Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

ලෝකය තනි යායක් බව ලොවට හෙලිකළ ‘ප්‍රබුද්ධ’ දාර්ශනිකයා …

චිත්‍රය, මූර්තිය, නවකතාව, කෙටි කතාව, කවිය, ගීතය, සිනමාව ආදී විවිධ විස්තීරණ කලා මාධ්‍යන් අතික්‍රමණය කරමින් සිය අනන්‍යතාවය ‌ශේෂ කළ මහගම සේකරයන් වියෝවී අදට(14) වසර 46කි. මේ අතීතානුස්මරණය ඔහු පිළිබඳවයි.

1929 අප්‍රේල් මස 07 වන දින කොළඔ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලේ රදාවානේදී උපත ලද මහගම සේකර රදාවාන රජයේ පාසලෙන් හා කිරිඳිවැල මිශ්‍ර පාසලෙන්ද සිය අධ්‍යාපනය හදාරන ලදි. 1945 රජයේ ලලිත කලා ආයතනයට සම්බන්ධ වූ ඔහු ඉන් අනතුරුව නිට්ටඔුවේ ගුරු පුහුණු විද්‍යාලයෙන් පුහුණුවෙන් රාජගිරියේ හේවාවිතාරණ පාසලේ චිත්‍ර ගුරුවරයෙකු ලෙස සිය පළමු පත්වීම ලබා ගන්නා ලදි. ඉන් අනතුරුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු වශයෙන්ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වශයෙන්ද රාජකාරී කටයුතු කරන්නට විය. අනතුරුව රජයේ සේකර ලලිතකලා ආයතනයේ විදුහල්පතිවරයෙකු වශයෙන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඒකකයේ ප්‍රධානියා වශයෙන්ද උසස්වීම් ලබා ගන්නට විය. වෘත්තීය කටයුතුවල නියැලෙන අතරම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ B.A උපාධිය නිම කළ ඔහු විද‌්‍යොදය විශ්ව විද්‍යාලයේ PHD උපාධිය සඳහා පර්යේෂණ නිබන්ධයක් ද සම්පාදනය කරන ලදි. මේ අනුව සේකර එක් ක්ෂේත්‍රයකට සීමා වූ පුදුගලයෙකු නොවූ අතර සිය හැකියාව දක්ෂතාවය හා භූමිකාව විවිධ ක්ෂේත්‍රයන් හරහා විශද කරන්නට විය.

සේකර විසින් එවකට පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් හා එක්ව ගුවන් විදුලියෙහි ප්‍රචාරය කරවූ ‘මධුවන්තී’ නම් වැඩසටහන අසන්නන් අතර අතිශය ජනාදරයට පාත්‍ර වූ වැඩසටහනක් විය. එය එවකට ගීත සාහිත්‍යක් ගොඩ නැගීමට පුරෝගාමී මෙහෙවරක් කරනු ලැබීය.ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ පවා ප්‍රතිපත්තිගරුක මිනිසෙකු විය. ගරු බුහුමන් හා නම්බුනාම වෙනුවෙන් එය පාවා දෙන්නකු නොවීය. 1972 නව ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීමට සාපේක්ෂව නව රජය අමරදේව හා සේකර සම්බන්ධකොට ගෙන ඒ වෙනුවෙන් නව ගීතයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විය. අවස්ථා කිහිපයකදීම ගීතයේ යම් යම් කොටස් අඩු බව පැවසීම නිසා සංස්කරණය කිරීමට සිදු විය. අනවශ්‍ය පරිදි සිය රාජකාරී වලට මැදිහත්වීම ප්‍රතික්ෂප කළ සේකර කියා තිබුණේ ව්‍යවස්ථාවට තනුවක් දා ගැනීම වඩාත් යෝග්‍ය බවයි. එලෙස ස්වාධිනව හා සබුද්ධිමත්ව සිය රාජකාරිය ඉටු කිරීමට තරම් ශක්තිමත් කශේරුවක් සේකර සතු විය.

සේකර විසින් මුලින්ම තෝරාගනු ලැබූ කලා මාධ්‍ය වුයේ චිත්‍රයයි.

ඇවිද ළඳු දෙණි කැළෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට මට කියාදුන් අම්මාට
විසල් සුදු ඩිමයි කඩද්‍රාසි මත
තබා මහ කවකටුව දිග රූල
ඇඳ නෙක මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉඳු බොකුටු නියනින්
විශ්වයෙහිම රටාව කලාවට නගන හැටි
කුඩා කල සිටම මට කියාදුන් තාත්තාට….


සේකර- ‘ප්‍රබුද්ධ’1977

‘සේකර විශේෂයෙන් කැපී පෙනුණේ චිත්‍ර කලාවටයි. කවර අවස්ථාවක වුවද ඔහු අතට අඟුරු කෑල්ලක් පැන්සලක් පෑනක් හුණු කැටයක් හසු වූ විට ඔහු ළඟ තිබුණේ කඩදාසියක් ද බිත්තියක්ද එසේ නැතිනම් වෙනත් උපකරණයක් ද යන විශේෂය නොබලා එහි චිත්‍ර ඇඳීමයි…….. ’

ආචාර්ය කේ.ජයතිලක ( දිවයින 2007/01/11)

භුමි දර්ශන ඇඳීමත්, ප්‍රභූන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ඇඳීමත් චිත්‍ර කලාව නොව බව හඳුනාගත් සේකර සාම්ප්‍රදායික සංකේතයන් අවශ්‍ය පරිදි නවමු ශෛලියකින් ඉදිරිපත් කිරීමට උත්සුක විය. ලන්ඩනයේ වේල්ස් ශිල්පායතනයේ උපාධි ලබා පැමිණී චිත්‍ර ශිල්පීන් එම විදෙස් ශිල්ප කලාවම ශ්‍රේෂ්ඨ තැන්හි ලා සලකන විට සේකර ඉන් මිදී ස්වාධීන සිත්තම් ආරක් අනුගමනය කරන්නට විය. එනමුත් චිත්‍රයෙන් එතරම් අවධානයක් ඔහුට නොලැබීයාම හේතුවෙන් ඔහු කාව්‍යකරණයට යොමු වූ බව කියැවේ.

1956 වසරේ දී ”ධවල සේනාංකය” රචනා කරමින් සේකර ග්‍රන්ථකරණයට ප්‍රවිශ්ට විය. සර් ආතර් කොනන්ඩොයිල්ගේ THE WHITE COMPANYහි පරිවර්තනය වන ධවල සේනාංකය මඟින් වයස අවුරුදු විස්සක තරම් කාලයේ සේකර බටහිර සාහිත්‍ය අවක්ෂේප කර ගැනීමට දක්වන කුසලතාවය පෙනී යයි. එතැන් සිට බටහිර කවීන්වන වඩ්ස් වර්ත්,ලෝරන්ස්,ෆොස්ට්,ශෙලී,එලියන්ට්,විග්මන්ට් සිට කලිල් ජිබ්රාඩ් ,නෙරූදා,පුෂ්කින්,ලර්මන් ටෝව් හරහා තාගෝර් මෙන්ම සරෝජිනී නායිදූ දන්වාම සිය කියවීම, ලිවීම මෙන්ම හැදෑරීමද ඔහු විසින් කරන ලදි. මේමගින් ගනු ලැබූ ආභාශය හරහා සිය නිර්මාණ, පර්යේෂණ, ශාස්ත්‍රීය ආදී ක්ෂේත්‍රයන් අළලා විවිධ කෘතින් රැසක් රචනා කිරීමට ඔහු සමත් විය. කේ.ජයතිලක හා සම කතෘත්වයෙන් ලියන ලද ‘ව්‍යංගා’ කෘතියට අමතරව සේකර විසින් ප්‍රබුද්ධ, සක්වා ලිහිණි, නොමියෙමි ,බෝඩිම ආදී කාව්‍ය සංග්‍රහයන්ද තුංමං හංදිය හා මනෝමන්දිර ආදී නවකතාවන්ද ‘ගීත’ නම් ගීත සංග්‍රහයද දරුවන් වෙනුවෙන් පුංචි අපට කයි කතන්දර හා සරු පොළවක් අපට ඇතේ යන ළමා කෘතීන්ද පාඨක ලේඛක අවධානය නිබඳවම දිනාගනු ලැබීය.

‘ධර්මේ
කාසිම්
ජයසුන්දරම්
මෙහෙ වරෙල්ලා
අපි ඔක්කොම එකතුවෙලා
මේ ලෝකය
යහපත් තැනක් කරමු මීට වැඩිය.’

(රාජතිලක,ලයනල් හා ප්‍රියන්ත පෙරවදන)

සේකර විසින් ලියන ලද ප්‍රබුද්ධ පද්‍ය කෘතිය මෙන් සමතැන්හිලා සැලකිය හැකි ”රාජතිලක,ලයනල් හා ප්‍රියන්ත” යන කෘතිය මුළු මහත් සමාජය දෙස මහත් පරාර්ථකාමී දෘෂ්ටියකින් බලා ලියන ලද්දකි.සමාජ පරිනාමනය ආකස්ම්ක හෝ අහඹුවක් නොවන බවත් එය සමාජ ක්‍රමයේම අනවරතන ප්‍රතිඵලයක් බවත් එහි කියැවේ.පවතින සමාජයක දුර්වලතාවයන් හා නොගැලපීම් මත නව සමාජ ක්‍රමයක් පැන නගින බවත් එය සැබැවින්ම පැවැති සමාජ ක්‍රමයට වඩා ප්‍රගතශීලී සාධනීය ලක්ෂණයන්ගෙන් යුක්ත බවත් පරම්පරාවෙන් පරම්පරාවට සේකර විසින් කියනු ලබයි. කෘතිය පුරාම දක්නට ලැබෙන්නේ සුභාපේක්ෂක දෘෂ්ටියකින් එය රචනා කර ඇති බවයි. එනම් මනුෂ්‍යත්වය පිළිබඳව අචල විශ්වාසයක් හා භක්තියක් කෘතිය පුරාම ගලා යයි.

අතීතයෙන් ගඟ ගලා බසී……..

තුංමං හන්දිය නවකතාව සේකරගේ ලේඛණ දිවියේ මෙන්ම ලාංකීය සිනමාවේද සංධිස්ථානයකි. නවකතාව පුරාම සරළ වූද, සුන්දර වූද, ග්‍රාමීය ජීවිතයේ ඇවතුම් ,පැවතුම් හා සිතුම් පැතුම් පිළීබඳ චිත්‍රයක් කියවන්නාගේ මනසේ සිතුවම් කිරීමට සේකර දක්වන දක්ෂතාවය පුදුම සහගතය. මෙය රසිකයන් අතර වඩාත් ජනාදරයට පත්ව ඇත්තේ රචකයාගේ ජීවන අත්දැකීම් මැදිකොට ගෙන ආත්ම කථන ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම හේතුවෙනි. මිනිස් සුවඳ, ළතෙත් බව කලාකාමී හැකියාව අබිලිං මාමාගේ චරිතයෙන් නිරූපණය වේ.ඒහිදී චිතු ඇඳීම, බලිරූප ඇඳීම මෙන්ම ගොක් කොළ සැරසිළි කිරීමේ අවස්ථා ඉතාමත් සජීවීව නිරූපණ්‍ය කිරීමට ඔහු සමත්ව තිබේ.

මෙකී ජීවී ගුණය එලෙසින්ම තුංමං හන්දිය චිත්‍රපටය පුරාම දෙබස් හා රූප මඟින් ගෙන ඒමට සේකරගේ අධීක්ෂණය සමත් වී තිබේ. මානවීය අයිතීනට ගරු කිරීම, යුතුකම් හා වගකීම් පිළිබඳව දැනුවත් වීම, හෘදයාංගම බැඳීමකින් යුතුව එකිනෙකා පිළිබඳව සැළකිලිමත් වීම යන ගුණාංග සියල්ල අතැඹුලක් සේ අබිලිං මාමා හා සිරිසේන මෙන්ම අම්මා යන චරිත හරහා නිරූපණය කිරීමට සේකර සමත් වී තිබේ.

දිවංගත ජේෂඨ මාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ පවසන පරිදි 1960 දශකයේ අග භාගයේ ප්‍රංශයේ සිනමාව හැදෑරීම සඳහා ලංකාවේ තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත් විය. එ සඳහා මහගම සේකරයන් මෙන්ම වසන්ත ඔබේසේකරයන්ද පෙනී සිටින්නට විය. වසන්ත ඔබේසේකර දුටු මහගම සේකර සිනමාව දන්න අයට අවස්ථාව ලබා දියයුතු බව පවසා සම්මුඛ පරීක්ෂණයට පෙනී නොසිට ඉන් පිටව ගිය බව පැවැසේ. එහෙයින් නිතරඟයෙන්ම එම අවස්ථාව වසන්ත ඔබේසේකරයන් වෙත ලැබුණු බව පැවැසේ. ඒවැනි පුරුෂාර්ථයන්ගෙන් සපිරි ගුණාංගයන් සේකර සතු විය.

”කවිය වූ කලී කවියාගේ ආත්මය මිස අනෙකක් නොවේ. එබැවින් කවියා දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වේ.කවියා සංයමයෙන් යුක්ත වන තරමට කවියෙහි සංයමය ඇති වේ. කවියා නිර්ව්‍යාජ වන තරමට කවිය නිර්ව්‍යාජ වේ. ”

මහගම සේකර (1966.10.21 සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය)

කවියෙකු ගේය පද රචකයෙකු වශයෙන් මහගම සේකරයන් පිළිබඳ කියවීම පහසු නැත. ඔහු සක්වා ලිහිණි මඟින් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය මෙන්ම කොළඔ යුගයේ කවීන්ගෙන ආ සිවිපද ආර සියතට ගැනීම දකිනට ලැබේ.. අවුරුදු 46ක ජීවිත කාලය තුළ ඔහු විසින් සිංහල කලා කෙතට ඉතිරිකර ගිය දෑ බොහෝය. ඒ අනුව ඔහු විසින් ලියන ලද ප්‍රබුද්ධ ලාංකීය පද්‍ය සාහිත්‍යයේ අමරණීයතම සිහිවටනය බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. සේකරගේ දේශපාලනික,ආර්ථික,සමාජ මෙන්ම ආගමික කියවීමේ ප්‍රකාශන මාධ්‍ය වූයේ කවියයි.ගීතයයි.

‘සිද්ධාර්ථ
එ බැවින් අද
නියත විවරණය මට දුන මැන
මේ ලියන මේසය ළඟ
මේ පුටුව මත හිඳ
මේ ලිපිගොනු අතර මැද
හාන පෝරුගාන වී වපුරන වෙල් යායක
සටන් පාඨ
වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර
ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන
උදේ සවස වැඩට යනෙන කෝච්චියක
දෙනෝදාහක් සෙනඟ අතර
බුදු වීමට
තනියම නොව
දෙනෝදාහක් සෙනඟ එක්ක
අපි ඔක්කොම එකට බුදු වීමට”

සේකර- ‘ප්‍රබුද්ධ’1977

‘බතක්-වතක්-ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද
අසහනයෙන් මිදිය හැකිද
සංසාරේ නිරන්තරව තැවරී ඇති
දුක එතැනින් නිමා වේද….’

සේකර- ‘ප්‍රබුද්ධ’1977

ඔහු සතුව පැවැති නෛසර්ගික ශක්‍යතාවය වන්නේ සමාජය පිළිබඳ ඔහුගේ ඥානය අත්දැකීම් තුළින් ලද පරිචය ඉතාම සරළ සුගම බස් වහරක් මඟින් ඉදිරිපත් කිරීමට ඔහු හැකියාවයි. තිඹිරිගෙයි සිට සුසානය දක්වා ජීවිතයේ එක් එක් අවධීන් පිළිබඳව ඇති සංකීර්ණ සමාජ යථාර්ථය ඉතාමත් සංයමයෙන් රූපකාර්ථ සහිතව ”සන්නාලියනේ” ගීතයෙන් ඔහු ඉදිරිපත් කරයි. මෙය සරෝජිනී නායිදු විසින් රචිත “Golden Threshold” කෘතියේ “Folk Songs” යටතේ දක්වා ඇති “Indian Weavers” නැමති කවි පංතිය ලංකාවට අනන්‍ය වශයෙන් ඉදිරිපත් කිරීමට සේකර ගනු ලැබූ උත්සහයක් සේ සිතිය හැක.

ග්‍රාමීය ජන සංස්කෘතිය ඔවුන්ගේ ඇවතුම් පැවතුම් සිතුම් පැතුම් නාගරික සංස්කෘතිය මඟින් අන්තර්ග්‍රහණය කර ගන්නා ආකාරය සේකර ගැටවරයෝ චිත්‍රපටයට ලියන ලද ”ආරිච්චි බෝරිච්චි” ගීතය මඟින් සාකච්ජා කරනු ලබයි. එය නිරන්තරව පර්යේෂණ කරමින් සිය භාෂා මෙවලම භාවිතා කරන බව‌ට කදිම නිදසුනකි.

එමෙන් ම සේකරගේ කවි සහ ගේය පද රචනා මුළුමනින්ම එකිනෙකට වෙනස් ආකෘතීන් ගනු ලැබේ. අනායාසයෙන් ගලා එන සාහිත්‍යානුරූපී බස් වහර ඔහුගේ ලේඛණ ශෛලිය තුළ දක්නට ලැබේ. ඔහු හැම විට සිය පෑන මෙහෙයවනු ලැබුවේ පරමාදර්ශී සමාජයක් වෙනුවෙනි. සේකර පරමාදර්ශී කොට ගෙන ඔහු වටා අංකුර කවීන් රැසක් ගොඩ නැගෙන්නට පුධානතම හේතුවද මෙම කාව්‍ය ශෛලියයි. කවිකමයි.

ගී මීවිතෙන් හදවත සනහා මූර්තියෙන් සිතුවමින් තිර රචනයෙන් හා අධීක්ෂණයෙන් කාලය හා අවකාශය අතර චරිත පනගන්වා මළ හිරු බසිනා සැන්දෑ යාමයක අද මෙන්ම හෙටත් වියෝවිත සේකරගේ ජීවමාන කවි අප රස විඳින්නෙමු. ලෝකය මීට වඩා කෙදිනක යහපත් වේදැයි අප නොදනිමු. එනමුත් ඔහුගේ නිර්මාණ බොහෝ ආදරයෙන් අප කියවමින් හිඳින්නෙමු. අවසන ඔහු නිරන්තරව ප්‍රර්ථනා කළ මරණය තුළ කණකොක් තටුවේ සුදුමැලි සළුදරා ඔහුට සුවසේ නිදන්නට හැකිවේවා යැයි පතන්නෙමු.

  • SM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.