Tag: විදෙස්

  • සිරබත් කන මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක්ගේ බිරිඳත් සිරගෙට!

    සිරබත් කන මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක්ගේ බිරිඳත් සිරගෙට!

    සැමියා සිරගත කර සතියකට පසු බිරිඳත් සිරගෙට…

    දොළොස් වසරක සිර දඬුවමකට යටත්වී සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක්ගේ බිරිඳ වන රොස්මාහ් මැන්සෝර් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකාරිය වී තිබේ.

    මේ මත ඈට වසර දහයක සිර දඬුවමක් නියම වී තිබේ.

    70 හැවිරිදි රොස්මාහ් රජයේ කොන්ත්‍රාත්තු සඳහා අල්ලස් ලබා ගැනීමට අදාළව වරදකාරිය වී ඇති අතර, එමඟින් ඈට වසර 10 ක සිර දඬුවමක් නියම වී ඇත. පාසල්වලට සූර්ය බලශක්තිය ලබා දීමේ කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට සමාගමකට උදව් කිරීම සඳහා අල්ලස් ඉල්ලීම, සහ එමඟින් රිංගිට් මිලියන 6.5 (ඇමරිකානු ඩොලර් මිලියන 1.4) ලබා ගැනීමේ චෝදනාවට ඈ වරදකාරිය වී ඇත.

    එමෙන්ම එකී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව මැලේසියානු මහාධිකරණය විසින් අද (01) දින විනිශ්චය කර ඇත.

    මීට අමතරව, හිටපු මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ රිංගිට් මිලියන 970 ක දඩයකට ද යටත් වේ.

    ආන්දෝලනාත්මක 1MDB වංචාවට හිටපු මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් වරදකරු වූයේ ඉකුත් අගෝස්තු 23 වන දින ය. රාජ්‍ය ආයෝජන ඒජන්සියක් වන 1Malaysia Development Berhad (1MDB) සමාගමට සම්බන්ධ SRC ඉන්ටර්නැෂනල් නම් සමාගමෙන් RM42 මිලියන (ඇමරිකානු ඩොලර් බිලියන 10.6) ක මුදලක් නජීබ්ගේ බැංකු ගිණුමට බැර වූ ආකාරය මත, 2018 වසරේ මැලේසියානු දූෂණ විරෝධී කොමිසම (MACC) විසින් ඔහු අත්අඩංගුවට ගත් අතර, එහි දී ඔහුගේ දේපළ සෝදිසි කිරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 273ක් වටිනා විලාසිතා උපාංග රැසක් පොලිස් භාරයට ගෙන ඇත. බලය අයුතු ලෙස පරිහරණය කිරීම, මුදල් විශුද්ධිකරණය සහ සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් මහාධිකරණය විසින් චෝදනා කර වරදකරු කරනු ලැබූ අතර, එමඟින් වසර 12 ක සිර දඬුවමක් ඔහුට හිමිවිය.

    දූෂණයට වරදකරු වූ පළමු මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා නජිබ් ය. ඔහුට නියම වූ දඩය රිංගිට් මිලියන 210 කි. නජිබ් දැනට මැලේසියාවේ කජාන්ග් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින අතර, ඔහුට රාජකීය සමාවක් හිමි නොවුනහොත්, 2022 සැප්තැම්බර් වන විට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ද අහෝසි වනු ඇත.

    ඡායාරූප: ද ගාඩියන්

    Outbound Today

  • ට්‍රම්ප් ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මඟට..

    ට්‍රම්ප් ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මඟට..

    ට්‍රම්ප්ගේ චෝදනාවලට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර..

    එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මාර්-අ-ලාගෝ හි පිහිටි නිවස සෝදිසි කිරීමට එරට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (Federal Bureau of Investigation: FBI) කටයුතු කිරීමට අදාළව ඒ මහතා අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු මඟට යොමුව තිබේ.

    මෙසේ FBI ආයතනය විසින් ට්‍රම්ප්ගේ නිවස සෝදිසි කර තිබුණේ එරට ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන තොරතුරු ඇතුළු රජයේ සංවේදී තොරතුරු ඇතුළත් ලේඛන තොගයක් ඔහු ධුරයෙන් ඉවත්ව යෑමේදී නැවත රජයට භාරදෙනු වෙනුවට තමා සන්තකයේ තබා ගනිමින් අපරාධ වරදක් සිදුකර ඇති බවට මතුව ඇති සාධාරණ සැකය මත ය. මෙම සිදුවීම ඇමරිකානු දේශපාලන පිටිය උණුසුම් කිරීමට තුඩුදුන් බව සඳහන්.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ තමා සියලු ලේඛන ආපසු භාර දුන් බවත්, FBI ආයතනය විසින් හඳුනා ගත්තේ යැයි පැවසෙන ලේඛන සියල්ල රහස්‍ය නොවන ලේඛන බවත් ය. එමෙන්ම, එකී ලේඛන නැවත භාර දිය යුතු බවට තමාට දැනුම් දී තිබුණේ නම් තමා එය කල් තියාම සිදුකරන බව ද ඔහු සඳහන් කර තිබිණි.

    මීට අදාළව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නඩු මඟට යොමුව ඇති අතර, මීට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    ඒ අනුව ට්‍රම්ප් ගේ අධිකරණ ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ අදාළ ලේඛන ඉදිරිපත් කිරීමේදී හිටපු ජනපති ට්‍රම්ප් එකී ලේඛන රහස්‍ය නොවන (declassified) ලේඛන ලෙස වර්ගීකරණය කළ බවට ඔහුගේ නීතීඥවරයා හෝ භාරකරු තහවුරු කර නොමැති බවත්, එම මොහොතේදී ඔහුට විධායක වරප්‍රසාද ඇති බවට තහවුරු කර නොමැති බවත් ය.

    එමෙන්ම, රජයේ වාර්තා සඟවා තබා අදාළ ගබඩා කාමරයෙන් ඉවත්කර ඇති බවටත්, ඒ ඔස්සේ රජයේ විමර්ශන වලට බාධා පැමිණවීමට උත්සාහ දරා ඇති බවටත් සාක්ෂි හමුව ඇති බවට අධිකරණ දෙපාර්තමේන්තුව පවසා සිටියේය.

    අධිකරණ දෙපාර්තමේන්තුව මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ, අදාළ සෝදිසි මෙහෙයුමට අදාළව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දිස්ත්‍රික් උසාවියක පැවති නඩු වාරයකදී ය.

    මෙම ලේඛන වල අඩංගු තොරතුරු මොනවාද යන්න මෙතෙක් මාධ්‍යයට අනාවරණය කර නැත.

    සබැඳි පුවත්:

    අවුට්බවුන්ඩ් ටුඩේ

  • සෝවියට් රුසියාවේ අවසන් පුරුක ගොර්බොචොෆ් සමුගනී !

    සෝවියට් රුසියාවේ අවසන් පුරුක ගොර්බොචොෆ් සමුගනී !

    සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බොචොෆ් ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 91 වැනි වියේ පසු වූ හිටපු සෝවියට් නායකයා දිගු කලක් වකුගඩු රෝගයෙන් පෙළුණු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඔහුගේ මරණය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ‘සීතල යුද්ධය ලේ වැගිරීමකින් තොරව අවසන් කළ, සෝවියට් සංගමයේ බිඳවැටීම වළක්වා ගැනීමට අසමත් වූ නායකයා මිය ගියා’ යනුවෙනි.

    සෝවියට් සංගමයට ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දුන් ගොර්බොචොෆ් ජනාධිපති ධුරයක් ස්ථාපිත කළ අතර ඒ අනුව ඔහු සෝවියට් සමූහාණ්ඩුවේ පළමු හා එකම ජනාධිපතිවරයාද විය.

    සීතල යුද්ධය ලේ වැකි යුද්ධයක් බවට පත්වීම වළක්වා ගැනීම හේතුවෙන් ඔහු 1990 වසරේ නොබෙල් සාම ත්‍යාගටද පාත්‍ර විය.

    UN

  • ඇමරිකාවේ දේශපාලන පිටිය ගිනිබත් කළ ට්‍රම්ප් ගේ ෆ්ලොරිඩා නිවසේ සෝදිසි මෙහෙයුම!

    ඇමරිකාවේ දේශපාලන පිටිය ගිනිබත් කළ ට්‍රම්ප් ගේ ෆ්ලොරිඩා නිවසේ සෝදිසි මෙහෙයුම!

    රජයේ රහසිගත ලියවිලි ට්‍රම්ප් පෞද්ගලික සන්තකයේ තබා ගත්තාද?

    මේ දිනවල එක්සත් ජනපදයේ දේශපාලන පිටිය උණුසුම් කරන පුවතක් ලොව පුරා සැරිසරමින් පවතී. එනම් එරට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මාර්-අ-ලාගෝ හි පිහිටි නිවස සෝදිසි කිරීමට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI ආයතනය කටයුතු කර තිබීමයි.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මාර්-අ-ලාගෝ හි පිහිටි නිවස සෝදිසි කිරීමට FBI ආයතනය කටයුතු කර තිබෙන්නේ, ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත්වූ පසු නැවත රජයට ලබා දිය යුතු එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට සෘජුවම බලපෑම් ඇතිකරන අතිශය රහසිගත ලියකියවිලි ඇතුළත් ලිපි ගොනු තොගයක් භාරදෙනු වෙනුවට තම පෞද්ගලික නිවසේ තබා ගැනීම හරහා අපරාධ වරදක් සිදුකර ඇති බවට මතුව ඇති සාධාරණ සැකය මතයි.

    මේ සඳහා අධිකරණ සෝදිසි වරෙන්තුවක් ලබා ගැනීමට ද FBI ආයතනය කටයුතු කර ඇති අතර, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සැක පළකරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ වරදක් සිදුකර ඇති බවට සාධාරණ සැකයක් මතුව ඇති බවයි.

    මීට අදාළ සෝදිසි වරෙන්තුව ඉල්ලා සිටීම සාධාරණීකරණය කරන දිව්රුම් ප්‍රකාශයේ දක්වා ඇත්තේ රහසිගත තොරතුරු අනිසි ලෙස ධවල මන්දිරයෙන් ඉවත්කොට තම පෞද්ගලික අවකාශය තුළ ගබඩා කිරීම සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවයි.

    මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ වාර්තා ධවල මන්දිරයේ සිට මාර්-අ-ලාගෝ හි පිහිටි සිය පෞද්ගලික නිවස වෙත රැගෙන යාම හරහා රජයේ වාර්තා අනිසි ලෙස හසුරුවා තිබේ ද යන්න පිළිබඳව FBI ආයතනය විසින් සිය විමර්ශනය දියත් කර ඇති අතර, ඉකුත් අගෝස්තු 08 වන දින ඊට අදාළ සාක්ෂි රැසක් සොයාගැනීමට එම ආයතනය සමත්ව තිබේ.

    ඡායාරූපය: රොයිටර්

    එක්සත් ජනපදයේ හිටපු ජනපතිවරුන් තම ධුරකාලය අවසාන වන විට හෝ ධුරයෙන් ඉවත්වන විට ඔවුන්ගේ සියලුම ලිපි ලේඛන සහ විද්‍යුත් තැපෑල පණිවිඩ ජාතික ලේඛනාගාරය (National Archives) නම් ඒජන්සිය වෙත භාරදිය යුතු අතර, එම ඒජන්සිය විසින් අනාවරණය කර තිබෙන්නේ හිටපු ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව යන විට භාර දිය යුතු ලේඛන රැගත් පෙට්ටි 15 ක් මාර්-අ-ලාගෝ හි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසෙන් ලබා ගත් බවයි.

    එමෙන්ම, FBI ආයතනය ආයතනය විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ දිව්රුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙන්නේ ඉහත පෙට්ටි 15 න් 14 කම අන්තර්ගත ව තිබෙන්නේ රහසිගත තොරතුරු බවයි. ඒ අනුව, මෙවන් තොරතුරු රැගත් තවත් ලේඛන මාර්-අ-ලාගෝ හි පිහිටි නිවසේ ඇති බවට ඔවුන් සැක පළ කර තිබේ. එමෙන්ම, මෙම සෝදිසි මෙහෙයුම හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් “යුක්තිය පසිඳලීමට අවහිරකම් කළ” බවට සාක්ෂි එකී පරිශ්‍රයෙන් සොයා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කිරීමට හේතු තිබෙන බව ද එම දිවුරුමේ සඳහන්.

    ඒ අනුව, නීතිපතිවරයා අත්සන් කරන ලද සෝදිසි වරෙන්තුව හරහා මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.

    මේ වන විට සිය සෝදිසි වරෙන්තුව ද සමඟ ලිපි ලේඛන ඇති පෙට්ටි 20 ක් FBI ආයතනය විසින් සොයා ගෙන ඇති අතර, ඒ අතර අතිශය රහසිගත (top secret) ලෙස වර්ගීකරණය කර ඇති කට්ටල 11ක් ඇතුළත් ය. කට්ටල තුනක් රහස්‍ය ලේඛන (secret documents) ලෙස වර්ගීකරණය කර ඇති අතර, කට්ටල තුනක් රහසිගත (confidential) ලෙස වර්ගීකරණය කර ඇත.

    මෙම ලිපි ගොනු අතර, එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට විශේෂයෙන් බරපතල ලෙස හානියක් සිදුකළ හැකි එරට වැදගත්ම රහස් සඳහා යොදනු ලබන “TS/SCI” (Top Secret / Sensitive Compartmented Information) නම් වර්ගීකරණයට ඇතුළත් ලිපි ගොනු ද මෙම කට්ටල අතර වේ.

    මෙම ලිපි ගොනු වලින් සමහරක් අධිකරණ ලේඛනවලට අනුව රජයේ ආරක්ෂිත පහසුකම්වල පමණක් තැබිය යුතු ඒවා වන අතර, ඉන් සමහරක් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා ගේ අතින් ලියන ලද ලේඛන බව ද සඳහන්. කෙසේ වෙතත් මෙම ලේඛන වල අඩංගුවන තොරතුරු මොනවා ද යන්න මාධ්‍යයට හෙළිදරව් කර නොමැත.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවස සෝදිසි කරමින් | ඡායාරූපය: ඊපීඒ

    දේශපාලන පිටිය ගිනි ගනී!

    ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මාර්-අ-ලාගෝ නිවස සෝදිසි කිරීම එරට දේශපාලන පිටිය උණුසුම් කිරීමට හේතු වී තිබේ. රිපබ්ලිකන් පාක්ෂිකයන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමට සිදුකරන ලද ප්‍රයද්නයක් බවයි. එමෙන්ම මේ පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ තමා කිසිඳු රජයේ ලියවිල්ලක් සිය පෞද්ගලික සන්තකයේ තබා නොගත් බවත්, ධුරයෙන් ඉවත්ව යන විට සියළු ලේඛන යළි භාර දුන් බවත් ය.

    එමෙන්ම, FBI නියෝජිතයන් විසින් ලබා ගන්නා ලද ලේඛන සියල්ල රහස්‍ය නොවන (declassified) බවට වර්ගීකරණය කර ඇති බවත්, ඒවා ආරක්ෂිත ගබඩා වල තැබූ බවත් ට්‍රම්ප් පවසා තිබේ. කෙසේවෙතත්, මෙම ලේඛන සිය පෞද්ගලික ගබඩාව තුළ තැන්පත් කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බවට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ට කල්තියාම අනතුරු අඟවා තිබූ බවට ද ඉහත දිව්රුම් ප්‍රකාශයෙන් අනාවරණය වේ.

    ඊට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා තිබෙන්නේ, එකී ලේඛන ඔහුගෙන් කලින් ඉල්ලා සිටියේ නම් තමා කල්තියාම භාර දෙන බවයි.

    එමෙන්ම, මෙම විමර්ශනයට විරුද්ධව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

    ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මාර්-අ-ලාගෝ හි පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නිවස සෝදිසි කිරීම ඔහුට 2024 දී යළි ජනාධිපතිවරණයට තරඟ වැදීමට දේශපාලනික වශයෙන් වාසි සහගත වනු ඇති බවත්, මෙය ඇමරිකාවේ සුවහසක් රිපබ්ලිකානුවන්ගේ පිබිදීමක් උත්ප්‍රේරණය කරනු ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.

    ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටිනා විට තම ඡන්ද පදනම තුළ පවත්වා ගත් දක්ෂිණාංශික වර්ගවාදී සහ අන්තවාදී සංස්කෘතිය යළි ශක්තිමත් වීමට මෙම සෝදිසි මෙහෙයුම හේතුවක් වනු ඇති බවට සඳහන්.

    ඉසුරු පරාක්‍රම | අවුට්බවුන්ඩ් ටුඩේ

  • සාගතය මැද ඉතියෝපියානු යුද්ධය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීත් අසරණ වෙයි!

    සාගතය මැද ඉතියෝපියානු යුද්ධය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීත් අසරණ වෙයි!

    ටයිග්‍රේ කලාපය බාහිර සමාජයෙන් මුළුමනින්ම විසංධි වී ඇත…. සාගතයෙන් පෙළෙන අසරණයන්ට ආධාර යැවීමට වත් නොහැකිය.

    ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ මතුව ඇති සිවිල් යුධ තත්ත්වය හමුවේ නිර්මාණය වී ඇති දැඩි මානුෂීය අර්බුදය සාගතය ඇතුළු ගැටළු රැසකට මුල පිරීමට හේතුවී තිබේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඝෙබ්‍රෙයෙසුස් මහතා පාපොච්ඡාරණය කරන්නේ ඉතියෝපියාවේ යුධ තත්ත්වයක් මතුව ඇති ටයිග්‍රේ කලාපයේ කුසගින්නේ සිටින තම ඥාතීන්ට ජීවත් වීම සඳහා මුදල් යැවීමට වත් තමාට හැකියාවක් නොමැති බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ඝෙබ්‍රෙයෙසුස් මේ බව ප්‍රකාශ කළේ ඉකුත් දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී ය.

    මෙම යුධ කලාපය තුළ තමාගේ ඥාතීන් බොහෝ සිටින බවත්, එම ඥාතීන් කුසගින්නේ විඳවන බවත්, ඔවුනට මුදල් යැවීමට තමාට අවශ්‍යව ඇති මුත් එය කිරීමට හැකියාවක් නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසයි. එමෙන්ම, ඔවුන් අතුරින් ජීවතුන් අතර සිටින්නේ කවුරුන් ද මියගොස් සිටින්නේ කවුරුන් ද යන්න පවා තමා නොදන්නා බව හෙතෙම පාපොච්ඡාරණය කළේය.

    ඊයේ (26) දින තුළ මෙම කලාපයේ යුධමය තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් දෙදෙනෙකු කුඩා දරුවන් බව ද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

    ඉතියෝපියාවේ ප්‍රාදේශීය ටයිග්‍රේ ආරක්ෂක බලකාය (Tigray Defense Forces: TDF), එරිත්‍රියානු ආරක්ෂක හමුදාවේ (Eritrean Defence Forces: EDF) මැදිහත් වීම ද මත ඉතියෝපියානු ජාතික ආරක්ෂක බලකාය (Ethiopian National Defense Force: ENDF), ඉතියෝපියානු ෆෙඩෙරල් පොලීසිය (Ethiopian Federal Police), ප්‍රාදේශීය පොලීසිය සහ අසල්වාසී අම්හාරා සහ අෆාර් කලාපවල ජෙන්ඩර්මරී බලකායන් සමඟ සටන් වැදීම හේතුවෙන් ටයිග්‍රේ කලාපයේ මෙම සන්නද්ධ යුධ තත්ත්වය මතුව ඇත. මෙකී සෑම පාර්ශවයක් ම, විශේෂයෙන් ENDF, EDF, සහ TDF බලකා, මෙම සන්නද්ධ තත්ත්වය හමුවේ යුධ අපරාධවලට චූදිතයන් වීම ද විශේෂත්වයකි. මෙම යුධ තත්ත්වය මතුවූයේ 2020 නොවැම්බර් මස දී වන අතර, මේ හේතුවෙන් එම කලාපය තුළ විදුලිය, අන්තර්ජාලය, බැංකු සේවා, හා දුරකතන ආදී සියලු සේවා ඇණ හිට තිබේ.

    මෙම යුධමය තත්ත්වය හමුවේ ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපය මුළුමනින්ම පාහේ බාහිර ලෝකයෙන් විසංධි වූ ප්‍රාථමික ජන කලාපයක් බවට පත්ව ඇත. තම පවුලට මුදල් යැවීමට වත් හැකියාවක් නොමැති බවට උක්ත ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානීගේ පාපොච්ඡාරණය පැමිණෙන්නේ මෙකී පසුබිම තුළයි.

    මේ වන විට ටයිග්‍රේ කලාපයේ යුධමය තත්ත්වය නිසා මියගොස් ඇති පුද්ගලයන් ගණන දස දහස ඉක්මවා ඇති අතර, ආහාර නොමැතිව සාගින්නේ පෙළෙන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන ගණනක් බව සඳහන්. සාගින්නේ පෙළෙන ඉතියෝපියාවට මෙසේ අත්‍යාවශ්‍ය ආධාර පැමිණීම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට රජයට බරපතල චෝදනා එල්ල වී තිබේ. ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ මිලියන 5.5 පමණ වූ ජනතාවගෙන් හරි අඩක් පමණ “බරපතල” ආහාර හිඟයකින් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන (World Food Programme) නිවේදනය කරන ඇත.

    ඉතියෝපියාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වත්මන් ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රෝස් ඝෙබ්‍රෙයෙසුස් මහතා මීට ඉහත අවස්ථාවක පවසා සිටියේ, ටයිග්‍රේ කලාපයේ යුද්ධය රුසියානු – යුක්රේන යුද්ධයට වඩා බරපතල බවත්, මුළු ලොවක් රුසියානු – යුක්රේන යුද්ධය පිළිබඳ සිය අවධානය යොමුකරද්දී ටයිග්‍රේ යුද්ධයට අදාළ ගෝලීය ප්‍රතිචාරය අවම වීම පිටුපස තිබෙන්නේ වර්ගවාදය විය හැකි බවත් ය. ඒ අනුව ඉතියෝපියාවේ සිටින මිනිසුන්ගේ හමේ වර්ණය මත ඔවුන් විඳින වේදනාව ලෝකයට නොපෙනෙන බව උපකල්පනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා යෝජනා කර තිබේ.

    ටයිග්‍රේ යුද්ධය ආරම්භ වූ 2020 සමයේ එම යුද්ධයට අවි සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ඝෙබ්‍රෙයෙසුස් කටයුතු කළ බවට ඇතැම් පාර්ශව චෝදනා කළ අතර, එම චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා සිටියේ මෙම යුධමය තත්ත්වය තුළ එක් පාර්ශවයකට පක්ෂපාතී වීමට තමා කටයුතු නොකරන බව ය.

    ඡායාරූප: ඒඑෆ්පී

    ඉසුරු පරාක්‍රම | අවුට්බවුන්ඩ් ටුඩේ

  • අගමැතිගේ ප්‍රධානත්වයෙන් විසිවසරක සමරිසි අභිමානය සැමරෙන ඊශ්‍රායලය

    අගමැතිගේ ප්‍රධානත්වයෙන් විසිවසරක සමරිසි අභිමානය සැමරෙන ඊශ්‍රායලය

    මෙම උත්සවයට සහභාගී වන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කතාවක් සිදු කිරීමට ද නියමිත ය.

    ඊශ්‍රායලයේ පැරණිතම සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් වන ඊශ්‍රායල් ගේ යූත් (Israel Gay Youth (IGY) හි විසිවන සංවත්සරය අද (27) දිනට යෙදී තිබේ.

    විශේෂත්වය වන්නේ මෙම සංවත්සරය සැමරීම එරට අග්‍රාමාත්‍ය යෙර් ලැපිඩ් ගේ ප්‍රධානත්වයෙන් සිදුවීමයි.

    ඒ අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිය බිරිඳ ද සමඟ මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිත බව සඳහන්.

    මැදපෙරදිග ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල්වල විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් කෙරේ ඇත්තේ අතිශය පහළ පිළිගැනීමක් වන අතර, එවන් පසුබිමක ඊශ්‍රායලය යනු විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් නීත්‍යානුකූල වශයෙන්ම පිළිගත් රටකි.

    එමෙන්ම ඊශ්‍රායලය යනු LGBTIQ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම අතින් මැද පෙරදිග තිබෙන දියුණුතම රාජ්‍යය බවට පැවසේ. එරට සමරිසි ලිංගික ක්‍රියා නීත්‍යානුකූල වශයෙන් පිළිගැනීම සිදුවූයේ 1998 වර්ෂයේ වන අතර, අධිරාජ්‍යවාදී බලපෑම මත සොදොමි පාපයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අවසාන වරට සිදුව තිබෙන්නේ 1963 වර්ෂයේදී වීම විශේෂත්වයක්.

    ඊශ්‍රායලය තුළ සමරිසි විවාහ සිදුවීමක් දක්නට නොලැබුන ද සමරිසි විවාහ වලට නීත්‍යානුකූල පිළිගැනීමක් තිබේ. එමෙන්ම, ලිංගික දිශානතිය මත වෙනස්කොට සැලකීම් සිදුකිරීම ඊශ්‍රායලයේ තහනම් කරනු ලැබුවේ 1992 වර්ෂයේදී ය. එමෙන්ම ඓතිහාසික අන්දමින් සමරිසි යුවළයන්ට දරුවන් හදා ගැනීමේ වරම් ලබා දීමට ඊශ්‍රායලය කටයුතු කරනු ලැබුවේ 2008 වර්ෂයේදී ය. LGBTIQ පුද්ගලයන්ට හමුදාවේ සේවය කිරීමට එරට අවසර ලබා දීම ද විශේෂත්වයකි.

    මීට අමතරව ඊශ්‍රායලයේ ටෙල් අවිව් යනු ලොව වඩාත්ම සමරිසි හිතෛශී නගරයන්ගෙන් එකක් බව ද සඳහන්.

    Outbound Today

  • තායිලන්ත අගමැතිගේ පුටුවටත් තට්ටු වෙයි !

    තායිලන්ත අගමැතිගේ පුටුවටත් තට්ටු වෙයි !

    තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා මහතාගේ ධුර කාලය අත්හිටුවීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීරණය කර තිබෙනවා. අගමැතිවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ.

    විපක්ෂයේ පෙත්සම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවේ විභාගයට ගත් අතර විනිශ්චය සභාව නියෝජනය කළ විනිසුරුවරුන් 5:4 ක් ලෙස ඡන්දය ලබාදුන් අතර ඒ අනුව බහුතරයේ එකඟතාවයෙන් අගමැතිවරයාගේ ධුරය අවසන් කර තිබේ. මෙම තීරණය ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වේ.

    2014 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පැමිණි ප්‍රයුත් චාන් ඔචා මහතා 2019 වසරේ පැවති මහ මැතිවරණයෙන් බලය තහවුරු කර ගැනීමට සමත් විය. දැඩි සීමා සහිතව පැවති මෙම මැතිවරණ සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම්වලින් දැඩි විරෝධය එල්ල විය.

    මෑත කාලසීමාව තුළ ඔහුගේ සන්ධාන ආණ්ඩුව තුළ දැඩි පසුබෑමක් ඇති වූ අතර කෙසේ නමුත් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ විස්වාස භංග යෝජනා කිහිපයකින් සිය අගමැති පුටුව රැක ගැනීමට ඔහු සමත් විය.

    UN

  • පාටි කරන්නන් කුඩු ගසන්නන් කරන ෆින්ලන්ත ලොජික්: අගමැතිනියගේ වෛද්‍ය වාර්තා එළියට!

    පාටි කරන්නන් කුඩු ගසන්නන් කරන ෆින්ලන්ත ලොජික්: අගමැතිනියගේ වෛද්‍ය වාර්තා එළියට!

    පාටියක නැටූ සැනින් කාන්තාවක මත්ද්‍රව්‍ය භාවිතා කරන්නියක වනවා ද?

    ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය යන විරුදාවලිය ලත් ෆින්ලන්ත අගමැතිනි සනා මැරින් ට එරෙහිව ඉකුත් දිනක මත්ද්‍රව්‍ය චෝදනා එල්ල විය. ඒ ඈ එක්තරා උත්සව අවස්ථාවක විනෝද වන දසුන් ඇතුළත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තීබීම නිසායි.

    ඈ සිටින බවට පැවසෙන වීඩියෝ පටය ඈට දේශපාලනික වශයෙන් පහර දීමට ප්‍රතිවාදීන් යොදාගත් අතර, ඇගේ ප්‍රතිපාක්ෂික දේශපාලන නියෝජිතයන් පවසා සිටියේ සනා මැරින් වහා මත්ද්‍රව්‍ය සඳහා වූ වෛද්‍ය පරීක්ෂාවකට යොමුකළ යුතු බවයි.

    මීට අදාළව ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සිදුකළ අතර, එහි ප්‍රතිඵල දැන් ලැබී තිබේ. ඒ අනුව ඇගේ ප්‍රතිඵල සෘණ ලෙස පැමිණ තිබේ.

    36 හැවිරිදි ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ තමා මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාව සිදුකරනු ලැබුවේ ඇගේ නීතිමය ආරක්ෂාව සඳහා බවයි.

    එමෙන්ම, තමා කිසිදිනක නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර නැති බව ඈ අවධාරණය කළාය.

    ෆින්ලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක තිබෙන්නේ ඇගේ වෛද්‍ය වාර්තාව හරහා ඈ මත්ද්‍රව්‍යයක් ලබා ගෙන ඇති බවට කිසිඳු සාක්ෂියක් හමු නොවී ඇති බවයි.

    මේ අතර, සනා මැරින් ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය, ඉකුත් අගෝස්තු 18 වන දින සමාජ මාධ්‍යයට මුදා හැරි ඈ සිටින්නේ යැයි පැවසෙන වීඩියෝ පටය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, එම වීඩියෝ පටය පටිගත කිරීම පිළිබඳව ඇගේ විරෝධයක් නොමැති වූ මුත් එය මහජන ප්‍රදර්ශනය සඳහා අවසරයකින් තොරව සමාජ මාධ්‍යයට මුදා හැරීම පිළිබඳව ඈ කළකිරීමට පත්වන බවයි.

    ඡායාරූප: ගෙටී ඉමේජස්

    සබැඳි පුවත්:

    Outbound Today

  • අධිකරණය දෙන්න බෑ කියපු සමරිසි අයිතිය අගමැති දෙන්න කැමති වෙයි.. සිංගප්පූරුවේ!

    අධිකරණය දෙන්න බෑ කියපු සමරිසි අයිතිය අගමැති දෙන්න කැමති වෙයි.. සිංගප්පූරුවේ!

    සිංගප්පූරුවේ සමරිසි ලිංගික ක්‍රියා සාපරාදී කරණ දණ්ඩ නීති සංග්‍රහයේ 377අ (377A) වගන්තිය අහෝසි කිරීමට කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය ලී හ්සියන් ලූන්ග් පවසා තිබේ.

    ඔහු මේ බව පවසා තිබෙන්නේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමිනි.

    මෙම නිවේදනය කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනු ලැබුවේ, මෙය කළ යුතු නිවැරදි ක්‍රියාවක් බව තමාට හැඟෙන බවත්, මෙය බොහෝ සිංගප්පූරු වැසියන් අනුමත කරනු ඇති බව තමා විශ්වාස කරන බවත් ය.

    එමෙන්ම මෙය සමරිසි සිංගප්පූරු වැසියන්ට සහනයක් වනු ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

    ඒ අනුව සමරිසි ප්‍රජාව අපරාදකරුවන් ලෙස හංවඩු ගසන නීති අහෝසි කර දැමීමට සිංගප්පූරුව කටයුතු කරනු ඇත.

    මෙම ආන්දෝලනාත්මක නීති වලට එරෙහිව එරට මානව හිමිකම් ක්‍රියාධරයන් වසර ගණනාවක් පුරා අධිවාචන කටයුතු කළ අතර, මේ සම්බන්ධයෙන් ගෙන තිබූ අධිකරණ ක්‍රියාමාර්ග පවා නිශ්ඵල වී තිබිණි.

    සමරිසි ලිංගික ක්‍රියා සාපරාදී කරණ නීති අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීමට අදාළව අධිකරණ නිර්වචන ලබා ගැනීමට ගිය අවස්ථා වලදී පවා අධිකරණයෙන් එකී පෙත්සම් ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ එකී නීතිය ඔස්සේ සමරිසි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන බැවින්, එම නීතියේ වෙනසක් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව යි.

    විදෙස් සංචාරකයන් ගේ තෝතැන්නක් වන, මෙලොව දියුණුවේ හිනිපෙත්තටම ගිය රටක් ලෙස සැලකෙන සිංගප්පූරුව තුළ මෙවන් ගතානුගතික සම්ප්‍රදායික සමාජ වටිනාකම් වලට මුල්තැන දීම එරට ප්‍රතිරූපයට පවා නොගැළපෙන බව බොහෝ පාර්ශවයන්ගේ අදහස විය.

    යටත් විජිත කාලසීමාව තුළ විවිධ රටවලට හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහ බොහෝ විට රෝම ලන්දේසි නීතිය සහ රෝමානු කතෝලික බයිබලය මත පදනම්ව නිර්මාණය වී ඇති බැවින් සමරිසි ලිංගික ක්‍රියා සාපරාදී වරදක් බවට ප්‍රකාශයට පත්වීම ඒ ඒ සෑම යටත් විජිතයකම දක්නට ලැබිණි.

    මෙම සමාජ ඛේදවාචකයට ශ්‍රී ලංකාව ද අයත් වන අතර, ශ්‍රී ලංකාවේ අසල්වාසී රාජ්‍යයය වන ඉන්දියාව මෙම හානිකර නීතීන් ඉවත් කරනු ලැබුවේ 2018 සැප්තැම්බර් 06 වන දින ය. මීට අමතරව ආසියානු පැසිෆික් කලාපයේ තායිවානය සහ තායිලන්තය ආදී රටවල ද සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට හානි පමුණුවන මෙම නීති අහෝසි කර ඇත.

    මෙම නීතිය 365 / 365අ යන වෙසින් ශ්‍රී ලංකාව තුළ තවමත් ක්‍රියාත්මක බව ද සිහිපත් කළ යුතු ය.

    ඡායාරූප: ගෙටී ඉමේජස්

    Outbound Today

  • ෆින්ලන්ත අගමැතිනියට මත්ද්‍රව්‍ය චෝදනාවක්? පරීක්ෂාවකට මුහුණ දෙයි!

    ෆින්ලන්ත අගමැතිනියට මත්ද්‍රව්‍ය චෝදනාවක්? පරීක්ෂාවකට මුහුණ දෙයි!

    විනෝද වූ සැනින් පුද්ගලයකු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නියක වනවාද…?

    ලොව ලාබාලතම අග්‍රමාත්‍යවරිය ලෙස ජනාදරයට පාත්‍ර වූ ෆින්ලන්ත අගමැතිනි සනා මැරින් තමා මත්ද්‍රව්‍ය සඳහා පරීක්ෂාවකට මුහුණ දුන් බව සැලකරයි.

    ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය මෙම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට මුහුණ දී තිබෙන්නේ, ඉකුත් සතියේ දිනක ඈ ෆින්ලන්ත පොප් තරුවක් ඇතුළු මිතුරන් පිරිසක් සමඟ සාදයක විනෝද වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වීමත් සමඟ ය.

    මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල සංසරණය වීම සමඟ ඈ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට දේශපාලන ප්‍රතිපාක්ෂිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් මත පළකරන්නට ගත් අතර, ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරන්නේ, තමා කිසිදිනක නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බවයි.

    අද (19) දින මාධ්‍ය හමුවක් කැඳවමින් 36 හැවිරිදි ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ තමා යෞවන වියේදී වත් මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බවයි.

    ඈ සිටියේ යැයි කියන වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමඟ විවේචකයන් දැඩිව කියා සිටියේ සනා මැරින් අග්‍රාමාත්‍යවරිය මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සඳහා භාජනය විය යුතු බවයි.

    මීට ප්‍රතිචාර දක්වමින් ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය අද දින පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ තමා මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සඳහා පෙනී සිටි බවත්, එහි ප්‍රතිඵල ලබන සතියේදී නිකුත් වීමට නියමිත බවත් ය.

    තමා මත් ද්‍රව්‍ය ගැනීම ඇතුළු කිසිඳු නීති විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති බව ද ඈ අවධාරණය කළාය. ඒ අනුව තමා නිර්දෝශී බව ද ලාබාල අග්‍රාමාත්‍යවරිය පවසා සිටියාය.

    ඡායාරූප: ගෙටී ඉමේජස්

    Outbound Today