කොළඹ LNW:සිරියාවේ රාජ්‍ය අංශයේ වැටුප් ලබන මස සිට 400%කින් වැඩි කිරීමට බලාපොරොත්තුවන බව එරට මුදල් අමාත්‍ය මොහොමඩ් අබාසීද් ඊයේ (05) ප්‍රකාශ කර තිබේ.
කාර්යක්ෂමතාව සහ වගවීම ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශවල පරිපාලනමය කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමෙන් පසු උක්ත තීරණය ක්‍රියාත්මක වන බවයි ඇමතිවරයා සඳහන් කර තිබෙන්නේ.
ඒ අනුව එම වැටුප් වැඩි කිරීම වෙනුවෙන් සිරියානු පවුම් ට්‍රිලියන 1.65ක් නැතහොත් ඇමරිකානු ඩොලර් මිලියන 127ක් වැයවන බවටද සිරියානු රජය ඇස්තමේන්තු කර තිබේ.
වසර 13ක ගැටුම් සහ සම්බාධකවලින් පසුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සිරියාවේ නව භාරකාර ආණ්ඩුව විසින් ගෙන යන පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙලේ කොටසක් ලෙසද මෙම වැටුප් වැඩිවීම දක්වා ඇත.
පෙරලා දැමූ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලනය යටතේ සිරියාවේ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප මසකට ඩොලර් 25 ක් පමණ වූ අතර ඔවුන් රටේ ජනගහනයෙන් බහුතරයක් සමඟ දරිද්‍රතා රේඛාවට පහළින් සිටින බවද අමාත්‍ය අබාසීද් සඳහන් කරයි.
රජයක් ලෙස උක්ත තීරණය ඉතා අභියෝගාත්මක වුවද නුදුරු අනාගතයේ දී රට තුළ ආයෝජන දියත් කිරීම හරහා රාජ්‍ය භාණ්ඩාගාරයට ද ප්රතිලාභ ලබා දෙන අතර මෙම වැටුප් වැඩිවීම සඳහා මුදල් යෙදවීමට ඔවුන්ට ඉඩ සැලසෙනු ඇති බවත් ඉදිරි මාස කිහිපය සඳහා මූල්‍යකරණය කිරීමට ප්‍රමාණවත් අරමුදල් සිය මහ බැංකුව සතුව ඇති බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.
මේ අතර සිරියාවේ භාරකාර රජය බදු ප්‍රතිසංස්කරණ කිරීමටද සැලසුම් කර තිබේ.
බදු ගෙවන්නන්ට හැකිතාක් දඬුවම් සහ පොලී ගෙවීම්වලින් නිදහස් කර බදු ගෙවන්නන් සඳහා බදු යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරි මාස තුන ඇතුළත බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට සාකච්ඡා කරමින් සිටින අතර පළමු කෙටුම්පත ඉදිරි මාස හතරක් ඇතුළත ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරන බව අබාසීද් අමාත්‍යවරයා කියාසිටියි.
“මේ වසර අවසන් වන විට, සියලුම බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන හොඳින් සැලසුම් කරන ලද බදු ක්‍රමයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.
ආශිකා බ්‍රාහ්මණ