*
Monday, May 6, 2024
spot_img

Latest Posts

රනිල්ට බැහැ කියපු රාජිත-තලතා – බැංකු පොලු මාෆියාව – ඩොලරය 274 ට? – රට ගොඩනඟන ආර්ථික වැඩපිළිවෙල – නිර්පාක්ෂික නොවී එකට යන්න පොහොට්ටුවෙන් යෝජනා – සජිත්ලා නීති මගට

  • රනිල්ට බැහැ කියපු රාජිත-තලතා
  • බැංකු පොලු  මාෆියාව
  • ලේකම් අනුර යාපා
  • ඩොලරය 274 ට ?
  • රට ගොඩනගන ආර්ථික වැඩපිළිවෙල
  • නිර්පාක්ෂික නොවී එකට යන්න පොහොට්ටුවෙන් යෝජනා
  • සජිත්ලා නීති මගට

    ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)
    නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ශ්‍රීලාංකේය දේශපාලනයේ හෙට දවසේ කුමක් වේදැයි කිවනොහැකි තත්වයක් පෙන්නුම් කරමින් තිබේ. ඒ තරමට රටේ දේශපාලන මෙන්ම ආර්ථික අස්ථාවරත්වයක් පවතී. ඒ අතරේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම හා දයා රත්නායක සමගි ජන බලවේගයට එක්වීම පසුගිය සතියේ දේශපාලන ලෝකය හොල්ලන සිදුවීම් විය. 

රටේ ජනතාවගෙන් සියයට අනුවක පමණ ප්‍රමාණයක් ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙමින් සිටින අතර ඒ අතරින් සියයට හැටක් පමණ සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකය.

ඒ සියල්ල අතරේ මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණයද නැතහොත් මහා මැතිවරණයද යන්න තීරණය කර ගත නොහැකි තරමට දේශපාලන ක්ෂේත්‍රය ව්‍යාකූල  තිබේ.
                                         

රනිල්ගේ කල් ගැනීම ….

රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා තවමත් තමන් මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේද නැද්ද යන්න රටේ ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.මේ හේතුවෙන් වැඩිම කලබලයට පත්ව සිටින්නේ වර්තමාන ආණ්ඩුවේ ඇමති මණ්ඩලයයි. මේ නිසා ඔවුන් විවිධාකාර සන්ධාන හදන්නටත් , ඒ ඒ සන්ධාන යටතේ එක්වන්නටත් සාකච්ඡා පවත්වමින් සිටිති. දේශපාලනයේ රැඳෙන්නට නම් පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණය තරග කරන්නට  ශක්තිමත් පක්ෂයක් අවශ්‍යයවේ. එම මැති ඇමතිවරුන්ගේ පැත්තෙන් ගත් විට දේශපාලනය ඔවුන්ගේ රැකියාව බැවින් ඔවුන්ගේ වරදක්ද නොමැත.

එසේම දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන්ද නොමැති බැවින් එසේ එක්වන්නට බාධාවක්ද නොමැත.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර පාර්ලිමේන්තුව පෙබරවාරි 07 වැනිදා විවෘත කර නව සැසිය ආරම්භ කර රාජාසන කතාව පවත්වද්දී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇති බව පැවසේ. එදිනට කිසියම් පිල්මාරුවක් සිදුවනු ඇති කතාබහක් පවතී. එසේ වන්නේ නම් ඒ සමගම කැබිනට් සංශෝධනයක් සමගම විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වන කීපදෙනෙකුට හා පොහොට්ටුවේ කීපදෙනෙකුට කැබිනට් ඇමති ධුර ලැබෙන බවද දැනගන්නට තිබේ.

ඩොලරය අඩුවෙයි ? බඩු මිල – බදු අඩුවෙයි ?

කෙසේ වෙතත් සමහරුන් පවසන්නේ ඒ සඳහා අප්‍රේල් මාසය දක්වා ජනාධිපතිවරයා කල් ගනු ඇති බවය. ජනාධිපති රනිල් හා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදීද මේ සම්බන්ධයෙන් කතා කර තිබේ.  IMF මීළඟ වාරිකය ලැබුණු පසු ඩොලරය රුපියල් 274 ක සීමාවට එනු ඇතියි ආණ්ඩුව අපේක්ෂා කරන බව සඳහන්ය. එවිට යම් යම් බදු සහන ලබාදී බදු මිලද අඩු කර මැතිවරණයකට යාමේ අදහසක්ද ආණ්ඩුවට ඇති බව පැවසේ. මෙහිදී ඉහල වැටුප් ලබන පිරිස් වලට පනවා ඇති බදු අඩු කරන්නට නියමිතය.

රනිල් ආණ්ඩුවේ පක්ෂ කැඳවලා

එසේම ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක්  පසුගියදා පවත්වා තිබේ.ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අනෙකුත් පක්ෂ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් මෙම හමුව සඳහා සහභාගි වී ඇත.එහිදී ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් විමසා තිබේ.එහිදී පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන්ට ජනාධිපතිවරයා සමග තනිව සාකච්ඡාවක් අවශ්‍ය බවය.

එසේම පොදු ජන පෙරමුණේ සහාය ජනාධිපතිවරණයට ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දන්වා තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයාට  එම පිරිස පවසා තිබේ. දැනට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඉදිරි දින වලදී යලිත් ශ්‍රීලංකාවට පැමිණීමට නියමිතය.

යනවා නම් එකට යමු – පොහොට්ටු මන්ත්‍රී පිරිසක් කියලා

මේ අතර පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඍජු තීරණයක් ගත යුතු බවය. එනම් ජනාධිපතිවරයා පොදු ජන පෙරමුණ සමග ඍජුව කටයුතු කල යුතු බවය.එහෙත් ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නටය. එහෙත් එවැන්නකට පොහොට්ටුවේ සහය ගැනීම එතරම් පහසු නොවනු ඇත. රනිල්ට සහය දීම ගැටළුවක් නොවුනත් පොහොට්ටු පාක්ෂිකයන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමේදී නිර්පාක්ෂික ජනාධිපතිවරයකු සමග එය කිරීම පහසු නොවන බව පොහොට්ටුව දනී.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාටද හිතවත් ඇතැම් පොහොට්ටු මැති ඇමතිවරු පවසන්නේ පක්ෂයක් ලෙස සම්බන්ධ වුවහොත් මිස තනි තනි මන්ත්‍රීවරුන්ගේ  සහයෝගයා ගැනීම තුල ජනාධිපතිවරයාට පොහොට්ටු පාක්ෂිකයන්ගේ ඡන්ද ලැබීම සැකසහිත බවය. සාමාන්‍ය  මන්ත්‍රීවරු  සමග විශාල ඡන්ද පදනමක් නොමැති බවත් එවැනි ජන පදනමක් ඇත්තේ කීපදෙනෙකුට පමණක් බවත් මේ පිරිස පෙන්වා දී තිබේ. කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අපේක්ෂකයෙකුට පොහොට්ටුවේ සහය හිමිවන්නේ නම් පොහොට්ටුවේ කොටසක් කදීයාම වැළක්විය නොහැක. ඒ ප්‍රසන්න,කාංචන,ප්‍රමිත,සේමසිංහ,දිලුම් ,චානක,කනකආදී ඇමතිවරුන් ගොන්නක් දැනටමත් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග නිසාය.

කෙසේ වෙතත් ලන්සා කණ්ඩායමේ පිරිස ජනාධිපතිවරයාට පවසා  ඇත්තේ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම කටයුතු කරන්නේ නම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදිය යුතු බවය. ඒවට මුස්ලිම් හා දෙමල ඡන්ද ආකර්ෂණය කර ගැනීම පහසු බවද මොවුන්ගේ මතය වී තිබේ.

එජාපය මැතිවරණ මෙහෙයුම් කමිටුව පත් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා, එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකර ඇත.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, පක්ෂයේ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් හා කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් යන මහත්වරුන් පත් කර තිබේ.

සියයට පනහක් තවමත් අවසන් තීරණයක් නැහැ ….

මේ වන විට රටේ දේශපාලන මත වෙනස් වෙමින් පවතී. සමීක්ෂණ වාර්තා එන්න එන්නම වෙනස් වෙමින් පවතී.

