*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ආර්ථික අර්බුදයේ ඓතිහාසික සම්භවය (දහවන කොටස)

මෙය මෙම ලිපි මාලාවේ පළමු අදියරේ අවසන් ලිපියයි. ඉන් පසුව, දෙවන අදියරේ ලිපිද කොටස් වශයෙන් පළ කිරීම අපේක්ෂාවයි. පළමු අදියරෙහි අප විස්තර කරන්නේ ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයෙහි ඓතිහාසික මූලයන් පිළිබඳවයි. දෙවන අදියරෙන් අප මෙම අර්බුදයේ වත්මන් තත්ත්වය විග්‍රහ කරනවා. විසඳුම් ගැන කතා කෙරෙනු ඇත්තේ තෙවන අදියරෙහිදී.

ලංකාවේ ආර්ථික අර්බුදයට මුල් වූ පාදක හේතුව රාජ්‍ය අයවැය හිඟය බවත්, එය නිදහස ලැබූ තැන් පටන්ම වර්ධනය වූ හිඟයක් බවත්, රට පාලනය කළ හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් ප්‍රශ්නයට දායක වී ඇති බවත් අප දැනටමත් දන්නවා. කෙසේ වුවත්, රාජ්‍ය අයවැය හිඟය සමඟ ලංකාව විශාල කාලයක් ඉදිරියට ගියා. වත්මන් ආර්ථික අර්බුදයට රාජ්‍ය අයවැය හිඟයේ දායකත්වය අමතක කළ නොහැකි වුවත්, එය ආසන්න හේතුව නෙමෙයි. ආසන්න හේතුව දළ වශයෙන් 2010 වසරේදී ලංකාව ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේයැයි කිව හැකි පොන්සි ක්‍රීඩාවයි.

ලිපි මාලාවේ පළමු අදියර අවසන් කිරීමට පෙර අපි මේ පොන්සි ක්‍රීඩාව හොඳින් අවබෝධ කර ගනිමු.

පහත වගුවෙහි පෙන්වා තිබෙන්නේ 2021 තෙවන කාර්තුව අවසානයේදී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයයි. මෙම ණය වලට රුපියල් ණය මෙන්ම ඩොලර් ණයද ඇතුළත්. සංසන්දනය කිරීමේ පහසුව පිණිස සියළුම ණය රුපියල් වලින් මෙන්ම ඩොලර් වලින්ද පෙන්වා තිබෙනවා.

ඉහත සංඛ්‍යාලේඛණ අනුව ලංකාවේ රාජ්‍ය ණය වලින් විදේශ ණය තිබෙන්නේ 37.9%ක් පමණයි. ඉතිරි 62.1% දේශීය ණය. කෙසේ වුවත්, විදේශයන්ට ණය වී තිබෙන්නේ ලංකාවේ රජය පමණක් නෙමෙයි. පහත පළ කෙරෙන ඊළඟ වගුව දෙස බැලූ විට මේ බව පැහැදිලි වෙනවා.

ලංකාවේ සමස්ත විදේශ වත්කම් හා බැරකම් අතර වෙනස ඩොලර් මිලියන 54,012ක හිඟයක්. මේ හිඟයෙන් සැලකිය යුතු කොටසක් රාජ්‍ය ණය නෙමෙයි. කෙසේ වුවත්, වගු දෙකම එක්ව ගෙන කියවූ විට සමස්ත චිත්‍රය දැකිය හැකියි.

මධ්‍යම රජයේ දේශීය ණය එම ණය ලබාගත් මූලාශ්‍රය අනුව කොටස් තුනකට වර්ග කළ හැකියි. ඒ මහ බැංකුවෙන් ලබාගත් ණය, අනෙකුත් වාණිජ බැංකු වලින් ලබාගත් ණය හා බැංකු නොවන අංශ වලින් ලබා ගත් ණය ලෙස. මෙයින් පළමු කාණ්ඩ දෙක උද්ධමනාත්මක මූලාශ්‍ර.

