Tag: ඉන්දියාව

  • සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ

    සජිත්ගේ ඉන්දීය සංචාරය ගැන අපි කවුරුවත් දන්නේ නෑ. අපි දැක්කෙත් පත්තරෙන් – හර්ෂ

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන් හෝ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු දැන සිටියේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    එය ඉන්දීය රජයේ ආරාධනයක් අනුව සිදුවූ නිල සංචාරයක් යැයි තමන් දැනගත්තේ ද පුවත්පත්වලින් බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.

    එම සංචාරය සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් සම්බන්ධ කර නොගත්තේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමන්ට හැකියාවක් නොමැති බව පැවසූ ඒ මහතා කෙසේවෙතත් මෙය පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ අර්බුදයක් යැයි පැවසීමට නොහැකි බවත් ප්‍රකාශ කළේය.

    හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.

  • දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමකින් 8 දෙනෙකු මරුට !

    දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමකින් 8 දෙනෙකු මරුට !

    සටහන – රුවන් නෙළුගොල්ල

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඓතිහාසික රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) සවස පිපිරීමක් සිදුව තිබේ.

    රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 දොරටුව අසල මෙම පිපිරීම සිදුව ඇති අතර එයින් 8 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    මෝටර් රථයක් තුළ මෙම පිපිරීම සිදුව ඇති අතර ඒ ආසන්නයේ තිබූ තවත් වාහන කිහිපයක් ද ගිනිගෙන විනාශ වී ඇති බවත් සඳහන්.

    මෙම පිපිරීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර විමර්ශන සිදුකෙරේ.

  • විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

    විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

    සටහන – රුවන් නෙළුගොල්ල

    ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියව ඊයේ (04) හමුවී තිබේ.

    ඒ, නවදිල්ලි නුවර පිහිටි මුදල් අමාත්‍යාංශයේදී ය.

    එහිදී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ගැඹුරු කිරීම පිළිබඳව ඔවුන් සාකච්ඡා පවත්වා ඇත.

    ඉන්දියාව වැනි විශාල වෙළෙඳපොළකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වේගයෙන් වර්ධනය විය හැකි බව පැවසූ මුදල් අමාත්‍යවරිය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය වැඩි දියුණු කළ හැකි බව අවධාරණය කර ඇති බව විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද සමයේ ඉන්දියාව ලබාදුන් අමෙරිකානු ඩොලර් බිලියන 4ක සහයෝගයට මෙහිදී විපක්ෂ නායකවරයා සිය ස්තූතිය පළකර තිබේ.

    ඒකාබද්ධ ව්‍යාපාර සහ තාක්ෂණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා කාර්මික කලාපයක් නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර, නවීන වෙළෙඳ යථාර්ථයන්ට ගැලපෙන පරිදි ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරියගෙන් ඉල්ලා ඇති බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    මේ අතර ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර ඇත.

    ඒ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් පෙරේදා හමුවූ අවස්ථාවේදීය.

  • විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

    විපක්ෂ නායක සජිත් ඉන්දියාවේ නිල සංචාරයක

    සටහන – රුවන් නෙළුගොල්ල

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනෙන් පිටව ගොස් තිබේ.

    ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයක් අනුව ය.

    මෙම සංචාරය අතරතුරදී සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමටත් එරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමටත් නියමිත බව සඳහන්.

    මෙය විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිරත වන පළමු ඉන්දීය නිල සංචාරයයි.

  • වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

    වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමයි.

    කොළඹ LNW:වසර හැටක් පැරණි ඉන්දියාවේ සුප්‍රසිද්ධ පාර්සි සඟරාව වසා දමා තිබේ. ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි හි 1964 දී පාර්සි වෛද්‍යවරයෙකු වන පෙස්ටොන්ජි වෝඩන් විසින් මුම්බායි නගරයේ පාර්සි ප්‍රජාව පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම පාර්සියානා සඟරාව ආරම්භ කර ඇත. පසුව එය ලෝකය පුරා පැතිරී ජීවත් වන පාර්සි ප්‍රජාවගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය කවුළුව බවට පත් වී තිබුණි.

    වසර හැටක් පුරා පවත්වා ගෙන ගිය පාර්සියානා සඟරාව ග්‍රාහකයින් අඩුවීම, අරමුදල් නොමැතිකම සහ එය පවත්වාගෙන යාමට අනුප්‍රාප්තිකයෙකු නොමැති වීම හේතුවෙන්, එළඹෙන ඔක්තෝම්බර් මාසයේ දී වසා දමනු ඇතැයි වාර්තා වේ.

    මෙය ඉතාමත් ශෝකජනක ආරංචියක් බව එම සඟරාවේ පැරැණි ග්‍රාහකයෝ පවසති.