මේ අතර දැනට රටේ තවමත් කුමන පක්ෂයකට ඡන්දය දෙන්නේදැයි නිසි තීරණයක් නොමැති සියයට පනහක පමණ පිරිසක් රටේ සිටින බව සමීක්ෂණ වලදී හෙළිවී තිබේ. එම නිසා නිසි වැඩපිළිවෙලක් සහිත ප්‍රයෝගික පුද්ගලයෙකුට තවමත් අවස්ථාවක්  රටේ තිබේ. එහෙත් එය ප්‍රයෝගික වැඩපිළිවෙලක් විය යුතු අතර තවත් අත්හදා බැලීම්වලට ජනතාව සුදානම් නොමැත.

රටට ආර්ථික වැඩපිළිවෙලක් තවමත් නැහැ ….

දේශීය ආර්ථිකය ශක්තිමත් කරන ගම්බද ආර්ථිකය ශක්ත්මත් කරන වැඩපිළිවෙලක් තවමත් නිසි ආකාරයකින් රටට ඉදිරිපත්ව නොමැත. රටට ඩොලර් ගෙන එන අතරේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් අවශ්‍යවේ. ඒ සඳහා ලොව වෙනත් රටවල සාර්ථකව ක්‍රියාත්මක වන නිෂ්පාදන ගම්මාන ක්‍රියාවලිය වැනි සාර්ථක ව්‍යාපෘති රටපුරා ඇති කල යුතුය.ඒ හරහා ගම්වල ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ආදායමක් ලැබෙන අතරේ ඔවුන් රටේ සංවර්ධනයේ හවුල්කරුවන් බවට පත්කළ යුතුව තිබේ. ජනාවට සහනාධාර ලබාදීමට වඩා ඔවුන්ව නිසි නිෂ්පාදන ක්‍රියාවලියකට දායක කර ගැනීම තුල රටේ සමස්ත ජනතාවට එහි ප්‍රතිලාභ අත්වේ.

මේ සඳහා දැනට රටේ ලක්ෂ දහසයක් පමණ වන රජයේ නිලධාරීන්ද රජයේ පාර්ශවයෙන් සම්බන්ධ කර ගත යුතුය. දැන් සාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටින සංවර්ධන නිලධාරීන් ,කෘෂිකර්ම නිලධාරීන් , සමෘද්ධි නිලධාරීන් ඇතුළු සියලු දෙනා මේ සඳහා සම්බන්ධ කර ගත හැක. ඒ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්යංශය හා ආර්ථික සංවර්ධන , ග්‍රාමීය සංවර්ධන වැනි අමාත්‍යංශ කීපයක් එක කොට නව වැඩපිළිවෙලක් ඇති කර පුර්ණ බලතල ලබා දිය යුතුය.ඒවා සියල්ල සතිපතා සූම් තාක්ෂනය උපයෝගී කරගෙන ප්‍රගතිය සමාලෝචනය කර ගැටළු පවතී නම් ඒවාට විසඳුම් ලබා දිය යුතුය.

ප්‍රාදේශීය ලේකම්වරු , දිස්ත්‍රික් ලේකම්වරු  රැස්වීම් සඳහා රට වටේ යනවා වෙනුවට නවීන තාක්ෂණයෙන් රැස්වීම් පවත්වා කාර්යාලවල රැඳෙමින් ජනතාවට සේවය කල යුතුය. එවිට කාලය මෙන්ම මුදල්ද ,ඉන්ධන,  වාහන සියල්ල ඉතිරිවේ. අද ඉහල රජයේ සේවකයින්ට  සිදුව ඇත්තේ  රැස්වීම් වලට රට වටේ යනවා හැර මහජන සේවයට වෙලාවක් නැති කමය. ජනතා ප්‍රශ්න එක තැනය. ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන වැඩපිළිවෙලට රටේ සමස්ත රාජ්‍ය සේවය නිසි පරිදි යොදවා ගන්නේ නම් රජයේ සේවකයන් තවදුරටත් රටට බරක් නොවනු ඇත. එසේම ඒ සඳහා මුලික මට්ටමේ රජයේ සේවකයන් සඳහා හැකි සෑම අවස්ථාවකම තමන්ගේ ගම්  ප්‍රදේශයම ලබාදීම හරහා වඩාත් කාර්යක්ෂමව මේ රාජකාරි ඉටුකල හැකිවනු ඇත.

