ඉන්දියාවේ සහාය මත Unitary Digital Identity ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට රජය කටයුතු කරන බව වාර්තා වෙයි.
මෙම Unitary Digital Identity ක්‍රමවේදය ජාතික මට්ටමින් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවෙන් ප්‍රදානයක් ලබා ගැනීමට නියමිත අතර, ඒ සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බව තාක්ෂණ අමාත්‍යංශය නිවේදනය කළේය.
ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස දියත් කිරීමට අපේක්ෂා කරන මෙම Unitary Digital Identity ක්‍රමවේදය හරහා ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි ඩිජිටල් මෙවලමක් ස්ථාපිත කරනු ලබයි. එමඟින් සයිබර් අවකාශය පරිහරණය කරන පුද්ගලයන්ගේ අනන්‍යතා නියෝජනය පහසු කරවයි.
එනම්, ඩිජිටල් හා භෞතික පරිසරය ඒකාබද්ධ කිරීම හරහා පුද්ගල අනන්‍යතා හඳුනා ගැනීම නිවැරදිව තහවුරු කර ගැනීම මෙම Unitary Digital Identity ක්‍රමවේදයේ අරමුණයි.
මෙම Unitary Digital Identity පද්ධතිය රට තුළ ස්ථාපිත කිරීම සඳහා පළමුවරට ජනාධිපතිවරයා සහ ඉන්දියානු අග්‍රාමත්‍යවරයා අතර ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූයේ 2019 දෙසැම්බර් කාලසීමාවේ ය. එහිදී ඊට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියානු රජය එකඟ වී තිබිණි.
ඒ අනුව, මෙම ප්රදානය ලබා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සහ එම ප්රදානය යටතේ Unitary Digital Identity ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට නොකඩවා ලැබෙමින් පවතී. ඉහත ඩිජිටල් පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ලැබෙන ප්‍රදානයට අමතරව, මෙම වසර තුළ පමණක් ඉන්දියාවෙන් ලැබී ඇති මුළු මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 1.4 පමණ වේ. එය රට තුළ පවතින ඩොලර් හිඟය, ආහාර, ඖෂධ හා ඉන්ධන හිඟයට විසඳුම් වශයෙන් යොදා ගැනෙන බව පැවසේ.
Unitary Digital Identity පද්ධතිය රට තුළ ස්ථාපිත කිරීම සඳහා ඉන්දියානු ප්‍රතිපාදන ලැබෙන බව නිවේදනය කළ ද එම ප්‍රධානයේ වටිනාකම හෝ ස්වභාවය පිළිබඳ නිල නිවේදනයක් මෙතෙක් සිදුකර නොමැත. ඒ අනුව අදාළ ඩිජිටල් පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා මූල්‍ය සහාය, තාක්ෂණික සහාය හෝ පුහුණු වැඩමුළු පවත්වන්නේ ද යන්න පිළිබඳව තොරතුරක් මෙතෙක් තහවුරු කර නොමැත.
ආරංචිමාර්ග පවසන්නේ ඉහත ප්රදානය සඳහා දෙරට අතර අත්සන් කෙරෙන අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත විය යුතු කරුණු මේ වන විට සම්පාදනය වෙමින් පවතින බවයි.
Unitary Digital Identity ක්‍රමවේදය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක්ව සකස් කර ඇති අතර, ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් නිර්මාණය කිරීම ද මෙම ව්‍යාපෘතියේ එක් කොටසක් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ශ්‍රී ලංකා රජය පුරවැසියන්ගේ අනන්‍යතා ඩිජිටල්කරණය කිරීමට ගත් පළමු උත්සාහය මෙය නොවේ. මීට ඉහත යහපාලන රජය යටතේ ද අනන්‍යතා ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (E-NIC) ක්‍රමවේදයක් හඳුන්වා දීමට උත්සාහ කළේය. නමුත් මීට එරෙහිව මානව හිමිකම් ක්‍රියාකාරීන් හඬ නැඟූවේ, පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු වෙත පූර්ණ ප්‍රවේශය රජයට ලබා දීම හානිකරය යන පදනම මත ය. යහපාලන රජයට ඉහත මහින්ද රාජපක්ෂ රජය විසින්ද 2011 වර්ෂයේ දී මේ හා සමානම ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කළේය. කෙසේවෙතත්, එම ව්‍යාපෘතීන් දෙකම ක්‍රියාත්මක වූයේ නැත.
MIAP