තෙල් සංස්ථාව බෝනස්වලට කෝටි 120ක් වැය කරලා

  • ලොක්කන්ට ලක්ෂ 10ක්
  • ශ්‍රීලන්කන් බෝනස් වියදම කෝටි 58ක්
  • සේවකයකුට ලක්ෂය බැගින් ගෙවලා
  • ජනපති සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසයි.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබුණද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ආයතනවල සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවූ බවට ලැබුණු වාර්තාවක් පදනම් කරගෙනය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ්‍රීලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයිද ජනාධිපති වෙත බාර දුන් වාර්තාවේ දක්වා තිබේ.

මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් මඟින් මේ දැනුම් දීම කර තිබුණත් ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන් වේ. මේ වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයිද ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවූ වාර්තාවක් යටතේ බවද දැනගන්නට තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් 4200ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇත. එහි ඉහළ නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5ක මාසික වැටුප් ලබන නිලධාරීන්ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවා ඇතැයිද වාර්තා වේ. එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් ප්‍රසාද දීමනා (බෝනස්) ගැනීම නිසා ඉහත මුදල වැය වී ඇතැයිද සඳහන්ය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800ක් සිටින අතර ඔවුන්ට 13 වැනි මස වැටුප ලෙස සඳහන් කරමින් සේවකයකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබේ. ඒ අනුව රුපියල් කෝටි 58ක් මේ වෙනුවෙන් වැය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කර ගනිමින් මෙලෙස 13 වැනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයිද ජනපතිට දුන් වාර්තාවේ දැක්වා ඇත.

රජයේ චක්‍රලේඛ කඩ කරමින් ප්‍රසාද දීමනා ගෙවීම ගැන මේ ආයතන දෙකෙන් නිදහසට කරුණු විමසා ඇති අතර නිදහසට කරුණු දැක්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බවද දැනගන්නට තිබේ. ජනතාව ආර්ථික පීඩාවට පත්ව ඇත්තේ මේ ආයතනවල ණය බර නිසාවෙන් වුවත් තව තවත් ජනතාවට බර පටවමින් කළ මේ ක්‍රියාව ගැනද ජනපතිවරයා කනස්සල්ල පළ කර ඇතැයිද වාර්තා වේ.

ඛනිජ තෙල් සංස්ථාව පසුගිය වසරේ අගෝස්තු වන විට රුපියල් බිලියන 633ක පාඩුවක් ලබා ඇත. එමෙන්ම වසර මැදදී ඉන්දියාවෙන් රුපියල් බිලියන 228ක ණයක්ද ගෙන ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2022/2023 මූල්‍ය වර්ෂයේ පළමු භාගයේදී රුපියල් බිලියන 112.8ක පාඩුවක් ලබා ඇත. මුදල් අමාත්‍යාංශය සිය වාර්ෂික වාර්තාවේ 2021දී සඳහන් කර ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බදු ගෙවීමට පෙර අලාභය රුපියල් බිලියන 170.8ක් බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...