එසේම බදු එකතු කිරීම වැනි වැඩපිළිවෙල පවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සිදු කළහැකි  ක්‍රමවේද  ඇති කල හැකි අතර ඒ හරහා රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය ආදායමේද පැහැදිලි වර්ධනයක් කල හැකි වනු ඇත.

එහෙත් මේ සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල හැකි අත්දැකීම් සහිත  ප්‍රයෝගික ජනතා නායකත්වයක් රටට අවශ්‍යවේ.

මහා මැතිවරණයක් ගැන නැවතත් කතා  

මේ අතර මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයකට මුලින්ම යන්නට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවටද දේශපාලන ලෝකය පුරා රාවයක් පැතිර යමින් තිබේ. ඊට හේතුවී ඇත්තේ මුලින්ම ජනාධිපතිවරණයකට යාම දැඩි අවදානම් බව පාර්ශව ගණනාවක් විසින් සිදු කල බලපෑම් බව පැවසේ.

ඒ හරහා ජනාධිපතිවරයාට තම පක්ෂයේ පිරිසක් පාර්ලිමේන්තුවට ගත හැකි අතර ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් රටේ ඇති මතය පැහැදිලිව බලාගත හැකි වනු ඇත.

සනත් නිශාන්තගේ බිරිඳට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්

මේ අතර අභාවප්‍රාප්ත සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට එම පක්ෂයේ අවධානයට යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇත.

එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට  ඉදිරිපත් කිරීමට නියමිතව අතර මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද  ආශිර්වාදය ලැබී ඇතැයි  දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.

සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ අවමගුල් උත්සවය සඳහා පැමිණි අති විශාල  ජනකාය  දෙස බැලු විට පෙනී යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ කවර විවේචන ඔහු සම්බන්ධයෙන් එල්ල වුවද ඔහු පුත්තලම ජනතාවට  වීරයෙකු බවය.

සජබට එල්ලවූ ප්‍රහාරය

සමගි ජනබලවේගයේ  “ගහලා VAT – රටම FLAT ” සජබ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරය 30 වැනිදා කොළඹදී පැවැත්විණි.

වැට් බද්ද හා අධික ජීවන වියදම හේතුවෙන් රටේ ජනතාව පත්ව ඇති අපහසුතාව සම්බන්ධයෙන්  රජයට විරෝධය පලකිරීම සඳහා සමගි ජන බලවේගය සංවිධානය කරන ලද මෙම   උද්ඝෝෂණ ව්‍යාපාරයට   කොළඹදී පොල්ලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලදී. මේ සඳහා රට පුරා  සියලු ප්‍රදේශ වලින් සමගි ජන බලවේගයේ සාමාජිකයන් පැමිණි අතර  පැමිණීමට නියමිත අතර කොළඹ – ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක මෙහිදී සංවිධාන කටයුතු වල වැඩි බරක් දැරූහ. විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසට විහාරමහා දේවී උද්‍යානය අසලදී ජාල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලවන්නට පටන්ගත් අතර සජිත්ගේ ආරක්ෂකයෝ වහාම සජිත්ව ආරක්ෂා සහිතව ඉවතට ගෙන යන්නට කටයුතු කළහ.  ප්‍රහාර හේතුවෙන් මුජබීර් රහුමාන් ඇතුළු කීපදෙනෙක් රෝහල් ගත කරන්නටද සිදු විය.