    “ඒක යුගයක අවසානය වගේ, ඔබ පාර්සියානා ගැන නොදැන සිටියා නම් හෝ ඒ ගැන කතා කළේ නැත්නම් ඔබ “සැබෑ පාර්සි” කෙනෙක් නොවන බව අපි විහිළුවට ලක් කළා.” යැයි 18 හැවිරිදි ශිෂ්‍ය සුෂාන්ත් සිං බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත.

    පාර්සි ජාතිකයන් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය සමයේ දී ශ්‍රී ලංකාවට ද පැමිණ ව්‍යාපාර ආරම්භ කර අද දක්වා ජීවත් වෙති. Billimoria,Choksy,Pestonjees,Captsin යන පවුල් ලංකාවේ ප්‍රමුඛ ප්‍රකට පාර්සි පවුල් ලෙස සැලකේ.

    උපුල් ජනක ජයසිංහ

  • ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

    ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එජාපයේ බලවත් විරෝධය ?

    ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පලකරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

    හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සකස් කරනු ලදුව මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබු දැන්වීම් අතිරේකයේ ඡායාරූප යෙදීම සහ ඒවා තෝරා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත.

    දැන්වීම් අතිරේකයට යොදාගත් සෑම පිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පළකිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බව ඉහත සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී ඇති බව සඳහන්.

    එසේම හිටපු ආසන්නතම විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පළනොකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇත.

    ඒ අනුව, ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහකොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පල කෙරුණු දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ බලවත් අප්‍රසාදය මේ වනවිටත් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත පල කර ඇතැයිද දැනගන්නට ලැබේ.

  • සංචාරක වීසා මත පැමිණ නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 21ක් අත්අඩංගුවට

    සංචාරක වීසා මත පැමිණ නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 21ක් අත්අඩංගුවට

    අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිතර වී සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු ඊයේ (18) පෙරවරුවේ කිරුලපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම පිරිස සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ වීසා ඉකුත් වූ පසුවත් නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරමේ නිරත වී සිට ඇති බව සඳහන්.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මේ බව අනාවරණය කරගෙන මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සියලුදෙනා අවුරුදු 22-36ත් අතර පසුවන්නන් බව වාර්තා විය.

    මෙම පිරිස වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ව කඩිනමින් ඉන්දියාවට පිටුවහල් කිරීමට කටයුතු කෙරෙනු ඇති බවත් සඳහන්.

  • ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයින් රැසක් ජනපති අනුර හමුවෙයි. බලශක්ති ඇතුළු මෙරට ක්ෂේත්‍ර රැසක ආයෝජනයට අවධානය

    ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයින් රැසක් ජනපති අනුර හමුවෙයි. බලශක්ති ඇතුළු මෙරට ක්ෂේත්‍ර රැසක ආයෝජනයට අවධානය

    සටහන – රුවන් නෙළුගොල්ල

    පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් මෙරටට පැමිණ සිටින ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීන් ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

    ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමුව තිබෙන බව එම ව්‍යවසායකයින් පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා ඇත.

    ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කර ඇත.

    රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

    විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වාදී ඇත.

    ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී පැවසූ ඉන්දීය ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද, ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • සින්දුර් මෙහෙයුම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකභාවය: දොරටු විවෘත කිරීම වෙනුවට අගුළුලා ගැනීම!

    සින්දුර් මෙහෙයුම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රිකභාවය: දොරටු විවෘත කිරීම වෙනුවට අගුළුලා ගැනීම!

    කොළඹ LNW:ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 26 ක් ඝාතනය වීම මුල්කරගනිමින් ඇරඹි ඉන්දු පාකිස්ථාන ගැටුම දින හතරක වැනි කාලයක් තුළ සමථයකට පත් විය. ඇමරිකාවේ ද මැදිහත්වීමකින් එම ගැටුම සමථයකට පත්වුවද පසුගිය (13) දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ජාතිය අමතා ඉන්දියානුවන්ගේ මයිල් කෙලින් වෙන ආකාරයටත් පාකිස්ථානයට තර්ජනාතමක්වත් පැවසුවේ ඕනෑම අවස්ථාවක ත්‍රස්තවාදයට එරෙහිව දැඩිව ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.

    පාකිස්ථානයේ හැකියාව නොසලකා හරිමින් කලාපයේ ලොකු අයියා ලෙස ඉන්දියාව කටයුතු කළේ කලාපයෙන් ඔබ්බට ගිය ජාත්‍යන්තරයටද ඉන්දියාව දෙස නැවත නැවත හැරී බැලීමට සිදුවන ආකාරයෙන්. කෙසේවෙතත් මේ මොහොත වන විට පාකිස්ථානය සතුවත් දියුණු යුද හැකියාව මෙන්ම න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ඇති හැකියාව මේ යුද්ධය විශාල විනාශයක් දක්වා වූ ගමන අඩපණ කර තිබේ. තවත් පැත්තකින් දින හතරක ගැටුම් කාලය තුළ පාකිස්ථාන ගුවන ප්‍රහාර හමුවේ ඉන්දීයාවේ ඇති අති නවීන ප්‍රහාරක යානා කිහියපකට සිදුවූ විනාශය මෙන්ම ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනෙක් පාකිස්ථාන ග්‍රහණයට නතු වීමත් නිසා ඉන්දියාවට අඩියක් පස්සට ගැනීමට අභ්‍යන්තර බලපෑමක් එල්ල වී තිබුණි.

    ඒ කෙසේවෙතත් සිය හමුදාවන් ඉහළට ඔසවා තබමින් අගමැති මෝදී ජාතිය අමතමින් කරන ලද කතාව ආඩම්බරකාර ඉන්දියානුවන්ගේ ආඩම්බරය තවදුරටත් නංවන්නක් ලෙස දක්නට ලැබුණි.

    “සෑම ඉන්දියානුවෙක්ම ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔබ ඉතිහාසය ලියා තිබෙනවා..මම ඔබේ ආශිර්වාදය ලබා ගැනීමට ආවා..ත්‍රස්තවාදීන් අපට අභියෝග කළා. නමුත් ඔබ ඔවුන්ට හිසට පහර දුන්නා. ඔබ ඔවුන්ගේ කඳවුරු විනාශ කර ත්‍රස්තවාදීන් 100ක් මරා දැමුවා. ඔවුන් අපට පහර දීමට උත්සාහ කළහොත් එහි ප්‍රතිඵලය ඔවුන්ගේ විනාශය බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් සමස්ත ඉන්දියානුවන් කුල්මත් කිරීමට අගමැති මෝදී සිය දේශපාලනික හැකියාව යහමින් යොදාගන්නා ලදී.

    ජලය සහ රුධිරය එකට ගලා යා නොහැකි බව කී අගමැති මෝදි පාකිස්ථානයට ඉන්දියාව සමඟ ඇති ජල ගැටලුව සාමකාමී සාකච්ඡා මගින් විසඳනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය. ඒ අනුව මෙවර පකිස්ථානයට ඉන්දියාව තදින් කෙනිත්තීමට හැකි වුවද අගමැති මෝදී එම වේදනාව අපහසුවෙන් සඟවා ගත් බව ඔහුගේ ජාතිය ඇමතීම තුළ පෙනෙන්ට විය. කෙසේවෙතත් අළුයට ගිනි මෙන් තිබෙන කලාපීය භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් මෙම ඉන්දු පාකිස්ථාන පටලැවිල්ල නිසි ලෙස ග්‍රහණය කර ගැනීම සහ එහි අපට ඇති අවධානම වටහා ගැනීම රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මෙන්ම අභ්‍යන්තරික කළමනාකරණ වෙනුවෙන්ද වැදගත්ය. ඒ අනුව මෙම කාරණයේදී ශ්‍රී ලංකාවේ මැදිහත්වීම සහ මැදිහත්විය යුතුව තිබුණු හොඳ ආකාරය ගැන ජාත්‍යන්තර පර්යේෂයෙක් මෙන්ම ජාත්‍යන්තර ආර්ථික,දේශපාලන විශ්ලේෂකයෙක් වන හිටපු වන්නි ආඥාපති මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා කරුණු පැහැදිලි කිරීමක් කරයි.

    ඉන්දු පාකිස්ථාන ගැටුම් හරහා ශ්‍රී ලංකාවට පැහැදිලි ලෙසම ආර්ථික මෙන්ම දේශපාලන බලපෑම් එල්ල නොවේ යන පූර්ව නිගමනය කිසිලෙසකින්වත් පැමිණිය නොහැකි කාරණයකි. ඒ අනුව කලාපීය සහයෝගිතාවේ ප්‍රතිඵලයක් ලෙස හෝ එවැනි අවදානම් සහගත තත්ත්වයන් කළමනාකරණය කරගැනීමට නොබැඳි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මැදිහත්වීමේ අවකාශය නැතුවා නොවේ.

    දැනට ක්‍රියාත්මක රුසියා – යුක්‍රේන යුද්ධය මෙන්ම ඊශ්‍රායල් – හමාස් යුද්ධය තුළ එම ජාතීන් මෙන්ම ගෝලීය ප්‍රජාවන් පත්ව තිබෙන අසීරු තත්ත්වයන් නිසි ලෙස අධ්‍යයනය කිරීම තුළ හැකි තරම් යුද්ධ වළක්වා ගැනීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික භාවයන් යොදාගත හැකිය. ලෝකෙට ලොක්කන්ගේ කෙළි වලට ඇඟිලි ගැසීමට දේශපාලන ආර්ථික බලවත් භාවයක් නොමැති වුවද ඒවා සම්බන්ධයෙන් දරන ස්ථාවරයන් මොනවාද යන තුළ අප වැනි කුඩා රාජ්‍යයන්හි අනාගතය සුරක්ෂිත බව රැඳී තිබේ.

    ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානයේ ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය කෙබඳු විය යුතුද යන්න පිළිබඳ මේජර් ජනරාල් ආචර්ය බොනිෆස් පෙරේරා මහතාගේ විශේෂණය පහත ලිපියට ප්‍රවේශ වීමෙන් අදහසක් ලබා ගත හැකිය.

    https://www.dailymirror.lk/print/opinion/STRATEGIC-IMPLICATIONS-OF-A-POSSIBLE-INDO-PAKISTAN-WAR-AND-SRI-LANKAS-STAND/172-307619

    මේ වන විට ගැටුම් සමථයකට පත්ව තිබුණද ඉන්දියාවේ ස්ථාවරය අනුව නැවත පහල්ගම් වැනි ප්‍රහාරයක් සිදුවුවහොත් ඔවුන් යළි ක්‍රියාත්මක වන බව සහතික කොට තිබේ. එක අතකින් ඉන්දියාව තුළ ඔවුන්ගේ ජාතිකත්වය සම්බන්ධයෙන් මානයක් පැවතුණද මහජන බලපෑමද දැඩි වන මොහොතක ඔවුන් දේශපාලනික වශයෙන් ගනු ලබන තීන්දු තීරණ අසල්වැසි දුපත් රාජ්‍ය ලෙස අපට කරන බලපෑම ශුන්‍ය යැයි ගත නොහැකිය. එය සරළව වටහා ගැනීමට තිබුණ හොඳම කාරණය වූයේ ඉන්දියාව හා පකිස්ථානය අතර තුන්වන දිනයට ප්‍රහාර ක්‍රියාත්මක වන විට මෙරට ලූණු වෙළෙඳුන්ගේ අනතුරු ඇඟවීමය. ඉන්දියාව කෙතරම් දුරට අපට බලපෑම් සහගතද යන්න සිතන්නේ නම් ආහාර සැපයුමේ සිට ඖෂධ සැපයුම දක්වා ශ්‍රී ලංකාවට වැඩි ගණුදෙනු පවතින්නේ ඉන්දියාව සමඟින්ය. සංචාරක කර්මාන්තය ගත්තද මෙරටට පැමිණෙන බහුතරයක් සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාවෙන්ය. එවන් පසුබිමක් තුළ ඉන්දු – පාකිස්ථාන හැසිරීම් තුළ අපට නිදැල්ලේ හැසිරීමට හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය මතුවෙයි.

    ඒ අනුව ඉන්දියාවේ පාලනය යටතේ පවතින පහල්ගම්හි සිදුවූ ත්‍රස්ත ක්‍රියාව ඉන්දියාවද ප්‍රතිප්‍රහාර එල්ල කළේ එම ප්‍රහාරයට පාකිස්ථාන රජයේ කිසිදු සහයක් නොමැති බවට පාකිස්ථාන රජය අවධාරණය කොට පැවසූ පසුබිමකය. මෙහිදී පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට ඉන්දිය රජය ගත් තීරණය හා සමතයකයට පත්වීමට දැක්වූ කැමැත්ත තුළ එහි යටිපෙළ මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා දක්වන්නේ මෙපරිද්දෙනි.

    ”පාකිස්ථානය පැහැදිලිව කියල තිබුණා ඒ ත්‍රස්ත ක්‍රියාවට උදව් කළේ නැහැ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ කියල. නමුත් මේකට ඉන්දියාවේ මහජන බලපෑම වැඩි වීමත් වීමත් එක්ක දේශපාලකයන්ට තවදුරටත් භූමියේ රැඳී ඉන්න නම් මොනව් හරි කරන්න ඕනේ. ඒකත් බලපෑවා ඉතාම කෙටිකාලීන ඉන්දු පාකිස්ථාන ගැටුමට. දැන් බැලුවොත් ඊශ්‍රායල් – ගාසා යුද්ධය ගත්තත් දැන් ඒක යන්නේ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට බලයේ රැඳී සිටීම වෙනුවෙන්. ලෝකේ හැමතැනම සිද්ධ වෙන්නේ ඒකයි. පොලිටිකල් ඉන්ටර්රෙස්ට් එක කියන්නේ පුද්ගලික ඉන්ටර්රෙස්ට් එක. කොහොමහරි ත්‍රස්තවාදීන් මර්දනය කෙසේ වෙතත් ඉන්දියාව පැත්තෙන් පකිස්ථානයේ ත්‍රස්තවාදී කඳවුරු සහ පුහුණු මධ්‍යස්ථාන කියල හදුනා ගත්ත කියන ස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර වගේම ගුවන් ප්‍රහාර එල්ල කළා. නමුත් පකිස්ථානය දිගටම කිව්වා ඒ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ නැහැ,ඒ ගැන ජාත්‍යන්තර සහයත් අරගෙන ඒකාබද්ධ විමර්ශනයක් කරන්න කියන යෝජනාව කළා. නමුත් ඉන්දියාව ඒක පැත්තකට දාලා ප්‍රහාර එල්ල කළා. කොහොමත් ඉන්දියාවේ මහන්තත්තකම තියෙන රටක් කියන එක කවුරුත් දන්නා දෙයක්. මීට පෙරත් ඉන්දු පාකිස්ථාන යුද්ධ තුනක් ඇති වුණා. ජයග්‍රහණ ලැබුණේ ඉන්දියාවට. ඉන්දියාව කියන්නේ ලොකු රටක්. ඉන්දීය හමුදාව ගත්තත් පාකිස්තානයේ වගේ තුන්ගුණයක බලයක් ඉන්දියාවට තියෙනවා. යුදමය ගැටුමකින් පාකිස්ථානයට ඉන්දියාව පරද්දන බැහැ. නමුත් මේ වෙද්දි යම් වෙනසක් වෙලා තියෙනවා.මොකද පාකිස්ථානයට න්‍යෂ්ටික බලයත් තියෙනවා. ඉන්දියාවටත් තියෙනවා. දිගටම යුද්ධයක් ගියා නම් මෙතැනදී පාකිස්ථානය පැත්තෙනුත් න්‍යෂ්ටික අවි භාවිතා කරනවා. එහෙම වුණා නම් ලංකාව නැත්තටම නැති වෙන්න ඉඩ තිබුණා. නමුත් මේ යුද්ධය එතරම දුරකට යන්නේ නැහැ. මොකද ඉන්දියාවට වුණත් මහන්තත්තකම පෙන්නුවට දිගටම ගැටුම් පවත්වාගෙන යන්න වුවමනාවක් නැහැ. මේ අවස්ථාවේ පාකිස්තානයේ ගුවන් හමුදාව ඉතා දක්ෂ අයුරින් කටයුතු කරලා වාර්තා වෙන අන්දමට පාකිස්ථාන ප්‍රහාර හමුවේ ඉන්දියාවේ ප්‍රහාරක යානා 6ක් බිමදාලා තියෙනවා. ඒකෙන් තුනක් ප්‍රංශයේ නිෂ්පාදිත රෆායල් කියන අති නවීන ප්‍රහාරක ගුවන් යානා කියල තමයි වාර්තා වෙන්නේ. ඉන්දියාව එය ප්‍රතික්ෂේප කළත් යම් ප්‍රමාණයක හානියක් වෙලා තියෙනවා ඉන්දියාවට. ප්‍රහාරක ගුවන් යානා තුනක් හරි බිම දාලා තියෙනවා. මේ දවස් හතරක ගැටුම නිශ ඉන්දියාවට ඩොලර් බිලියනක හමුදාමය පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියල තමයි ගණන් බලලා තියෙන්නේ. පාකිස්ථානය විසින් ඉන්දීය ප්‍රහාරක යානා බිම දැමීම සහ ගුවන් නියමුවන් දෙදෙනෙක් අල්ලා ගැනීම නිසා ඉන්දියාවේ කිර්තිනාමය, මහන්තත්තකම නැතුව ගියා. මෙතනදී ඉන්දියාව පෙළඹුණා යුද්ධය අත්හැරලා දාන්න. දිගටම යුද්ධයක් කරගෙන යන්න ආර්ථික හැකියාව තියෙන්න ඕනේ. ඉන්දියාවට ආර්ථික හැකියාවක් තිබුණත් යුද්ධයක් පවත්වාගෙන යන්න යන්න තරම් ආර්ථික හැකියාවක් නැහැ.ඒක මහ අනුවණ ක්‍රියාවක්.මොකද සරළව කිව්වොත් ඉන්දියාවේත් නිවාස නැති වැසිකිලි පහසුකම් නැති කෝටි ගණනක් ජනතාවක් ඉන්නවා. සංවර්ධන ඉලක්ක ජයගනිමින් ගියත් ඔවුන් රටක් විදිහට තාමත් සම්පූර්ණ දියුණුවක් ලබලා නැහැ. ඒ නිසා යුද හැකියාවක් තිබුණත් රටක් විදිහට ඔවුන්ට ඉලක්කයක් තිබෙනවා. මොකක්ද ඉලක්කය, 2050 වෙනවිට ආර්ථික අතින් ලෝකයේ පළමු තැනට ලඟා වීම. එහෙම ඉලක්කයක් තිබියදීත් මෙතරම් දුරට හෝ ප්‍රහාරයකට යොමුවීම නුවණට හුරු දෙයක් නෙවෙයි. මොකද මේ හා සමානව චීනය 1979දී ඩෙන් ෂිආඕ ෆෙන්ග් (Deng Shiao Feng) ජනධිපතිවරයාගේ ඉලක්කයක් තිබුණා චීනය දියුණු කිරීම සම්බන්ධයෙන් 2020දී. චීනයේ ඒ ඉලක්කය, 2020 දී ආර්ථික බලවතා වෙන්න. චීනය ස්ථිර වශයෙන්ම ඒ ගමන ගියා. මේ ගමන තුළ නොයෙක අවස්ථාවලදී චීනය යුද්ධයකට පොළඹවා ගන්න ඇමරිකාව උත්සහ කළත් චීනය ඉතාම බුද්ධිමත්ව ඒ යුද්ධයට පැටලෙන්නේ නැතුව 2020 වෙනකම් අවා. තවදුරටත්යමින් ඉන්නවා. මේ වෙද්දී ඔවුන් ඇමරිකාවේ කිටුවටම ඇවිත් ඉන්නේ. මේ වෙලාවේ ට්‍රම්ප් ගෙනාපු බදු යුද්දෙදි වුනත් චීනය පැහැදිලිව කිව්වා අපි බදු යුද්දෙටත් ඔව්ට්ටුයි ඕනෑම යුද්ධයකට ඔට්ටුයි ඇමරිකාවට අපිට සද්දේ දාන්න බැහැ කියන පණිවිඩය ඔවුන් දුන්නා. එහෙම තැනකට ආවේ ඔවුන්ගේ වසර 41ක ඉවසීම නිසා. චීනයේ ඒ පාඩම ඉන්දියාව අනුගමනය කරන්න තිබුණා. මෙතැනදී අපි දකිනවා ඉන්දියාව තමන් ගැන තිබෙන අධිතක්සේරුව. පාකිස්ථානයට තමන්ට වඩා ධාරිතාවක් නැහැ කියන අධිතක්සේරුව වුණත් මෙතනදී බිඳුනා කිව්වොත් නිවැරදි. අවතක්සේරුවට වඩා අධිතක්සේරුව ගෙනත් දෙන්නේ භයානක ප්‍රතිඵල. මම හිතන්නේ ඉන්දියාව පාකිස්ථාන ගුවන් ප්‍රහාර හමුවේ එය අත්දැකීමෙන් වින්දා. කෙසේ නමුත් ඉන්දියාවේ මහජන විරෝධය නිසා පොඩි ප්‍රහාරයක් දියත් කළා. නමුත් මේ වෙද්දී ඇමරිකාවත් යම් මැදිහත්වීමක් කරලා තියෙනවා.”

    මෙම කාරණයේදී කෙටි කාලීන හෝ ගැටුමකට යා නොදී තත්ත්වය ආරම්භයේදීම සමථයකට පත්කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා රජයට තිබුණේද යන කාරණයේදී මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතාගේ විග්‍රහය වන්නේ නොබැඳි රාජ්‍යයක් ලෙස ඊට මැදිහත්වීමේ අවකාශය තිබුණු බවයි. එහෙත් ඒ මොහොතේ එවැනි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ශ්‍රී ලංකාව වෙතින් සිදු නොවුණු අතර එය රටක් ලෙස අපගේ රාජ්‍යතාන්ත්‍රිකභාවයේ දුර්වලකමක් ද? නැතහොත් උපායමාර්ගික නිහඬ වීමක්ද? මේජර් ජනරාල් ආචාර්ය බොනිෆස් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් අදහසකි.

    ”ඇත්තටම අපේ රට ගත්තොත් අපට මේකට හොඳ මැදිහත්වීමක් කරන්න බැරි වුණා. නමුත් හොඳ මැදිහත්වීමක් කරන්න තිබුණ රටක්. මොකද අපි සාර්ක් සංවිධානයේ රටක්. ඒ වගේම නොබැඳි ජාතීන්ගේ රටක්. ඉන්දියාව සහ පාකිස්ථානයත් මේ දෙකටම අයිතියි. නමුත් රටේ නායකත්වයට හෝ විදේශ කටයුතු අමාත්‍යංශයට හෝ මේකට සාධනීය විදහට මැදිහත්වෙන්න කිසිම දැනුවත්කමක් තිබුණේ නැති බව තමයි පෙනෙන්න තිබුණේ. ඉන්දු – පාකිස්ථාන ප්‍රශ්නය අපිට වැඩක් නෑනේ කියන තැන තමයි ශ්‍රී ලංකා රජය හිටියේ. ඒ අනුව මේ විෂය ගැන ඔවුන්ට තියෙන දැනුම ගැන මම පුදුමයට පත්වුණා. මොකද මීට පෙර දෙවන ලෝක යුද්ධය ඉවර වුණාට පස්සේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා කිව්වේ ”නහි වේරේන වේරානි” කියල. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ,ජපානයට කරදර කරන්න එපා ඔවුන්ට සමාව දෙමු කියල තමයි ඔහු ඇමරිකාවට කිව්වේ. ඒක හරි බලවත්. ඒකෙන් ඇමරිකාව ජපානයට දාපු දණ්ඩන ප්‍රමාණය අඩු වුණා. අද ජපානය ලෝකේ තුන්වෙනි බලවතා විදිහට ඉන්නවා. නොබෙදී රටක් ලෙස කටයුතු කරන්න සිරිමාවෝ අගමැතිනිය පවා කටයුතු කළා. ඉතිහාසයේ ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික බව ඇතුළේ තිබුණේ එහෙම නොබෙදී පිළිගැනීමක්. නමුත් අවාසනාවට අද එම තත්ත්වය වෙනස් වෙලා. මේ ගැන කිසිම දැනුමක් නොමැති බවක් තමයි පේන්න තියෙන්නේ. ඉන්දු පාකිස්ථාන යුද්ධය ඇදුනා නම් බලන්න තිබුණා මොකද අපිට වෙන්නේ කියල. කෑම නැතිවෙන්න තිබුණා. පෝලිම්වලට තමයි ජනතාවට යන්න වෙන්නේ. සංචාරකයෝ නැති වෙන තිබුණා. ආනයන අපනයන ඇනහිටින්න තිබුණා. බෙහෙත් නැතුව යන්න තිබුණා. ඒ වගේ ප්‍රශ්න රාශියකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ යුද්ධය දිගට ඇදුනා නම්. මේ කාරණය තේරුම් ගෙන මුල් අවස්ථාවේදීම අපි රාජ්‍යයක් ලෙස මේකට මැදිහත් වුණා නම් ජාත්‍යන්තර වශයෙන් අපට කීර්තියක් ගන්න තිබුණා. අනිත් එක නොබැඳි රටක් ලෙස මේ රටවල් දෙකේම හොඳ හිත තියාගෙන නොබැඳි ජාතියක් වශයෙන් ශක්තියක් ගොඩනගාගන්න තිබුණා. නමුත් ඉතහාසය තුළ අපි ගොඩනගාගෙන තිබුණු නොබැඳි බව නැති කරගත්තේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැන කිසිදු දැනුමක් නොමැති බව පෙන්වමින්. ඒගොල්ලෝ ගහගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ කිව්ව තැනින්ම මේගොල්ලන්ගේ ගැඹුර පිළිඹිඹු වෙනවා.”

    දේශසීමා මායිම් ඇදගෙන සිටියද පශ්චාත් නූතන සමාජය තුළ අප සිටින්නේ ගෝලීය වශයෙන් එකම හුයකය. එවන් පසුබිමක ගෝලීය වශයෙන් සිදු වන යුද ගැටුම් වැනි මානව පැවැත්මට ඉතාම අහිතකර තත්ත්වයන් එම භූමි භාගයන්ගෙන් වියුක්තව සිටියද ඒවායේ සෘජු මෙන්ම වක්‍ර බලපෑම්වලට මුහුණ දීමට සිදුවෙයි. එතරම් ආරථික හැකියාවක් නැති අප වැනි කුඩා රාජ්‍යයන් එවැනි තත්ත්වයන්හිදී එල්ලවන පීඩාවන් ගේ ප්‍රමාණය වැඩිය. එහෙයින් ප්‍රවේශම් විය යුතුව මෙන්ම උපක්‍රමික වශයෙන් ගොඩ මඩ දෙකම බේරාගත යුතුවන නිසා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම අතිශය වැදගත් බව අවධාරණය කළ හැකිය.

    ආශිකා බ්‍රාහ්මණ

  • ඉන්දියාව සහ ලංකාව යා කරන පාලමටත් මන්නාරම – ත්‍රිමලේ අධිවේගයටත් අපි විරුද්ධයි. එයින් රට බෙදෙනවා – ඇමති විජිත

    ඉන්දියාව සහ ලංකාව යා කරන පාලමටත් මන්නාරම – ත්‍රිමලේ අධිවේගයටත් අපි විරුද්ධයි. එයින් රට බෙදෙනවා – ඇමති විජිත

    රාමේශ්වරම් සහ මන්නාරම යා කරමින් පාලමක් ඉදිකිරීමටත් මන්නාරමේ සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීමටත් පසුගිය රජයන් ඉන්දියාව සමග එකඟ වී තිබුණු නමුත් ජාතික ජන බලවේගයේ රජය ඊට විරුද්ධ වී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වූ බව විදේශ කටයුතු, සංචාරක හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් පවසයි.

    ප්‍රශ්නය – මෝදි අගමැතිතුමාගේ ව්‍යාපෘතියක් තිබ්බා ලංකාව සහ ඉන්දියාව යා කරන පාලමක් සම්බන්ධව. දැන් යෝජනාව ඉදිරිපත් වුණොත් රජයේ ස්ථාවරය කුමක්ද ?

    “ඔබ හොඳම ප්‍රශ්නයක් මතු කළා. ඔය ගොඩක් අය කියනවානෙ අපි ඉන්දියාවට යටවුණා, පාවාදුන්නා කියලා. ඔන්න අපි එහෙම නොකරපු තැන. කලින් ආණ්ඩු, රනිල් වික්‍රමසිංහලාගෙ ආණ්ඩු එහෙම එකඟවෙලා හිටියෙ ඉන්දියාව සහ ලංකාව පාලමකින් යා කරන්න, ඔය රාමේශ්වරන් සහ අපේ මන්නාරම යා කරන්න. නමුත් අපි ඒකට එකඟවුණේ නෑ. අපි කිව්වා ඒක බෑ කියලා. ඒ නිසා රජයක් විදියට එකඟ වෙච්ච ඒවා විතරයි අපි ඉස්සරහට ගෙනිච්චේ. ඔය කලින් තිබුණු යෝජනාව, ඒ පාලම විතරක් නෙවෙයි පාලමේ ඉඳලා ත්‍රිකුණාමලයට යනකල් අධිවේගී පාරකුත් හදලා – ඇත්තටම ගත්තොත් එතනින් අර උතුර වෙන්වෙනවා මේක දාපු ගමන් මේ ලයින් එක දිගටම යන්න – ඉතින් අපි කිව්වා ඒකට අපි එකඟ නෑ. අපි ඒක කළේ නෑ”

    ප්‍රශ්නය – ත්‍රිකුණාමලයේ ඉඳන් මන්නාරමට අධිවේගී මාර්ගයක්. ඉතින් රට වෙන් වෙන්නෙ කොහොමද ?

    “රට වෙන් වෙන්නෙ නැහැ. වෙන් වෙන්න අවශ්‍ය කරන පාරක් හැදෙනවා. එක පළාතක් භෞතිකව එතෙන්ට පාරක් හැදෙනවා. ඒකට අපි එකඟ නෑ. ඒකයි අපි විරුද්ධ වුණේ. ත්‍රිකුණාමලයේ හබ් එකට අපි එකඟයි. බලශක්ති හබ් එකකට. නමුත් මේක පාලමත් එක්ක නෙ එන්නෙ”

    ප්‍රශ්නය – ඉතින් හබ් එකට තියෙන්න එපැයි භෞතිකව පාරක් ?

    “පුළුවන්. නැව් තියෙනවා … වෙන ක්‍රම තියෙනවා”

    ප්‍රශ්නය – නැවක් එද්දී ඇමතිතුමා ඒකෙ තියෙන පිරිවැය ?

    “ඒක අපි නෙවෙයිනෙ … එයිට වඩා අපේ භෞමික අඛණ්ඩතාවය බලන්න එපැයි. අපි ඒකයි, ආර්ථිකය කියන වාසියටම විතරක් සියල්ල ලඝු වෙන්නෙ නෑ. දැන් මේක විතරක් අපි සලකන්නෙ නෑ. මොකද මේකත් එක්ක අර පාලමත් එනවානෙ. එතකොට ඉන්දියාවයි ලංකාවයි යා කරන පාලමක් එක්කනෙ මේක එන්නෙ ? එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ පාලම සහ අධිවේගී මාර්ගය එක ව්‍යාපෘතියක්. ඒකට අපි එකඟ වුණේ නෑ”

    ප්‍රශ්නය – අපි රටක් එක්ක තව පාලම් දාන්න අවශ්‍ය වෙලා තියෙද්දී පාලම් කඩන එකද අපි කරන්න ඕනෙ ?

    “පාලම් නෑනෙ … හදලා නෑනෙ. අපි හදන්නෙ නෑ. මම එකක් පැහැදිලි කරන්නම්. ඉන්දියාව සහ ලංකාව ආර්ථික වශයෙන් එක මට්ටමක ඉන්නවා නම් එවැනි පාලමක් ප්‍රශ්නයක් නෑ. සිංගප්පූරුව සහ මැලේසියාව ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සම මට්ටමක ඉන්න රටවල්. ඒ රටවල් දෙක යා කරන පාලම් හැදුණාට ඒකෙන් ස්වෛරීත්වයට භෞමික අඛණ්ඩතාවයට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි එහෙම නැහැ. අපි පුංචි රටක්. අපේ ආර්ථික දේශපාලන තත්වය වෙනස්. එවැනි පසුබිමක ඒවා හැදෙන එක ගැටලුකාරීයි”

    විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ “රතු ඉර” දේශපාලන සංවාදයට එක්වෙමිනි.