*
Friday, September 20, 2024
spot_img

Latest Posts

ඇමරිකාවට ආවහම ඉංග්‍රීසි පුළුවන් වෙනවද?

ඇමරිකානුවෙක් කිවුවහම බොහෝ දෙනෙකුගේ හිතේ මැවෙන්නේ ඇමරිකානු උච්ඡාරණයෙන් චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන, ක්‍රිස්තියානි ආගමක් අදහන, සුදු ජාතිකයෙක්. ගොඩක් ඇමරිකානුවෝ ඔය වගේ අය වුනත් හැම ඇමරිකානුවෙක්ම ඔය වගේ අය නෙමෙයි. ඇමරිකානුවන් කියා කියන්නේ සුදු ජාතිකයින් පමණක් නොවන බවත්, විවිධ ආගම් අදහන අය බවත් පෙන්වන්න ඇමරිකානු රජය වගේම ඇමරිකානු මාධ්‍ය විසින්ද සැලකිය යුතු උනන්දුවක් දක්වනවා. හැබැයි භාෂාව සම්බන්ධව ඔය උනන්දුව ඒ තරම් පෙනෙන්න නැහැ.

සමහර විට ඇමරිකාව කියන වියමන එකලස්ව තියා ගන්න ආගම, හමේ පැහැය වගේ දේවල් වැදගත් නොවුනත් භාෂාව වැදගත් කියා ඇමරිකානු රජය ඇතුළු ඇමරිකාවට මග පෙන්වන්නන් විසින් හිතනවා වෙන්න පුළුවන්. ඇමරිකානු ඉතිහාසය දිහා බැලුවොත් ඇමරිකාවට සංක්‍රමණය වූ විවිධ භාෂා කතා කළ අයගෙන් පැවත එන්නන් ක්‍රමයෙන් ඉංග්‍රීසි කතා කරන්නන් බවට පත් වී ඇති බව පේනවා. මේ වැඩේ දැනුත් වෙනවා.

කොහොම වුනත් ඇමරිකාවේ හැම ගෙදරක්ම ඉංග්‍රීසි කතා කරන ගෙදරක් නෙමෙයි. අවුරුදු පහට වැඩි සෑම ඇමරිකානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ගෙදරදී කතා කරන්නේ වෙනත් භාෂාවක්.

ඇමරිකාවේ දෙවන ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාවයි. 2018 වසරේදී නිවසේදී ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කතා කළ ඇමරිකානුවන් 67,268,668 දෙනෙකු අතරින් (ජනගහණයෙන් 21.9%ක්), 41,460,427 දෙනෙකු විසින් කතා කළ භාෂාව වූයේ ස්පාඤ්ඤ භාෂාවයි.

ඇමරිකාවේ චීන හා ඉන්දියානු භාෂා කතා කරන පිරිස ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. 2018 වසරේදී මැන්ඩරින් බස කතා කළ ඇමරිකානුවන් ප්‍රමාණය 3,471,604ක්. මීට අමතරව තගලොග් (පිලිපීන), වියට්නාම්, අරාබි, ප්‍රංශ, කොරියන් යන එක් එක් භාෂා කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද මිලියනයකට වඩා වැඩියි. ඉන්දියානු භාෂා අතරින් 874,314 දෙනෙකු හින්දි බසත්, 485,373 දෙනෙකු උර්දු බසත්, 419,164 දෙනෙකු ගුජරාටි බසත්, 400,186 දෙනෙකු තෙලිඟු බසත්, 375,143 දෙනෙකු බෙංගාලි බසත්, 315,987 දෙනෙකු පන්ජාබි බසත්, 308,857 දෙනෙකු දෙමළ බසත් ගෙදරදී කතා කරනවා.

වසර විස්සකට පමණ පෙර මිලියනයකට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් විසින් කතා කළ ඉතාලි හා ජර්මන් භාෂා භාවිතය මෙන්ම ප්‍රංශ භාෂාව කතා කරන ඇමරිකානුවන් ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වෙමින් යන නමුත් ආසියානු භාෂා කතා කරන ප්‍රමාණයනම් වැඩි වනු මිස අඩුවන බවක් පෙනෙන්න නැහැ.

ඇමරිකානුවන් 39,538,223ක් (11.91%ක්) ජීවත් වන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ජනගහණයෙන් 45%ක්ම ගෙදරදී කතා කරන්නේ ඉංග්‍රීසි නොවන භාෂාවක්. ඇමරිකානුවන් 29,145,505ක් (8.74%ක්) ජීවත් වන ටෙක්සාස් ප්‍රාන්තයේ ජනගහණයෙන් 36%කුත්, ඇමරිකානුවන් 21,538,187ක් (6.47%ක්) ජීවත් වන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජනගහණයෙන් 30%කුත්, ඇමරිකානුවන් 20,201,249ක් (5.86%ක්) ජීවත් වන නිවුයෝර්ක් ප්‍රාන්තයේ ජනගහණයෙන් 31%කුත් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඇමරිකානු ජනගහණයෙන් තුනෙන් එකක් ජීවත් වෙන්නේ ඔය හතරෙන් එකක.

ලංකාවෙන් පැමිණෙන සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් පැලපදියම් වන්නේත් ජනගහණය වැඩි කැලිෆෝර්නියා, ටෙක්සාස්, ෆ්ලොරිඩා, නිවුයෝර්ක් වැනි ප්‍රාන්ත වලයි. එම ප්‍රාන්ත වල වුවද ප්‍රධාන නගර සංක්‍රමණිකයින්ගෙන් වැඩි පිරිසක් ආකර්ෂණය කර ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ විශාලම නගර වන ලොස් ඇන්ජලීස්හි ජනගහණයෙන් 59%ක්, නිවු යෝර්ක් නගරයේ ජනගහණයෙන් 49%ක් හා හූස්ටන් ජනගහණයෙන් 50%ක් ගෙදරදී ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ.

ගෙදරදී ඉංග්‍රීසි කතා නොකරන ඇමරිකානුවන් අතරින් මිලියන 25.6කටම (38%කටම), ඔවුන් සිතන පරිදි, හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකියි. මීට අමතරව තමන්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකියැයි සිතාගෙන සිටින තවත් සැලකිය යුතු පිරිසකටද ඇත්තටම හොඳින් ඉංග්‍රීසි කතා කළ නොහැකි විය හැකියි.

ලංකාව වැනි රටකින් ඇමරිකාවට සංක්‍රමණය වන අයෙකුට මුල් කාලයේදී ඇමරිකානු උච්ඡාරණය තේරුම් ගැනීම සැලකිය යුතු අභියෝගයක්. ලංකාවේ සිටියදී ඉතා හොඳින් හා නිතර ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කළ අයට පවා මේ අභියෝගයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඇමරිකානුවන්ට තේරෙන සේ කතා කිරීම තවත් අභියෝගයක්.

ඇමරිකාවට පැමිණීමෙන් පසුව, ඇමරිකානු උච්ඡාරණයට කණ හුරු වෙන්න වැඩි කලක් යන්නේ නැහැ. එහෙත්, ජීවිත කාලයම ඇමරිකාවේ සිටියත්, බොහෝ සංක්‍රමණිකයන්ට තමන්ගේ ඉංග්‍රීසි උච්ඡාරණයනම් වෙනස් කර ගන්න අමාරුයි. ලංකාවේදී ඉංග්‍රීසි භාවිතයක් එතරම් නොතිබුණු කෙනෙකුට මේ වැඩේ සාපේක්ෂව පහසුයි. එවැනි අය ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නේම ඇමරිකානු උච්ඡාරණය සමඟයි. දෙමවුපියන් සමඟ කුඩා වයසෙන් ඇමරිකාවට සංක්‍රමණය වන දරුවන්ටත් මේ වාසිය තිබෙනවා.

රස්සාවක් කරගෙන ඇමරිකාවේ ජීවත් වීම සඳහා ඇමරිකානුවෙක් තරමට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉංග්‍රීසි වලට වඩා වැදගත් කරන රස්සාව හරියට කරන එකයි. ඒ වැඩේට අවශ්‍ය තරමට ඉංග්‍රීසි පුළුවන් වීම හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා, ඇමරිකාවට ඇවිත් ස්ථාවර වුනාට පස්සේ සංක්‍රමණිකයෙක් තමන්ගේ භාෂා දැනුම ගැන එතරම් වද වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ සංක්‍රමණිකයින් වැඩි පැත්තකනම් මේක කොහොමටවත්ම ප්‍රශ්නයක් නෙමෙයි.

හැබැයි සංක්‍රමණිකයින් වැඩි පැත්තක ජීවත් වෙද්දී වෙන විදිහක භාෂා ප්‍රශ්නයක් මතු වෙනවා. ලංකාවෙන් එන අය ඇමරිකානුවන් මෙන් ඉංග්‍රීසි කතා කරන්නේ නැතුවාක් මෙන්ම වෙනත් රටවල් වලින් එන අය ඉංග්‍රීසි කතා කරන්නෙත් ඔවුන්ටම ආවේණික උච්ඡාරණයකින්. ඉන්දියානුවන්ගේ “ර්” ගැනනම් ගොඩක් අය දන්නවා ඇතිනේ. චීන්නුන්ට, රුසියානුවන්ට, යුදෙවුවන්ට ආදී වෙනස් භාෂාවක් මවු බස කරගත් අයටත් ඔය වගේ අමුතු උච්ඡාරණ තියෙනවා. ඇමරිකාවේ සංක්‍රමණිකයින් වැඩි පැත්තක මිනිස්සු එක්ක නිතර සම්බන්ධ වෙන රැකියාවක් කරන කෙනෙකුට ඔය හැම ජාතියේම අය එක්ක ගනුදෙනු කරන්න වෙන නිසා ඒ අයගේ ඉංග්‍රීසිත් තේරුම් ගන්න බැරිනම් ප්‍රශ්නයක්. ටික කලක් ඇමරිකාවේ ජීවත් වුනාට පස්සේනම් දුරකථන ඇමතුමක් ආ විට වුවත් මේ කතා කරන්නේ සුද්දෙක්ද, කල්ලෙක්ද, චීනෙක්ද නැත්නම් ඉන්දියානුවෙක්ද කියා හිතා ගන්න පුළුවන්.

ඇමරිකාවේදී රස්සාවකට බඳවා ගැනීමේදී වුවත් ඉංග්‍රීසි දැනුම ගැන හොයා බලන්නේ අදාළ රස්සාව කරගෙන යන්න අවශ්‍ය වන අවම ඉංග්‍රීසි දැනුමට සාපේක්ෂව පමණයි. ඇමරිකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් වැනි අයටනම් හොඳ ඉංග්‍රීසි භාෂා දැනුමක් නැතුවම බැරුවාක් මෙන්ම වෙනත් භාෂා දැන සිටීමද විශේෂ සුදුසුකමක් වෙනවා.

ඇමරිකාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සේ පත්ව ඇවිත් සිටින ජුලී ජියූන් චුංට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයට අමතරව ස්පාඤ්ඤ, ජපන්, කොරියන් හා කමියර් (කාම්බෝජයේ භාෂාව) යන භාෂාද කතා කළ හැකියි. ජුලී ජියූන් චුං කොරියාවේ සියෝල් නුවර ඉපිද කුඩා කාලයේදී ඇගේ දෙමවුපියන් සමඟ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ තැනැත්තියක්.
ජුලී ජියූන් චුංව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති සේ පත් කිරීමට යෝජනා කරන්නේ ජනාධිපති බයිඩන් විසින් වුවත්, ඒ ඇය බයිඩන්ගේ ඥාතියෙකු හෝ බයිඩන්ට කඩේ ගිය කෙනෙකු නිසා නෙමෙයි. ජුලී ජියූන් චුං ඇමරිකානු විදේශ සේවයෙහි අත්දැකීම් ඇති නිලධාරිනියක්. මෙවැනි තනතුරක් සඳහා ඇමරිකානු ජනාධිපති වරයාට නාම යෝජනා සිදු කළ හැකි වුවත්, එම නාම යෝජනා සෙනෙට් සභාවේ නාම යෝජනා කමිටුව විසින් අනුමත කළ යුතුයි. එසේ නැතුව තමන්ට අවශ්‍ය අයෙකු හිතුමනාපයට ලංකාව වැනි රටක තානාපති සේ පත් කර එවීමට හෝ බලයක් ඇමරිකානු ජනාධිපතිවරයාට නැහැ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan