Thursday, June 1, 2023
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 24: ඔහු අපේ ගිරිහිස, අප කුඩා ගල්කැට !

බුදුන් – දහම් – සඟුන් ළඟින් රැකූ නිරන්තරින්
පියම්බිකාවගෙයි මගෙයි දයා බැඳුම් ලැබූ
සුනිල් – සරත් – සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අහෝ! කොහේද ඒ ගියේ

ඒ කවිය ලිව්වේ මීමන ප්‍රේමතිලක කවියා. මියගිය පුතකුට ලියූ කවි පන්තියක කවියක් ඒක. එදා ගිය රුවන සමන්. එදා කියූ රුවන් තුනෙන් තවත් එකක් ගිහින්. ඒ රුවන තමයි සුනිල්. පපුව හිර වෙලා. හදවත බර වෙලා. පත්තරකාරයකු වීමේ ලියුම්කරුගේ සිහිනයෙහි උල්පත සුනිල් අයියාගේ පෑන. ඔහුට පෙර සිටි පත්තරකාරයන්ගේ නම් හා සසඳන විට ඔහුගේ නම ම උත්කර්ෂයක්. සුනිල් මාධව ප්‍රේමතිලක. ඔහු පිය මීමන ප්‍රේමතිලකගේ හදගැබ රසාලිප්තභාවය ඒ නමෙන් වෑහෙනවා. 

පරණ පත්තර මිටි අවුස්සා විසි නව වසරකට පෙර ආ හිරු පත්තරය අතට අරගෙන බැලුවා. කලාප දෙකතුනක `සත්‍යවාදියකුගේ දිනපොත` එක හුස්මට කියෙව්වා.  ඒවා එකින් එක උපුටා දැක්වූවත් `ආදරය හා මනුෂ්‍යත්වය` කියා පමණක් ලියූවත් තේරුම එකයි. ජයවර්ධන ආණ්ඩුව සකලවිධ අයුරින් මර්දනය ගේන විට සුනිල් අයියාගේ පෑන ලංකා පොළොව මත විප්ලවය ලිව්වා. සුනිල් අයියා ඉතිහාසයේ පරිච්ඡේදයක් නෙමෙයි මුළුමහත් ඉතිහාසයක්. මදුවිතෙන් මත්වූ සිනාසෙන දෙනෙතත් උඩු රැවුල යට ලැගුම් ගත් නොනැසෙන මන්දස්මිතයත් ලෝ දම් අනුව නිසල වෙලා. 

රාජ්‍ය මර්දනයේ සංහාරය අබියස, `ප්‍රේමදාස අපි සූදානම් !` කියා හෙඩිමක් ගැසූ අපේ කාලයේ වීරයා නික්ම ගිහින්. ඒ ප්‍රේමදාස මළ පසු. “සාංකාවක් දැනේ“ කියා ලියූ මානව හිතවාදියා නික්ම ගිහින්. ඒ තමයි සුනිල් අයියාගේ හදවත. අනූ එකේ දෙකේ සිට ඔහුගේ අකුරු හරහා ඔහුට ආදරය කළත් ඔහු මුණගැසුනේ බොහෝ කලකට පසුයි. 

අනූ හතරේ හෝ අනූ පහේ දවසක ජාතිය ගලවාගැනීමේ පෙරමුණ හලාවතදී පැවැත්වූ. `නිදහස දිනා ගතයුතුව තිබේ` මැයෙන් වූ රැළියක් අවසන, එම රැළියේ ප්‍රධාන කථිකයා වූ විමලසිරි ගම්ලත් සහෝදරයාගෙන්, එතෙක් කිසිදා නොදුටු “සුනිල් අයියා මතක් කරන්නැ“යි දෑත අල්ලා ඉල්ලුවා. ඒ, විජේවීර සම්ප්‍රදාය අනුව යමින් රැළිය අවසන කථිකයන් ආධාර ඉල්ලා දෝත පෑ මොහොතේ. ලියුම්කරු රුපියල් දහයේ කොලයක් දුන්නා. ඉන් පසු තමයි පණිවිඩය ගම්ලත්ට කිව්වේ. “හමු වූ විට කියන්නම් සහෝදරයා“ යැයි ගම්ලත් සහෝදරයා කිව්වා. ඔහුව මුලින්ම දෑහින් දැක්කෙත් එදාමයි.

අනූ අටේදී, තරුණ ස්වේච්ඡා ගුරුවරයකු දුරකතනයෙන් කළ ඇරැයුමක් පිළිගනිමින් සුනිල් අයියා කොළඹ සිට හලාවත සාන්ත මරියාවට අතින් වියදම් කරගෙන පැමිණියේ `ප්‍රභාතය` කලා උළෙලට සහභාගී වී `සාහිත්‍ය දේශනයක්` කරන්නයි. ඒ බණ්ඩාර වැවගෙදර සොයුරා ද සමගින්. පාසැලේ බිත්ති පුවත්පත වූ `සියපත` කලාප ගණනාවක්, ඒවා එල්ලා තිබූ ශාලාවේ ඇවිදිමින් සුනිල් අයියා කියෙව්වා. “අන්තර්ගතයෙනුත් නිමාවෙනුත් ජාතික මට්ටමේ ප්‍රමිතියක පාසැල් බිත්ති පුවත්පතක් දුටිමි” යැයි ඊළඟ සතියේ සත්‍යවාදියකුගේ දිනපොතේ ඔහු ලියා තිබුණා. ගලිවරයාණන් ලිලිපුට්ටන්ට අවංකව දිරි දුන්නේ එහෙමයි.

මේ සටහන ලියන්නට පටන් ගත් මොහොතේ ඇදහැළුණු පොද වැස්ස මහා වැස්සක් වෙනවා ඇහෙනවා. මෙවර ඊට සුළඟ ද එකතු වෙලා. 
දෙනෙත පියාගෙන වැස්සේ ශබ්දයට සවන්දෙනකොට..  ඒ ශබ්දය ; සිළුමිණ, දිවයින, ලක්මිණ, ලක්දිව, හිරු ආදී පත්තර සමුදායක් එකවර අච්චු ගසන මැෂිමක හඬ වගේ කියල ලියුම්කරුට හිතෙනවා. 

සුනිල් මාධව ප්‍රේමතිලක පරමාදර්ශ ගිරි ශිඛරයක්. ඒ පාමුළ වූ කුඩා ගල් කැටයකට දැනෙන පාළුව හා ශෝකය, ලියුම්කරුට දැනෙනවා. ඒ මහ කන්ද අප වැනි දත් නොදත් හැම ගල් කැටයකට ම අසීමිත ලෙස ප්‍රේම කළ බව මැකිය නොහෙන ඇත්තක්. ඒ විසල් කඳු මුදුනේ සිට ගැලූ ප්‍රේමයේ හා මනුෂ්‍යත්වයේ ගංගාවේ ඉවුරට එක්විය හැකි නම් එපමණක් වුව ක්ෂුද්‍ර ගල් කැටයකට සෑහෙනවා. මීමන එදා ඒ පුතුට ලියූ කවි පන්තියේ කවියක් මෙදා මේ පුතුටත් හොඳින්ම ගැලපේ යැයි ලියුම්කරුට සිතෙනවා. මොකද, ලොවේ සියල්ලොමත් ඔහුගෙ පුතාට ආදරෙයි.

දිවා රැයේ ඉරයි හඳයි සොහොන් බිමත් සිඹියි 
පුතාගෙ රූපයෙන් බිඳක් අරන් කුසුම් පිපේ 
විහංගයෝ මගේ හැඟුම් සරල හඬින් කියත් 
ලොවේ සියල්ලොමත් මගේ පුතාට ආදරෙයි !

– විමල් කැටිපෙආරච්චි 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.