සටහන – රුවන් නෙළුගොල්ල
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (06) නියම කළේය.
ඒ අනුව, රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ශරීර ඇප තුනක් මත ඔහුව නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල නියම කළේ.
කෙසේවෙතත් ඊයේ දිනයේදී ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් රෝහිත බෝගොල්ලාගම නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.
ලන්ඩනයේ පැවති වෙළෙඳ ප්‍රදර්ශනයකට සහභාගි වී, මූල්‍ය රෙගුලාසිවලට පටහැනිව රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් ගෙවන ලෙස ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකොට දූෂණය නැමැති වරද සිදුකළ බව චෝදනා කරමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව මෙම අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.
එහිදී ඔහුව ඇප මත මුදාහැර තිබුණු නමුත් නඩු වාර කිහිපයකටම ඔහු පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව නැවතත් අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.


