සංතාප ගංතෙරේ,
ඇතැම් විට සංතෝෂ ගිරි හිසේ
නිරන්තරයෙන් ඔබමොබ යනෙන
අපේ බර පා හඬ ඇසේ
මං ඔබට කියන්නම් රහසක්
පළමු සහ අවසාන හුස්ම’තර
තිබුණත් මරණ දහසක්
හිම තුහින ඉර්තුවක
කඳුළු මිදෙනා හවසක්
වසන්තය බවට හැරවීම පිළිබඳ
එක්තරා පුවතක්
ඇටමිදුළු විනිවිදින වේදනා
විඳ විඳ නිවී සැනසිල්ලේ
ගැඹුරු යැයි සිතා ගත්
තුනී හදවත මත්තෙ
මොනවද අපි නො ලිව්වේ
තුන් කාලයට ආලයෙන් බැඳි බැඳි
කොහෙද අපි ඒ දිව්වේ
කිනම් මායා කුසලානෙන් ද අපි
සත්‍යයේ මධුවිත බිව්වේ
සංකේත සංකල්පවලින් සැදි සක්වලේ
ඇවිද යන විට
සිහින මත සිහිනයකි ජීවිතේ හිම මිදුණු
ඇසි පියන් යට
සිහිනෙකට සිහිනයෙන් උරුම දෙය
අවදිවෙන එක
සිහිනයක හිම යනු ම, ගිනි දළු ය
තව කාගෙ හරි සිහිනෙක
සංතාප ගංතෙරේ,
ඇතැම් විට සංතෝෂ ගිරි හිසේ
නම් කරන ලද ඉර්තු අතරේ
සුසුම් කැටි බිඳෙන හඬ ඇසේ
ගංතෙරෙන් ගිරි හිසෙන් නැගී විත්
වලාකුළු මත වැතිරුණොත්
කුණාටුවකට වර්ණ තවරා
රෝසමල් ලෙස නම් කළොත්
සිසිරයට ඔබ කැමති පැහැ දී
වසන්තය වෙත පැවරුවොත්
කුමක් වේවි ද පාට පින්සල්
යම් දිනෙක ඔබ සතු වුණොත්
~ කල්පනා ඇම්බ්‍රෝස්


