය බවට ආර්ථික සමාලෝචන වාර්තාවෙන් පෙන්වා දෙයි.

    වත්මන් ප්‍රවණතා සම්බන්ධයෙන්, ඉන්දියාව ඉදිරි වසර තුන තුළ ජර්මනිය අභිබවා ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම සමාලෝචනයේ සඳහන් වෙයි.

    ඉන්දියාවේ ආර්ථිකය කෙතරම් විශාලද?

    ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය දැනටමත් ඩොලර් ට්‍රිලියන 4.18 (යුරෝ ට්‍රිලියන 3.55) පමණ ළඟා වී ඇති අතර 2030 වන විට ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

    වර්තමාන ප්‍රවණතා සම්බන්ධයෙන් ගත් කළ ඉන්දියාව ආර්ථික වශයෙන් එක්සත් ජනපදයට සහ චීනයට පමණක් පසුපසින් සිටියි.

    2025-2026 මූල්‍ය වර්ෂයේ දෙවන කාර්තුවේදී ඉන්දියාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 8.2% කින් වර්ධනය වූ අතර එය පෙර කාර්තුවේ 7.8% සිට කාර්තු හයක ඉහළම අගයක් සනිටුහන් කළේය.

    අපනයන කාර්ය සාධනය ද ශක්තිමත් වී ඇති බව සමාලෝචනයේ සඳහන්. ජනවාරි මාසයේ ඩොලර් බිලියන 36.43 සිට නොවැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් බිලියන 38.13 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉංජිනේරු භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඖෂධ සහ ඛනිජ තෙල් නිෂ්පාදන මගින් ඊට අනගි සහායක් ලබා ගෙන ඇත.

    ඉන්දියාවේ ආර්ථික උත්පාතය කලාපීය බෙදීමක් ඇති කරයි!

    කෙසේ වෙතත්, නිල තහවුරු කිරීම රඳා පවතින්නේ 2026 දී අවසාන වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත සංඛ්‍යාලේඛන නිකුත් කරන විට නියමිත දත්ත මතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ ඉන්දියාව ලබන වසරේ ජපානය අභිබවා යනු ඇති බවයි.

    ඉන්දියානු සංචිත බැංකුව 2025–26 මූල්‍ය වර්ෂය සඳහා එහි වර්ධන පුරෝකථනය 7.3% දක්වා ඉහළ නංවා ඇත.

    ඉන්දියාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය විය හැක්කේ ඇයි?

    ගෝලීය වෙළඳාම සහ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය අඛණ්ඩව පැවතුණද, විශේෂයෙන් ශක්තිමත් පෞද්ගලික පරිභෝජනයක් සහිත දේශීය ඉල්ලුම මගින් වර්ධනය ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලැබූ බව කියනු ලැබේ.

    ඉන්දීය රජය වත්මන් අවධිය ඉහළ වර්ධනයක් සහ අඩු උද්ධමනයක් සහිත දුර්ලභ “ගෝල්ඩිලොක්ස්” කාල පරිච්ඡේදයක් ලෙස විස්තර කළ අතර, ශක්තිමත් ආයතනික ශේෂ පත්‍ර, ස්ථාවර ණය ප්‍රවාහ සහ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ඉන්දියාව තිරසාර ව්‍යාප්තිය සඳහා ස්ථානගත කර ඇති බව පෙන්වා දිය හැකිය.

    “ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයන් අතර වන අතර මෙම ගම්‍යතාවය පවත්වා ගැනීමට ද ඔවුන් හොඳින් ස්ථානගත වී ඇත.”

    “නිදහසේ ශත සංවත්සරය වන 2047 වන විට ඉහළ මධ්‍යම ආදායම් ලබන තත්වයක් ලබා ගැනීමේ අභිලාෂය ඇතිව, රට ආර්ථික වර්ධනය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ සමාජ ප්‍රගතියේ ශක්තිමත් අත්තිවාරම් මත ගොඩනැගෙමින් සිටී.” යනුවෙන් ඔවුන් සිය ආර්ථික සමාලෝචනයේ දක්වයි.

    ඉන්දියාව මුහුණ දෙන ආර්ථික අභියෝග මොනවාද?

    ආදායම් අතින්, දියුණු ආර්ථිකයන් සමඟ පරතරය පුළුල්ව පවතී. නවතම ලෝක බැංකු දත්ත වලට අනුව, 2024 දී ඉන්දියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 2,694 ක් විය. එය ජපානයේ ඩොලර් 32,487 ට වඩා 12 ගුණයකින් පමණ අඩු සහ ජර්මනියේ ඩොලර් 56,103 ට වඩා 20 ගුණයකින් පමණ අඩුය.

    ජනගහනය අනුව, ඉන්දියාව 2023 දී අසල්වැසි චීනය අභිබවා ලොව වඩාත්ම ජනාකීර්ණ රට බවටද පත්විය.

    රජයේ සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ ඉන්දියාවේ බිලියන 1.4 ක ජනතාවගෙන් හතරෙන් එකකට වඩා වයස අවුරුදු 10 ත් 26 ත් අතර බවයි. තරුණ උපාධිධාරීන් මිලියන ගණනක් සඳහා ප්‍රමාණවත් තරම් හොඳ වැටුප් සහිත රැකියා නිර්මාණය කිරීම ඉදිරි බාධකයක් වන නමුත් වාර්තාව බලාපොරොත්තු සහගත ඉදිරි දැක්මක් ඉදිරිපත් කර ඇත.

    “ලෝකයේ ලාබාලතම ජාතියක් ලෙස, ඉන්දියාවේ වර්ධන කතාව හැඩගැසෙන්නේ එහි පුළුල් වන ශ්‍රම බලකාය ඵලදායී ලෙස අවශෝෂණය කර ගනිමින් සහ සියල්ල ඇතුළත්, තිරසාර වර්ධනයක් ලබා දෙන ගුණාත්මක රැකියා උත්පාදනය කිරීමේ හැකියාවෙනි,” සමාලෝචනයේ සටහන් වන්නේ එපරිද්දෙනි.

    මාර්තු 31 න් අවසන් වූ මාස 12 තුළ වර්ධනය වසර හතරකින් අවම මට්ටමකට මන්දගාමී වීමෙන් පසුව, අගමැති නරේන්ද්‍ර මෝදි මෙම වසරේ පුළුල් පරිභෝජන බදු කප්පාදු එළිදැක්වූ අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේය.

    මුදල් පීඩනයන්ද ඉහළ ගොස් තිබේ. 2025 දී 5% කින් පමණ පහත වැටීමෙන් පසු දෙසැම්බර් මස මුලදී රුපියල ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවම අගයක් වාර්තා කර ඇත. වොෂින්ටනය සමඟ වෙළඳ ගිවිසුමක් නොමැතිකම සහ ඉන්දියානු භාණ්ඩ සඳහා ඉහළ බදු පැනවීමේ බලපෑම පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ එය සිදු විය.

    2022 දී ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය බවට පත් වූ අතර IMF සංඛ්‍යාලේඛනවලට අනුව, එහි දළ දේශීය නිෂ්පාදිතය හිටපු යටත් විජිත පාලක බ්‍රිතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදිතය අභිබවා ගොස් තිබේ.

    ඒ අනුව ඉන්දියාව අධිෂ්ඨානශීලි ඉලක්ක සහගත ගමනක නිරතව සිටින බව පැහැදිලිය.

  • විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

    විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

    සටහන – රුවන් නෙළුගොල්ල

    මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (23) පැවැත්වී තිබේ.

    ඒ, කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ය.

    එහිදී පසුගිය දා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ඉන්දීය රජය ක්‍රියාත්මක කළ සාගර් බන්දු මෙහෙයුම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළකර ඇත.

    එසේම ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට තවතවත් සහාය ලබාදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

  • ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

    ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

    සටහන – රුවන් නෙළුගොල්ල

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

    ඒ අනුව, ඊයේ (22) පස්වරු 5.40ට පමණ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් එස්.ජයිශංකර් මහතා මෙරටට පැමිණ ඇත.

    ඒ මහතාව පිළිගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා ඇතුළු පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට එක්ව සිටියහ.

    මෙම නිල සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ඉහළ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බවත් සඳහන්.

  • ටොන් දස දහසකට අධික ආධාර රැගත් ඉන්දියානු නෞකාව කොළඹ වරායට: තවත් ඉන්දීය නැවක් අද ත්‍රිකුණාමලය වරායට!

    ටොන් දස දහසකට අධික ආධාර රැගත් ඉන්දියානු නෞකාව කොළඹ වරායට: තවත් ඉන්දීය නැවක් අද ත්‍රිකුණාමලය වරායට!

    රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW :

    සීනි කිරිපිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සමඟ ආධාර රැගත් ඉන්දියානු නෞකාවක් ඊයේ (07) කොළඹ වරායට පැමිණ තිබෙන බව වාර්තා වේ.

    භාණ්ඩ තොගයේ වටිනාකම ටොන් දස දහසකට අධික බව පැවසේ.

    ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත භාරදෙනු ලැබූ අතර, තවත් ටොන් හත්සීයකට භාණ්ඩ රැගත් න්දීය නෞකාවක් අද (08) දින ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතයි.

    මෙම භාණ්ඩ තොගය අතර , සීනි කිරිපිටි ඇඳුම් සාරි බෙඩ්ෂීට් තුවා වන බව වාර්තා වේ.

  • ” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

    ” සාගර බන්ධු ” විසින් ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් මෙරටට!

    රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW :

    අද (06) පස්වරුවේ දී ඉන්දියාව විසින් නම් කර ඇති ” සාගර බන්ධු ” මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර, ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය අද දින පස්වරු 03.15 ට ඉන්දියාවේ අග්‍රා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සඳහන් වේ.

    මෙම ගුවන් යානය තුළ අඩි 110 ක් දිගැති , මෙට්‍රික් ටොන් 65 ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් සහ ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13 දෙනෙකු ද පැමිණ ඇත.

    මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිට ඇති බව වාර්තා වේ.

  • ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

    ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

    කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C -17A ගුවන් යානයක් ඊයේ (02) පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.

    ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම වෛද්‍යාධාර තොගයට අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා අවශ්‍ය ක්ෂේත්‍රමය පහසුකම් රැසක් ලැබී ඇති බවයි.

    ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම වෛද්‍යාධාර තොගය නිල වශයෙන් භාර දෙන ලද අතර යුද හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ටිරාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් එය භාර ගනු ලැබීය.

    හදිසි අවස්ථාවන්හි කඩිනමින් භාවිත කිරීම සඳහා නිර්මාණය කර ඇති අංගසම්පූර්ණ ක්ෂේත්‍ර රෝහල් ඒකක දෙකක්ද මෙම භාණ්ඩ තොගයට ඇතුළත් වේ. මෙම ඒකකවලින් එකක් වැලිමඩ ප්‍රදේශයෙහි ස්ථාපිත කිරීමට නියමිතයි.

    මීට අමතරවල ආපදාවට පත් ජනතාව සඳහා වෛද්‍ය සහාය ලබා දීමට ඉන්දියාවෙන් වෛද්‍යවරුන්,සර්වාංග සහ කායික රෝග විශේෂඥයින්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයින් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 73 දෙනෙකු මෙරටට පිටත් කර එවා තිබේ.

  • ඉන්දියාවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමකුත් එයි!

    ඉන්දියාවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමකුත් එයි!

    කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීමට විශාල සහයක් වෙමින් ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

    ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඇතුළත් වන බවත් ඊට සුනඛයින් සිව්දෙනෙකුද ඇතුළත් බව සඳහන්.

    මෙහෙයුම් සඳහා අවශ්‍ය ආපදා උපකරණයද මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර ආපදා තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාවට ආධාර තොගයක් රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී – 130 ගුවන් යානයක් අද (29) අලුයම කටුනායක ගුවන්තොටුපොළට ළඟා වී තිබුණි.

    ඉන්දීය ජනතාව විසින් පිරිනමන ලද සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් එලෙස ගෙනවිත් තිබේ.

  • නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

    නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

    කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10 වැනිදා සිදුවූ පිපිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ගැන ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.

    එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එළඹෙන දෙසැම්බර් 06 වැනිදා නවදිල්ලියේ ස්ථාන හයක පුපුරුවා හැරීම් සිදුකිරීමට සැලසුම් අකර ඇති බවයි.

    1992 වසරේ දී ඇතිවූ ආගමික කැරැල්ලක් අතරතුර අයෝධ්‍යා හි ඉදිකර තිබූ බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරය එළැඹෙන දෙසැම්බර් හයවැනි දිනට යෙදී ඇති අතර ඊට සමගාමීව බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ පළිගැනීමක් ලෙස නවදිල්ලි අගනුවර ස්ථාන හයකදී මෙම පිපිරීම් සිදුකිරීමේ සැලසුම් කර ඇති බවටයි තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ.

    මෙම සැලසුම් සකස්කර ඇත්තේ 10 වැනිදා පිපිරීමට සම්බන්ධ ‘ජයිෂ් ඊ මොහම්මද්’ නම් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම වන අතර රතු බලකොටුව අසල පිපිරීමෙන් පසු ගතවූ දින තුනක කාලය තුළ ඉන්දීය පොලීසිය කාශ්මීරයේ සිදුකළ වැටලීම්වලින් 500කට ආසන්න පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    රතු බලකොටුව අසල පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ෆරිදාබාද්හි අල් ෆලා විශ්ව විද්‍යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටින අතර උක්ත පුපුරුවා ගැනීම සිදුකර තිබුණේද එම විශ්ව විද්‍යාලයේම සේවය කරමින් සිටි වෛද්‍යවරයෙක් විසිනි. ඔහු ආචාර්ය උමාර් මොහොමඩ් නොහොත් උමාර් උන්-නබි ලෙස හදුනා ගැනුණි.

    මෙම වෛද්‍යවරු ‘ජයිෂ් ඊ මොහම්මද්’ නම අන්තවාදී කල්ලියේ අලුතින් පිහිටුවන ලද ඉහළ උගත් වෘත්තිකයන්ගෙන් සමන්විත ත්‍රස්තවාදී මොඩියුලයේ කොටසක් බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක පළකර තිබේ.

    ආශිකා බ්‍රාහ්මණ