හිරුනිකා ,නයනක ,රොහාන් ,මරික්කාර් ඇතුළු සජබ තරුණ සංවිධායකවරු ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර මධ්‍යයේ ඉදිරියට යන්නට උත්සහ දැරූහ. මෙහිදී මඩ  වතුර පහර එල්ලවූ බවද ඒ හේතුවෙන් සමේ ආසාදන පවා ඇතැමුන්ට ඇතිවූ බවටද සබජ සංවිධායකවරු පවසති.කෙසේ වෙතත් තම උද්ඝෝෂණ ව්‍යාපාරයට එල්ලවූ පොලිස් ප්‍රහාරයට එරෙහිව නීතිමය පියවර ගන්නට සමගි ජන බලවේගය කටයුතු කර ගෙන යයි. මේ අතර සමගි ජන බලවේගයේ රැස්වීම සඳහා නිසි සහයෝගයක් නොදැක්වූ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් නායකයෙකු සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට නියමිතය. පසුගිය මහා මැතිවරණයේදී පාර්ලිමේන්තු වරම් නොලද මොහුගේ ක්‍රියාකලාපය මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති අතර ඔහු වෙනුවට දිස්ත්‍රික්කයට නව නායකයකු පත් කරන්නට නියමිතය.ආසන හතක සජබ සංවිධායකවරුන් සම්බන්ධයෙන් මෙහිදී චෝදනා එල්ලවී තිබේ.

රනිල්ගේ ආරාධනාව රාජිත – තලතා ප්‍රතික්ෂේප කරලා

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි ඕස්ට්‍රේලියානු නිල සංචාරය සඳහා සහභාගී වන ලෙස සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න හා තලතා අතුකෝරල වෙත ලැබුණු ආරාධනාවන්  එම දෙදෙනා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.ජනාධිපතිවරයා වෙනුවෙන් එම ආරාධනාවන් මන්ත්‍රීවරුන් දෙදෙනා වෙත රැගෙන ගොස්  තිබුනේ ජනාධිපති පාර්ලිමේන්තු ලේකම් ආශු මාරසිංහ විසිනි. එහිදී එම දෙදෙනා පවසා තිබුනේ සජබ රැලියට ප්‍රහාර එල්ල කර පාක්ෂිකයන් රෝහල්ගත කර ඇති ආණ්ඩුවක මෙවැනි ආරාධනා පිළිගත නොහැකි බවත් තමන් ඒ සඳහා සහභාගී නොවන බවත්ය.

මේ අතර හිටපු හමුදාපතිවරයකු වන දයා රත්නායක පසුගියදා  සමගි ජන බලවේගය සමග එක්වූ අතර එට එරෙහිව සමගි ජන බලවේගයේ සභාපති  සරත්  ෆොන්සේකා මාධ්‍ය හමුවක් පවා තබමින් දැඩි විරෝධයක් එල්ල කරන ලදී.

ඔන්ලයින් පනතේදී  කතානායකගේ වැඩ ගැන විපක්ෂ නායක විරෝධය

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා ක්‍රියාකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ හේතුවෙන් ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදුවිය හැකි බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ගාල්ලේ පැවති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ සිටිමින් පක්ෂය විවේචනය කරන සාමාජිකයින්ට තරාතිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවටද මෙහිදී විපක්ෂ නායකවරයා අනතුරු අඟවා සිටියේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,”කථානායක අනීතිකව මාර්ගගත පනතට අනුමැතිය දුන්නා. මේ ගැන අපි විශ්ලේෂණයක් කළා .අවස්ථා 9කදී ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අමතක කරලා. කථානායක ගැන අපිට විශ්වාසයක් නැහැ. කථානායක ගැන විශ්වාසයක් තියෙනවාද? නැද්ද? ඒ ගැන ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සලකා බලන්න වෙයි.”

සජිත් -රාජිත දීර්ඝ සාකච්ඡාවක්

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අතර රටේ වර්තමාන  තත්වය හා පක්ෂයේ සම්බන්ධයෙන් පසුගිය 29 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී  පැය 2 ක පමණ කාලයක්  විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අනාගතයේ  දීමට මුහුණ දීමට ඇති අභියෝග මෙන්ම රටේ සිදු කලයුතු වෙනස්වීම් සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව සඳහන්ය.සජබ විරෝධතාවයට පෙර දිනයේ මෙම සාකච්ඡාව පැවති  බව සඳහන්ය.

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ කොළඹ කාර්යාලය  නුගේගොඩ  විජේරාම ප්‍රදේශයේදී පසුගියදා විවෘත කෙරිණි. ඒ සඳහා සහභාවී සිටියේ කුමාර වෙල්ගම ,ලලිත් එල්ලාවල හා චන්න ජයසුමන යන මන්ත්‍රීවරු පමණි. එම අවස්ථාවට   සහභාගී වන බව මන්ත්‍රීවරු පිරිසක් ඊට පෙර ප්‍රකාශ කර තිබුනද අවසන් මොහොතේ එම පිරිස පැමිණ තිබුනේ නැත.