රජයට ණය දෙන මේ කණ්ඩායම් තුනම මේ වන විට ශුද්ධ වශයෙන් ලෝකයට ණයයි. අර කපුගේ කියන්නේ “පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය” කියලා. ඒ වගේ, ලංකාවේ මධ්‍යම රජය දේශීය ණය ලබා ගන්නා මූලාශ්‍ර තුනම මේ වෙද්දී ශුද්ධ වශයෙන් ලෝකයට ණයකරුවෝ. ඉතිං මහ බැංකුවට වුනත්, අනෙකුත් බැංකු වලට වුනත්, රටේ අනෙකුත් අංශ වලට වුනත්, රජයට තවත් ණය දෙන්න වෙන්නේ ලෝකයට තවත් ණය වෙලා. එහෙම නැත්නම් මුදල් සැපයුම වැඩි කරලා.

මහ බැංකුවෙන් පටන් ගනිමු. පසුගිය වසරේ තෙවන කාර්තුව අවසන් වෙද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟය (ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය) ඩොලර් මිලියන 747ක්. මහ බැංකුව රජයට දී තිබෙන ණය වල ඩොලර් අගය මිලියන 9,166ක්. ඒ කියන්නේ මහ බැංකුව විසින් තමන් සතු මුළු සේසතම රජයට ණයට දීලා තවත් ඩොලර් මිලියන 747ක් ණයට අරගෙනත් දීලා තියෙනවා. මෑතකදී අත්සන් කළ විණිමය හුවමාරු ගිවිසුම් ආදිය තියෙන්නේ ඔය ගොඩේ. රජය බේරගන්න ගිහින් දැන් මහ බැංකුවත් ලෝකයට ණයකරුවෙක්!

වාණිජ බැංකු දිහා බැලුවත් දැකිය හැක්කේ ඔය කතාවමයි. වාණිජ බැංකු වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 3,998ක්. වාණිජ බැංකු වලින් රජයට දී තිබෙන ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 19,806ක්. ඔය ණය වලින් කොටසක් වාණිජ බැංකු විසින් රජයට ලබා දී තියෙන්නේ ලෝකයට ණය වෙලා. ලංකාවේ වාණිජ බැංකු විසින් ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ආදිය තිබෙන්නේ ඔය ගොඩේ.

අනෙකුත් අංශ දිහා බැලුවත් කතාව ඕකමයි. අනෙකුත් අංශ වල ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 19,110ක්. ඇත්තටම ඔය ණය වලින් සැලකිය යුතු කොටසක් රජයටම සම්බන්ධ ආයතන වල විදේශ ණය. ඒ ප්‍රමාණය වෙනම හොයා ගන්න නැති නිසා, අපි මුළු ණය ප්‍රමාණයම ගත්තත්, අනෙකුත් අංශ වලින් රජයට දී තිබෙන ණය වල ඩොලර් වටිනාකම මිලියන 23,887ක්.

දැන් පැහැදිලියිනේ කතාව. ලංකාවේ සන්දර්භයේ රටේ කවුරු හෝ විසින් ලබාගත් විදේශ ණය අවසාන වශයෙන් වියදම් කර තිබෙන්නේ රජය විසින්. සංඛ්‍යාලේඛණ වල තිබෙන රජයේ දේශීය වලින් සැලකිය යුතු කොටසක් වක්‍ර ලෙස විදේශ ණයම තමයි.

පසුගිය වසරේ තෙවන කාර්තුව අවසන් වෙද්දී ලංකාවේ සමස්ත විදේශ බැරකම් ප්‍රමාණය වන ඩොලර් මිලියන 54,012 මධ්‍යම රජයේ ණය වලින් 63.5%ක්. මේ ප්‍රතිශතය සංඛ්‍යාලේඛණ වල දැකිය හැකි දේශීය ණය ප්‍රතිශතය වන 37.9%ට වඩා ගොඩක් වැඩියි. ඉතිරි කොටසත් මෑත කාලයේදී උද්ධමනාත්මක මූලාශ්‍ර වලින් ලබාගත් ණය. ඒ කියන්නේ අච්චු ගැසූ හෝ මවනු ලැබූ සල්ලි.

දැන් මෙයින් කියැවෙන කතාව කුමක්ද?

ලංකාවේ රජය විසින් මේ ආකාරයෙන් අත දිග හැර වියදම් කර තිබෙන්නේ රට තුළ කිසිදා නූපයූ ආදායම්. එක්කෝ රටේ කවුරු හෝ විසින් ගත් විදේශ ණය. එහෙම නැත්නම්, අච්චු ගහපු සල්ලි. හැබැයි මේ සල්ලි වැය කර තිබෙන්නේ කවුරු හෝ විසින් නිපදවූ දේවල් මිල දී ගෙන පරිභෝජනය කරන්න. ඒ වෙනුවෙන් කිසිදා නොගෙවූ මිල කවදා හෝ ගෙවන්නම වෙනවා. ලොතරැයි ක්‍රීඩාවක ජයග්‍රාහකයෝ පමණක් ඉන්න බැහැ!

මේ තත්ත්වය අහම්බයක් නෙමෙයි. සැලසුමක කොටසක්. ඕක තමයි 2010 සිට ලංකාවේ සාර්ව-ආර්ථික ආකෘතිය. නැති සල්ලි වියදම් කිරීම හා ඒ ණය ගෙවන්න වෙද්දී ඊටත් වඩා වැඩියෙන් නැති සල්ලි වියදම් කිරීම. ලෝකයට සාපේක්ෂව ලංකාවේ ආර්ථිකය ගොඩක් පොඩි නිසා ඔය වගේ පොන්සි ක්‍රීඩාවක් යම් කාලයක් කරන්න පුළුවන්.

මෙහිදී මේ පොන්සි ක්‍රීඩාව ආරම්භ වුනේ 2010දී කියා නිශ්චිත ලෙස කියන්නේ කොහොමද? ලංකාවේ රාජ්‍ය අයවැය හිඟය නඩත්තු වුනේ නිදහස ලැබූ තැන් සිට. ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියේ 1964දී. එතැන් සිටම ලංකාවට ගෙවුම් ශේෂ අර්බුද ආවා. හැබැයි 2010 වන තුරුම මෙය අනිවාර්යයෙන්ම බිඳ වැටෙන පොන්සි ක්‍රීඩාවක තත්ත්වයට පත් වුනේ නැහැ.

පහත රූප සටහනෙහි පෙන්වා තිබෙන්නේ 1960 සිට ලංකාවේ රාජ්‍ය ණය හා විදේශ ණය ඉහළ ගිය ආකාරය. මේ විදේශ ණය සියල්ලම සෘජු ලෙස රජයේ ණය නොවූවත්, වක්‍ර ලෙස රජයේ ණයම බව මම මදකට පෙර පැහැදිලි කළා. සියලුම සංඛ්‍යා තිබෙන්නේ 2020 ඩොලර් වලින්. ඒ නිසා, කාලයත් සමඟ මුදල් ඒකක වල අගය වෙනස් වීමේ බලපෑමක් මෙහි පෙන්වන්නේ නැහැ.

මම හිතන්නේ රූප සටහන දෙස බැලූ විට 2010න් පසුව 2011 වසරේදී එක වර සිදු වන වෙනස හඳුනා ගන්න අපහසු නැහැ. 1980-1987 කාලය තුළත් ශුද්ධ විදේශ බැරකම් ඉහළ යනවා. එහෙත් මේ කාලය නැවත ආපසු නොයන දිගුකාලීන ආයෝජන රටට පැමිණි කාලයක්. එම ආයෝජන වලින් රට තුළ ඩොලර් උල්පත් හැදෙනවා. ඒ නිසා, 1987න් පසුව රටේ ශුද්ධ විදේශ බැරකම් දිගින් දිගටම ඉහළ යන්නේ නැහැ. 2006 වසර පමණ දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි.

ලංකාවේ පළමු ස්වෛරිත්ව බැඳුම්කරය හරහා ඩොලර් මිලියන 500ක් හොයාගෙන ඩොලරයේ මිල පාලනය කරන්න පටන් ගත් 2007න් පසුව 2008දීත්, දෙවන ස්වෛරිත්ව බැඳුම්කරය හරහා ඩොලර් මිලියන 500ක් ලබාගත් 2009න් පසුව 2010දීත් රටේ ශුද්ධ විදේශ බැරකම් යම් තරමකින් ඉහළ යනවා. එහෙත්, ලොකුම වෙනසක් දැකිය හැක්කේ 2010දී ඩොලර් බිලියනයක තෙවන ස්වෛරිත්ව බැඳුම්කරය නිකුත් කිරීමෙන් පසුව 2011දීයි.

එම වසර තුළ ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය 2020 ඩොලර් වලින් මිලියන 12,817 සිට 24,757 දක්වා දෙගුණයකින් ඉහළ යනවා. නාමික ඩොලර් වලින් බැලුවොත් 2010 අවසානයේදී මිලියන 12,817ක් වූ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 25,718 දක්වා ඩොලර් මිලියන 12,900කින් වැඩි වීමක්. ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කර ණය ගනිද්දී ඩොලර් බිලියන 13කින් පමණ රටේ විදේශ ණය වැඩි වුනේ කොහොමද?

මේක තමයි පොන්සි ක්‍රීඩාව. එහෙම නැතුව මේක ගත්ත ණය ඵලදායී ලෙස ආයෝජනය නොකිරීමේ හෝ හොරකම් කර ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්න කොහොමටත් තිබෙනවා. නමුත්, මේ හිරවීම හිර වුනේ පොන්සි ක්‍රීඩාවක් පටන් ගත් නිසා. ප්‍රශ්නය ගොඩින් බේරාගෙන “වේදනාවක් නැතිව” ගැලවෙන්න අමාරු ඒ නිසයි. මොකද ලොතරැයි ක්‍රීඩාවක පරාජයන් නැතිව ජයග්‍රහණ පමණක් තියෙන්න බැහැ. මේ තත්ත්වය නිවැරදිව තේරුම් නොගෙන අවුල ලෙහන්න බැහැ.

ඉහත පෙන්වා තිබෙන්නේ 2006-2020 අතර ලංකාවේ විණිමය අනුපාතය කළමනාකරණය කළ ආකාරය. 2007 වන තුරු පුළුවන් තරම් කාලයක් මෙය රුපියල් 107 පමණ මට්ටමක තියාගෙන හිටියා. මේ විදිහට විණිමය අනුපාතය එක තැන තියා ගෙන ඉඳිද්දී සංචිත හිඳෙනවා. සංචිත හිඳෙද්දී ඩොලරය එම මට්ටමේ තියාගෙන ඉන්න බැරි වුනා.

ඉන් පසුව, 2007දී පළමු ස්වෛරිත්ව බැඳුම්කරයෙන් ඩොලර් මිලියන 500ක් හොයාගෙන කොහොම හරි ඩොලරය රුපියල් 113 මට්ටමේ හිර කර ගත්තා. ඉන් පසුව, 2011 වන තුරුම ඩොලරය නිදහස් කළේ නැහැ. ඔය කාලය තුළ ස්වෛරිත්ව බැඳුම්කර හරහා තවත් ඩොලර් මිලියන 1,500ක් ගන්න වුනා. හැබැයි ඩොලරය 113 මට්ටමේ තියා ගත්තේ ඒ සල්ලි වලින් නෙමෙයි. ඩොලර් මිලියන 1,500කින් එවැන්නක් කරන්න බැහැ.

මේක කළේ අර මම කියපු පොන්සි ක්‍රීඩාව හරහා. රුපියල ඩොලරයට සාපේක්ෂව 3.00%කින් අධිප්‍රමාණය වූ 2010 වසර මෙහිදී විශේෂයි. මින් පසු රුපියල තව දුරටත් දිගින් දිගටම අවප්‍රමාණය නොවන බවත්, එය අධිප්‍රමාණය වනු ඇති බවත් මේ කාලයේදී මහ බැංකු අධිපතිවරයා කෙළින්ම කිවුවා. එවැන්නක් වෙළඳපොළට ලබා දෙන සෘජු සංඥාවක්. කිවුවා වගේම මහ බැංකුව මෙය කරලත් පෙන්නුවා.

මේ කාලයේදී රුපියල් වලින් ලංකාවේ ආයෝජනය කරන කෙනෙකුට අවදානමක් නැතිව 8%ක පමණ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්කම තිබුණා. ඩොලර් රුපියල් කර ආයෝජනය කරන කෙනෙකුට තවත් 3%ක් ලැබෙනවා. එතකොට 11%ක්. ඔය කාලය වන විට ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලිය 0.3%කටත් වඩා අඩුයි. ඒ කියන්නේ පොලියක් නැහැ වගේ. යුරෝපයේ තත්ත්වයේ වුනත් වැඩි වෙනසක් තිබුණේ නැහැ. එහෙම තියෙද්දී 11%ක ප්‍රතිලාභයක් ලැබෙන තැනකට සල්ලි ගේන්නේ නැත්තේ කවුද?

රුපියල කඩා වැටීමේ අවදානමක් මෙතැන තිබුණා තමයි. හැබැයි 11%ක් ලැබෙද්දී ඒ අවදානම ගන්න ගොඩක් අය බය වෙන්නේ නැහැ. මේ කිවුවේ විදේශිකයන්ගේ පැත්තනේ. ලංකාවේ බැංකු වල පැත්තෙන් තත්ත්වය කොහොමද?

ඇමරිකාවේ හා යුරෝපයේ තැන්පතු වලට බැංකු පොලියක් ගෙවන්නේම නැති තරම් නිසා ලංකාවේ බැංකු වලට 2-3%ක පොලියක් ගෙවලා පහසුවෙන් ඩොලර් වලින් ණය ගන්න පුළුවන්. ණය ගැනීම කියා කිවුවේ ඩොලර් ගිණුම් වලට තැන්පතු එක්රැස් කර ගැනීම ගැනයි. ඊට පස්සේ ඒ ඩොලර් රුපියල් කරලා 8% පොලියට භාණ්ඩාගාර බිල්පත් වල දාලා 5-6%ක ලාබයක් ලබන්න පුළුවන්. තැන්පතු ආපසු ගෙවද්දී 3%ක් අඩුවෙන් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් නිසා ලාබය 8-9% තරම් ඉහළයි. ණයට ගන්න ඩොලර් රුපියල් කරලා පෞද්ගලික අංශයට ණය විදිහට දුන්නොත් තවත් ලාබයි. විදේශ බැංකුවකින් ණය ගන්න පුළුවන් ව්‍යාපාරිකයෙකුට වුනත් මේ වාසියම තියෙනවා.

දැන් මහ බැංකුව විසින් ලංකාවේ වාණිජ බැංකු විසින් හා පුළුවන්කමක් තිබෙන අනෙක් සියලුම ආයතන හා පුද්ගලයින් විසින් ණයට ඩොලර් ගැනීමට පොළඹවන වාතාවරණයක් හදලා. ඒ වගේම විදේශිකයින් ඩොලර් ලංකාවට ගෙනත් රුපියල් වලින් ආයෝජනය කරන වාතාවරණයක් හදලා. ඔය ක්‍රම දෙකටම රටට ඩොලර් එද්දී විණිමය අනුපාතය නිකම්ම පහළ වැටෙනවා. 2011දී ලංකාවේ ශුද්ධ විදේශ බැරකම් දෙගුණ වුනේ ඔය ක්‍රමයටයි.

ප්‍රශ්නය තියෙන්නේ මේ විදිහට රටට එන හැම ඩොලරයක් වෙනුවෙන්ම 10%ක පමණ අමතර ඩොලර් ප්‍රමාණයක් වාර්ෂිකව රටින් එළියට යා යුතු වීමයි. විණිමය අනුපාතිකය නොවෙනස්ව තිබෙන තාක් මේ විදිහට එකතු වන ප්‍රතිලාභ නැවත නැවත රට ඇතුළේම ආයෝජනය වෙනවා. ඒ ඩොලර් වලටත් පොලිය හැදෙනවා. ඒ නිසා, එසේ එළියට යා යුතු ඩොලර් ඇත්තටම රටේ නොතිබීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ඩොලර් විදේශිකයන්ගේ වත්කම් ලෙස ගිණුම් වල තිබෙනවා. නමුත්, ඔවුන්ට රටින් පිටට ගෙන යා හැකි පරිදි ඇත්තටම රටේ ඩොලර් නැහැ. සියළුම ගිණුම් හිමියෝ එකවර බැංකුවට ගියොත් දෙන්න සල්ලි බැංකුවක නැහැ වගේ.

පොලී ආදායම් හා රුපියල අධිප්‍රමාණය වීමේ ප්‍රතිලාභ ලෙස විදේශිකයන් ලංකාවෙන් උපයන ඩොලර් ගිණුම් වල සටහන් වුනත් ඒ ඩොලර් කොහෙන්වත් රටට එන්නේ නැහැනේ. රට ඇතුළේ රුපියල් මිසක් ඩොලර් අච්චු ගහන්නත් බැහැ. ඒ නිසා, රටේ විදේශ ණය වලින් කොටසක් ආපසු ගෙවිය හැක්කේ තවත් ණය අරගෙනම පමණයි. මේ කොටස ආපසු ගෙවිය හැකි වෙනත් ක්‍රමයක් නැහැ.

එහෙමනම්, අඩු වශයෙන්, රටට පැමිණි ඩොලර් ආපසු ගෙවිය හැකි ලෙස රටේ ඉතිරි වෙනවද?

විණිමය අනුපාතය හිර කරගෙන සිටිද්දී, රටට එන ඩොලර් රටේ ඉතිරි වෙන්නෙත් නැහැ. මේ සන්දර්භයේදී ඩොලර් ණයට ගන්න කෙනෙක් එය කරන්නෙම ඩොලර් රුපියල් කරන්න බලාගෙන. ඩොලර් විදිහටම තියා ගත්තොත් අතින් පාඩුයි. මොකද රුපියලට සාපේක්ෂව ඩොලර් එක බහිනවා. ඒ නිසා, ඩොලර් අතේ තියෙන අය ඒ ඩොලර් කීයකට හෝ විකුණලා දමනවා. සමතුලිතතාවයක් ඇති වෙන්නේ මේ ඩොලර් මොන ක්‍රමයකින් හෝ රටින් එළියට ගියොත් පමණයි. ඒ නිසා, අනිවාර්යයෙන්ම ආනයන ඉහළ යනවා.

සෛද්ධාන්තිකව සිදු විය යුතු මේ ආනයන ඉහළ යාම ප්‍රායෝගිකවද සිදු වී ඇති බව සංඛ්‍යාලේඛණ වලින් පැහැදිලිව පෙනෙනවා. 2009දී ලංකාවේ ආනයන වියදම ඩොලර් මිලියන 10,207 පමණයි. 2010 වෙද්දී මෙය ඩොලර් මිලියන 13,451ක් වෙනවා. 2011 වෙද්දී ඩොලර් මිලියන 20,269ක් දක්වා ඉහළ යනවා. මේ විදිහට දෙවසරක් තුළ ලංකාවේ ආනයන වියදම දෙගුණ වෙන්නේ කොහොමද?

මේක වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රුචිකත්වය එක රැයකින් වෙනස් වූ නිසා හෝ දේශීය නිෂ්පාදන වලට තැන නොදීම නිසා හෝ නෙමෙයි. මම විස්තර කරපු පොන්සි ක්‍රීඩාව නිසා. 2011 වසර තුළ රජයේ විදේශ ණය ඩොලර් මිලියන 2,203කින් ඉහළ යද්දී රටේ ශුද්ධ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 12,900කින් වැඩි වෙන්න හේතු වෙන්නෙත්, ඊට සමානුපාතිකව ආනයන ඉහළ යන්නේත් ඔය පොන්සි ක්‍රීඩාව නිසා.

අන්තිමට රටට කිසිදා නොආ, එහෙත් ලංකාව විසින් ගෙවිය යුතු, ඩොලර් ප්‍රමාණය වගේම රටට පැමිණි ඩොලර් ටිකත් රටේ නැහැ. ඒ ඩොලර් ආනයන වෙනුවෙන් වැය වෙද්දී රටේ අපනයන කර්මාන්ත වර්ධනය අඩාල වී ඒ හරහා ලැබෙන්න තිබුණු ඩොලර් ප්‍රමාණයකුත් අහිමි වෙලා. ඔය දේවල් වෙද්දී මහ බැංකුව කොච්චර කිවුවත් ලංකාවට විණිමය අනුපාතය ස්ථිරව තියා ගන්න කොහොමටවත් බැහැ කියන එක මේ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනෙකුට පැහැදිලි වෙනවා. එවිට ඔවුන් කරන්නේ වහාම තමන්ගේ ඩොලර් රටින් ඉවත් කර ගැනීමයි. ඒ ඩොලර් රුපියල් කරලානම් ඉතා ඉක්මණින් නැවත ඩොලර් කරගෙන රටින් ඉවත් කර ගන්නවා. මෙහිදී ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා.

ලංකාවට 2012දී මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වුනා. ඉතා කෙටි කලක් තුළ ඩොලරයේ මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. රුපියල් 113 මට්ටමේ වසර හතරක් පමණ රඳවාගෙන සිටි ඩොලරයේ මිල රුපියල් 130 මට්ටමට වැටුණා. හැබැයි පරණ සෙල්ලම නැවතුනේ නැහැ. එය නැවත පටන් ගත්තා. පොන්සි ක්‍රීඩකයෝ නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වුනා.

වසර තුනක් ගොස් 2014 වන විට මේ සෙල්ලම නැවතත් දුරදිග ගිහින්. රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණය අවසන් වන තුරු කොහොම හරි අල්ලාගෙන හිටියා. විණිමය අනුපාතය අවප්‍රමාණය වුනේ මැතිවරණයෙන් පසුව 2015දී. එවර ඩොලරය රුපියල් 145 පමණ මට්ටමකට ගියා.

යහපාලන ආණ්ඩුව මේ පොන්සි ක්‍රීඩාවෙන් ඉවත් වුනාද? ඒ වෙද්දී මෙය කොටි වලිගයක් වී අවසන්. යහපාලන ආණ්ඩුව පොඩ්ඩක් පරිස්සමෙන් ක්‍රීඩා කළත් ක්‍රීඩාව අත ඇරියේ නැහැ. ස්වෛරිත්ව බැඳුම්කර විකුණමින් ණය ගැනීම් දිගටම සිදු වුනා. ඩොලරයේ මිල 150 මට්ටමෙහි තවත් කාලයක් නඩත්තු කෙරුණා. දිගින් දිගටම වෙළඳපොළපොළට ඩොලර් පොම්ප කෙරුණු නිසා ආනයන අඩු වුනේ නැහැ. 2018දී නැවතත් හිරවුනා. ඩොලරය කෙටි කාලයක් තුළ රුපියල් 180 මට්ටමට ගියා. ඉන් පසුව, රුපියල් 180 සීමාවේ ක්‍රීඩා කරමින් සිට බෝලය මේ ආණ්ඩුවට පාස් කළා. දැන් මේ ආණ්ඩුව රුපියල් 200 සීමාවේ ක්‍රීඩා කරනවා. ක්‍රීඩාව දිගටම කරගෙන යාම සඳහා අළුත් ක්‍රීඩකයින් හොයනවා.

ලංකාවේ විනිමය ප්‍රතිපත්ති පොන්සි ක්‍රීඩාව තුළ ක්‍රීඩකයෙකුට හඳුනා ගත හැකි පැහැදිලි රටාවක් තිබෙනවා. ඒ නිසා, ඔවුන්ට ඔවුන්ගේ අවදානම කළමණාකරණය කරගෙන දිගටම ක්‍රීඩා කළ හැකියි. රුපියල වේගයෙන් කඩා වැටී ඩොලරයක මිල ස්ථාවර වීමෙන් පසු වසර දෙක තුනක් කෙසේ හෝ එය ඒ මට්ටමේ තියා ගන්න බව ඔවුන් දන්නවා. ඒ නිසා, ඔවුන් බය නැතුව සල්ලි දමමින් ක්‍රීඩාවට එළැඹෙනවා. රුපියල කඩා වැටීමේ අවදානම ඉහළ යද්දී ඔවුන් ක්ෂණිකව ඉවත් වෙනවා. එය කළ නොහැකි වූ අය ක්‍රීඩාවෙන් පරදිනවා. මේ ක්‍රීඩාවට ආකර්ශනය වන්නේ සූදුවට කැමති සමපේක්ෂකයින් මිසක් සැබෑ ආයෝජකයන් නෙමෙයි. ක්‍රීඩාවේ පසුබිමේ වෙනම මානයක භූ දේශපාලනයද ක්‍රියාත්මක වෙනවා.

එජාපය හෝ සජබෙ මේ පොන්සි ක්‍රීඩාවට අකැමැති හෝ විරුද්ධ නැහැ. ඔවුන් ආණ්ඩුවට කරන විවේචනය වන්නේ ආණ්ඩුව ක්‍රීඩාව හොඳින් නොකරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම හරහා පොන්සි ක්‍රීඩාව කඩා වැටෙන දවස ප්‍රමාද කරගත හැකියි. හැබැයි මුලින් කී පරිදි, පොන්සි ක්‍රීඩාවක් දිගටම හැමදාම පවත්වා ගෙන යන්න බැහැ.

සරල විග්‍රහයක සිටින ජවිපෙට මේ කිසිවක් ගැන නිවැරදි අවබෝධයක් නැහැ. විසඳුමක් තිබිය හැක්කේ ප්‍රශ්නය ගැන අවබෝධයක් ඇත්නම් පමණයි. ප්‍රශ්නය ගැන අවබෝධයක් තිබුනත් එය ප්‍රශ්නයක් සේ නොදැකීම හෝ නොදැක්කා සේ සිටීම මේ ආණ්ඩුවේ ප්‍රශ්නයයි. එජාපය මේ ක්‍රීඩාවෙහි ප්‍රශ්න දැක්කත් සමස්ත ක්‍රීඩාවම ප්‍රශ්නයක් සේ දකින්නේ නැහැ.

මෙය මේ ලිපි මාලාවේ පළමු අදියරෙහි අවසන් මෙන්ම වැදගත්ම කොටසයි. ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කළ හැකි නමුත්, මීටත් වඩා සරලව හෝ කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි. මෙතෙක් ලියා ඇති දේ නිරවුල්ව තේරුම් ගැනීමට කාලයක් තබා අර්බුදයේ වත්මන් දිශානතිය ගැනත්, ගැලවිය හැකි ක්‍රමය ගැනත් කතා කිරීමට ප්‍රවේශ වෙමු. ඊට අමතරව, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, බලශක්තිය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර වෙන් වෙන්ව ගෙන ගැටළු හා විසඳුම් කතා කළ හැකි වුවත්, එය කළ හැක්කේ මූලික සාර්ව-ආර්ථික ගැටළු විසඳා ගෙන ආර්ථිකය හරි පාරට දමා ගැනීම සඳහා අප විසින් යෝජනා කිරීමට නියමිත ප්‍රවේශය සමඟ පුළුල් එකඟතාවක් ඇති පිරිසක් සමඟ පමණයි.

ඉකොනොමැට්ටා

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan