විශේෂ ලිපිකරුවකු විසිනි
ජනවාරි 11, කොළඹ (LNW): 6 ශ්‍රේණිය ඉංග්‍රීසි බස මොඩියුලයක පැවති ආන්දෝලනාත්මක අන්තර්ගතයක් සම්බන්ධයෙන් මේ වන විට ජන විඥාණය තුළ විවිධ අදහස් ගොඩනැඟෙමින් පවතී. මෙම අන්තර්ගතය සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන දියත්වෙමින් පවතින අතර, එය දේශපාලන සංවාදයක් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවිණි.
මෙම පෙළපොත් අන්තර්ගතය සමඟ, සමලිංගිකත්වය සහ ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ සෘණාත්මක ප්‍රතිරූපයක් ගොඩනැඟෙමින් පවතින අතර, මෙම දෝෂය දරුවන් ආරක්ෂාකර ගැනීම සහ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය සම්බන්ධ ව රජයේ පවතින ප්‍රතිපත්ති දෝෂදර්ශනයට ලක්වීමට හේතු වී තිබේ.
මෙම වාතාවරණය තුළ, දරුවන්ට පරිපූර්ණ ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීමේ අවසාන ප්‍රතිඵලය දරුවන් දෙමාපියන්ට නැති කිරීම බවට, හා සමලිංගිකත්වය ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මව්වරුන් ඒකරාශීවිය යුතු බවට පවසමින් “මව්වරුන්ගේ පෙරමුණ” නම් සංවිධානයක් විසින් ගෙන යන ව්‍යාපාරය හෙළා දැකීමට ළමා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රභල හඬක් නඟන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය කටයුතු කරයි.
සමාජ මාධ්‍ය සටහනක් දක්වමින් වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය පෙන්වා දෙන්නේ, මෙම “මව්වරුන්ගේ පෙරමුණ” නම් සංවිධානය ළමා අයිතිවාසිකම් පිළිබඳ සාවද්‍ය බියක් ජනතාව අතර ප්‍රචලිත කරමින් සිටින බවයි. මෙම සංවිධානය දරුවන් වෙනුවෙන් පෙනී සිටින මැයෙන් සාවද්‍ය කරුණු මතුකරමින් දේශපාලනික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඈ පෙන්වා දෙන්නීය.
මෙම සංවිධානයේ සභාපතිනිය ලෙස කටයුතු කරන ශානුකා ඉලංගසේකර නැමැත්තිය, ජාත්‍යන්තර ක්‍රිස්තියානි සංවිධාන සමඟ සබඳතා පවත්වන අතර, Agape Ministries නැමති ජාත්‍යන්තර ක්‍රිස්තියානි සංවිධානයේ පාස්ටර්වරියක බවත් පෙන්වා දෙන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය, ඔවුනට මූල්‍යාධාර ලැබෙන ආකාරය සහ සැබවින්ම ඔවුන් පෙනී සිටින්නේ යැයි කියන දෑ සම්බන්ධයෙන් පෙනී සිටිනවා ද යන්න පිළිබඳව විමසිලිමත්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
“මව්වරුන්ගේ පෙරමුණ” නම් සංවිධානයේ නිර්මාතෘවරුන් වනුයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් ජෙහාන් හමීඩ් සහ ෂෙනාලි වඩුගේ යන තැනැත්තන් බවත්, ඔවුන්ගේ දේශපාලන නැමියාව අනුව මෙම ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක වන දේශපාලනික න්‍යාය පත්‍රය කුමක්ද යන්න හඳුනාගත හැකි බවත් ඒ මහත්මිය පෙන්වා දෙයි. එමෙන්ම, 2022 වර්ෂයේ එම පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ප්‍රේම්නාත් දොළවත්ත විසින් සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා නිරසාපරාධීකරණය කිරීමට ඉදිරිපත්කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, “සමලිංගිකයන් නිසා ළමා ලිංගික අපයෝජන වැඩි වෙනවා” යන පුහු තර්කය මත පදනම් ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට කටයුතු කළේ ද මෙම කණ්ඩායම ම බව වෛද්‍යතුමිය සිහිපත්කර සිටියි. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පරාජයට පත් වූ අතර, සමලිංගිකත්වය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත්කළ කරුණු කිසිවකට පදනමක් නොමැති බවට අධිකරණය නිගමනය කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එදිරිවන මුවාවෙන් මෙරට ළමා අපයෝජන පාරාදීසියක් බවට පත් කිරීමට මෙම සංවිධානය කටයුතුකරන බව චෝදනා කරන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නිවැරදිවිය යුතු ගැටළු තිබෙන නමුත්, සෑම පැය දෙකකට වරක් ශ්‍රී ලංකාවේ දරුවකු ලිංගික අපයෝජනයට ලක්වන බවත්, මෙරට අපරාධවලින් තුන්වන ස්ථානයට පත්ව තිබෙන්නේ ළමා ලිංගික අපයෝජනය බවත්, ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 40,000ක් තවමත් නොවිසඳී තිබෙන පසුබිමක ලිංගික අපරාධ වැළැක්වීමට ශිෂ්ටසම්පන්න දියුණු ලෝකය තුළ පවතින එකම උපායමාර්ගය වයසට සරිලන ලිංගිකත්ව අධ්‍යාපනය බවත් සිහිපත්කර සිටින්නීය.
එබැවින්, ළමා අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කිරීමට ශානුකා ඉලංගසේකර ඇතුළු “මව්වරුන්ගේ පෙරමුණට” විවෘත ආරාධනාවක් කරන බව ද වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය වැඩිදුරටත් පවසා සිටියි.

ශානුකා ඉලංගසේකර යනු කවුද?
මෙම මව්වරුන්ගේ පෙරමුණ නම් සංවිධානයේ සභාපතිනිය ලෙස කටයුතු කරන ශානුකා ඉලංගසේකර නැමැත්තිය, ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද Israel Sri Lanka Solidarity Movement (ISSOM) නම් සංවිධානයේ සභාපතිනිය ලෙස ද කටයුතු කරන අතර, පවතින ඊශ්‍රායල-පලස්තීන ගැටුම හමුවේ ඊශ්‍රායලය වෙනම රාජ්‍යයක් ලෙස හඳුනා ගැනීම වෙනුවෙන් දැඩිව පෙනී සිටින තැනැත්තියකි. මෙහි පවතින උභතෝකෝටිකය වනුයේ, ඊශ්‍රායලය යනු ගල්ෆ් කලාපයේ පවතින සමරිසි සබඳතා හිස් මුදුනින් පිළිගන්නා පමණක් නොව, සමරිසි යුවලයන්ට දරුවන් හදාවඩා ගැනීමට පවා නීත්‍යානුකූල අවසරය ලබා දී තිබෙන එකම රාජ්‍යය වීමත්, එවන් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි පුද්ගලයන්ගේ විනාශය ප්‍රාර්ථනා කිරීමට ඈ කටයුතු කිරීමත් ය. එපමණක් නොව, ජන සංහාරයක් උදෙසා ලොවක් ඉදිරියේ විවෘත යුද්ධයක නියැලී සිටින ඊශ්‍රායලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන “රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය” වෙනස් කිරීමේ මෙහෙයුමක තමා නියැලී සිටින බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ “සියලු සංස්කෘතීන්” ඒකරාශී කරගැනීමට තමා කටයුතු කරන බවත් ශානුකා ප්‍රසිද්ධ විදෙස් මාධ්‍යයක් වෙත පවසා තිබේ. මෙය වක්‍රාකාරයෙන් පලස්තීන ජනසංහාරය අනුමත කිරීමක් පමණක් නොව, තම ආගමික මතවාදයන් ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාවට එල්ලකරන බරපතල තර්ජනයකි.

ආන්තීකරණයට ලක්වන ජන කණ්ඩායම් සම්බන්ධයෙන් දේශපාලනික සංවාදයක් පවත්වා ගැනීමට, එවන් ප්‍රජාවන් වෙනුවෙන් පෙනී සිටීමට හෝ ඔවුන්ගේ සටන්පාඨවලට විරුද්ධ වීමට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තුළ ඕනෑම පුරවැසියකුට අයිතියක් පවතී. එතැනින් ද නොනැවතී ලිංගිකත්වය, ලිංගික විවිධත්වය වැනි සමාජීය ලක්ෂණ සම්බන්ධයෙන් ලබා දී තිබෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම් තම ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන් මැයෙන් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේපකර සිටීමට ද ඕනෑම පුද්ගලයකුට අයිතියක් ඇත. එපමණක් නොව, මෙවන් කරුණු සම්බන්ධයෙන් පුද්ගලයන් අතර එකිනෙකට වෙනස් මතවාදයන් පවතී නම්, එකඟ වීමට හෝ එකඟ නොවීමට එකඟ වෙමින් එම වෙනසට ගරු කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක ලක්ෂණයකි. කෙසේවෙතත්, සමාජයේ දක්නට ලැබෙන යම් සංවේදී කරුණක් පිළිබඳව රටේ පවතින ඉහළම අධිකරණය දරන මතය පවා අභියෝගයට ලක්කරමින් ඊට පටහැනි ලෙස මතවාදයක් ගොඩනඟමින් ඒ වටා ජනතාව ඒකරාශීකර ගැනීමට තරම් යම් පිරිසක් නිර්භය වනවා නම්, ඔවුන් පසුපස ක්‍රියාත්මක වන බල හස්තය කුමක්ද යන්න අප විසින් ප්‍රශ්නකළ යුතුව ඇත.
සබැඳි ලිපි:
අධිකරණයටත් අපහාස කරමින් සමරිසියන්ට එරෙහිව අන්තවාදී ආගමික කණ්ඩායම් වීදියට! – LNW Sinhala
ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වීම දරුවන්ට කරන අසාධාරණයක් ද? – LNW Sinhala