ශ්‍රීලනිප සන්ධානයේ මහා ලේකම් අනුර යාපා – සහය කාටදැයි තීරණයක් නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ‘පුටුව’ ලකුණෙන් පුළුල් සන්ධානයක් නිර්මාණය කිරීමේ සියලු කටයුතු අවසන් ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන සන්ධානයේ මෛත්‍රීපාල සිරිසේනටත් නායකත්වය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගටත් මහා ලේකම් ධුරය අනුර යාපා ටත් හිමිව තිබේ.ඒ අනුව සුදුසු නැකැතක් සකස් කර ලඟදීම නව සන්ධානය කොළඹදී එළිදැක්වීමට තීරණය කර තිබේ.

සියලු පක්ෂ, කණ්ඩායම් සහ මන්ත්‍රිවරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර විශාල පිරිසක් නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බවත් ඒ අනුව ‘පුටුව’ ලකුණෙන් පොදුජන එක්සත් පෙරමුණ නමින් නව සන්ධානය එළිදැක්වීමට ඔවුන් එකඟතා පළ කර තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අදාලව එම පෙරමුණේ ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් එක් කර ඇති අතර එයද කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මහා සම්මේලය මගින්ද අනුමත කර තිබේ.

මන්ත්‍රීවරු 45 ක් පුටුව සමග

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද 45කට අධික පිරිසක් ‘පුටුව’ ලකුණෙන් සන්ධාන ගත වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් එම පෙරමුණට නව නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට තීරණය කර තිබෙන අතර සන්ධානයට එක්වන පක්ෂවල එකඟතාව මත ලබන සතියේ අලුත් නිලධාරී මණ්ඩලයක්ද පත් කිරීමට නියමිත බවත් පැවසේ.

පොදු ජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා අනුමත කල අතර ඒ අනුව නව සන්ධානයේ වැඩ කටයුතු අවසන් වී තිබේ. සන්ධානයේ පක්ෂ අතර පැවැති සාකච්ඡාවල යෝජනා අදහස් විමසීමෙන් පසු ව ශ්‍රීලනිපයට සන්ධානයේ නායකත්වය, සන්ධානයේ භාණ්ඩාගාරික, සන්ධානයේ ජාතික සංවිධායක, සන්ධානයේ ලේකම් ධුරය හිම්වේ. එම සංශෝධන ඇතුළුව සියලු යෝජනාඇතුලත් කර ලබන සතියේ පොදුජන එක්සත් පෙරමුණේ ජාතික මහා සම්මේලනය කැදවා සන්ධානයේ ඉදිරි තීන්දු තීරණ ගැනිමට නියමිතය. පසුගිය දින පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ මහා සම්මේලනයේදී පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාවට සංශෝධන එක් කර අනුමත කර ගෙන තිබේ.  ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, දෙමළ සහ මුස්ලිම් පක්ෂ ඇතුළු  සිවිල් සංවිධාන රැසක් “පුටුව” නව සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර තිබේ. 

සන්ධානයේ සභාපති ධුරය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට හිමිවේ. ඒ අනුව සන්ධානයේ හවුල්කාර පක්ෂ කණ්ඩායම් සමග  මේ මාසයේදී  සන්ධානයේ ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ අහෝසි කර තිබු ශ්‍රීලනිප සාමාජිකත්වය යලි සක්‍රිය කර නැවත ලබා දිමෙි ලිපිය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක  වෙත ලිපියකින් දන්වා තිබේ. මේ අතර ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසන්නේ මෙම ශ්‍රීලනිප සන්ධානයේ සහය කාටදැයි තවමත් අවසන්  තීරණයක් ගෙන නැති අතර අවසන් මොහොතේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවය. ඒ අනුව මෙම සන්ධානයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අදහසක් ද ඉදිරිපත්ව තිබේ.

මීළඟට විකුනන්නේ මොනවාද ?

පසුගිය වසර තුනක කාලයේ දී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමින් යුත් සර්වණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව වාර්තා මගින් පෙන්වාදී තිබේ.

ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව මෙසේ තම දේපළ උකස් කිරීමට හෝ විකුණා දැමීමට පෙළඹී ඇත.ඇතැම් නිවාසවල ස්වර්ණාභරණ සියල්ලම විකුණා දමා අවසන්ව ඇති බවද සඳහන් වෙයි.

වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක්ද පහුගිය වසර කීපයකදී විකුණා දමා තිබේ.

ආර්ථික ගැටළු හේතුවෙන් වාහන මිලදී ගැනීම ද සියයට අසූවකින් පමණ පහත බැස ඇති බවද වාහන වෙළඳපළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයට අදාල වාහන ද ගොවිතැනට සම්බන්ධ වාහන ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර දෙකේදී විකුණා දමා ඇත. මේ සියල්ලෙන් පෙනී යන්නේ රටේ ජනතාවගේ අයහපත් ආර්ථික තත්වය වන අතර විකුණාගත හැකි සියල්ල අවසන්වූ පසු මිසුන්ගේ මීළඟ පියවර අවිනිශ්චිතය.

බැංකු පොලු – බදු පොලු

මේ අතර අපේ රටේ සමස්ත විදේශ ණය  ප්‍රමාණය  ඩොලර් බිලියන 52 ක් පමණවේ. තවත් ඩොලර් බිලියන 40 ක පමණ දේශීය ණය තිබේ. අපේ රටේ ව්‍යාපාරිකයන් විසින් අපේ රටේ භාණ්ඩ  අපනයනය කර උපයන ලද ඩොලර් බිලියන 52 ක් විදෙස් රටවල බැංකු වල තැන්පත් කර ඇතැයි පැවසේ. මේවා රටට ගෙන්වා ගැනීමට ශ්‍රීලංකා මහා බැංකුව අපොහොසත් වී ඇත. එසේ කල නොහැකි නිලධාරීනට එරෙහිව රජය පියවර ගන්නා බවක්ද නොපෙනේ. අඩුම තරමින් දැන්වත් අපනයන සඳහා ආදායම් රටට ගෙන එන තුරු මීළඟ තොග අපනයන සිදු කරන්නට ඉඩ නොදීමවත්  සිදු කරන්නට  මහා බැංකුව අපොහොසත්ය. මාධ්‍ය සංදර්ශන පැවැත්වීමත්  කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයන් ගසා  කන්නට වාණිජ බැංකුවලට අවශ්‍ය සහයදීමත්  හැර ශ්‍රීලංකා මහා බැංකුව රටේ ජනතාව වෙනුවෙන් කිසිවක් කරන බවක් පෙනෙන්නට නැත. එසේම මහා පරිමාන ව්‍යාපාරිකයන් දස දෙනෙකු පමණ  තම මුදල් රටෙන් පිටකර  රටේ බැංකු ගණනාවකින් බිලියන ගණන් ණය ලබා ගෙන ව්‍යාපාර වලට යොදවා තිබේ. මේ ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙකු එම ණය ගෙවීම පහර හැර ඇතත් ඒවා අය කර ගන්නට ක්‍රමයක් නැත්තේ එම ව්‍යාපාර අත්පත් කර ගන්නට ගියහොත් රටේ සමස්ත බැංකු ක්ෂේත්‍රයම කඩා වැටෙන්නට ඉඩ ඇති නිසාය. මීට හේතුව මේ තරම් විශාල ණය ලබාදීමේ දී මහා බැංකුව මේවා නිසි පරිදි අධීක්ෂණය නොකළ නිසාය.

බැංකු වලට පොලු තැබූ මහා පරිමාන ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් ගෙන් ඒවා අය කරගන්නටත් ,මහා පරිමාන බදු පොලු තැබූ ව්‍යාපාරිකයන්ගෙන් ඒවා අය  කරගන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නටත්  මහා බැංකුව අපොහොසත්වී ඇත. මහා බැංකුව තමන්ගේ වගකීම ඉටු කරන්නේ නම් වැට් බදු වැඩි කර දුප්පතුන් පෙලන්නට ආණ්ඩුවට අවශ්‍ය වන්නේ නැත.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan