සත්කාරකයන්ට නොදී හිමිකාරියෝ කුසලානය රැඟෙන යති

Date:

දකුණු අප්‍රිකාවේ දී කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ඇරඹෙන විටත් ලෝක සූරියන්ව සිටියේ ඕස්ට්‍රේලියාවය.සත්කාරක දකුණු අප්‍රිකාව ඒ වන විට අවසාන තරගයකටවත් පිවිස තිබුණේ නැත.නමුත් ඔව්හූ තම සත්කාරකත්වය යටතේ බොහෝ වෙනසක් කරන්නට පෙළ ගැසී සිටියහ.එහෙත් ආරම්භක තරගයේදීම එම පෙළගැස්ම ඔසවා පොළවේ ගසන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.එය අති විශිෂ්ඨ ජයකි.නමුත් ජයග්‍රහණයේ කියවා ගැනීම පිටුපස ඔවුන් තුළ තිබුණේම එය නිවැරදිම දේ ද,අහම්බයක්ද යන්න උභතෝටිකය ලිහාගෙන ඉදිරි තරගවලට හරිම සැළසුම අටවාගන්න අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පරාජය තුරුළු කරගෙන ගම්බිමි බලා ආ හ.

දකුණු අප්‍රිකාව එතැන් පටන් තරග කළේ තමන්ට පරාජය කළ හැකි කණ්ඩායම උපරිමයෙන් පරාජය කරන්නට සහ තමන් පරාජය වන තරගය ඉතා සුළුවෙන් පරාජය විය යුතුය යන නීතියෙන්ය.ඒ අනුව ලෝක සූර ඕස්ට්‍රේලියානු තරගය පරාජය වීමේ පරතරය සුළු කර ගත් ඔව්හූ නවසීලන්තය සහ බංගලාදේශය පරාජය කළ හැකි උපරිමයෙන් පරාජය කළහ.මේ නිසා ශ්‍රී ලංකාව නවසීලන්තය සමඟ තරග දෙක බැඟින් ජයගෙන සිටියත් අවසාන පූර්ව වටයට ලකුණු වේගය මත සුදුසුකම් ලබන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසාන පූර්ව තරගයේදී දැඩි අධිෂ්ඨානයෙන් තරග වැදුණ දකුණු අප්‍රිකාව එංගලන්තය පරාජය කරමින් සිය සත්කාරකත්වය යටතේ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් අවසාන තරගයට පැමිණියේ ය.එහිදී තරගාවලිය පුරාම ඔවුන්ගේ ජයග්‍රහණවලට ශක්තිය වූ ආරම්භක පිතිකාරිණියන් දෙපළ සහ විශිෂ්ඨ පන්දු රැකීම අවසාන පූර්ව තරගයේ දී ද ජයග්‍රහණයට මඟ කිව්වේය.

අවසාන තරගය යනු දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණයක්මය.ඒ ජයග්‍රහණය තරගයට පෙර අත් විඳ අවසන්ව තිබීම නිසා ද ඔවුන්ගේ අති විශිෂ්ඨ පන්දු රැකීමේ යම් කඩතොළු බවක් දකින්නට ලැබිණ.ඒ නිසා එක ලකුණ දෙක වීම මෙන්ම දෙක තුන වීමේ අවස්ථා ද යම් ආකාරයකට දකින්නට ලැබිණ.එසේම භයානකම කාන්තා පිතිකරු ලැයිස්තුව සහිත ඔස්ට්‍රේලියානු පිතිකාරිණියන් ඉදිරියේ යම් චකිතයකින් පන්දු යවන බවත් දිස් විය.ලකුණු නොදීමට හපනියක් වන මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල වැඩිම නිලකුණු පන්දු වාර ගණනෙ වාර්තාව හිමි ශාබ්නිම් ස්මයිල් අවසාන තරගයේ දී ද එම දක්ෂතාවයට සාක්ෂියක් වෙමින් නිලකුණු පන්දු ඕවරයක් සටහන් කළාය.නමුත් සෙසු දකුණු අප්‍රිකානු පන්දු යවන්නියන් අතරින් එවැනි විශ්වාසයක් ශාරිරික කියැවීම තුළ ප්‍රදර්ශනය කළේ චොලේ ට්‍රියොන් පමණි.ඇය ඕස්ට්‍රේලියානු නායිකාව දවා ගැනීමට රැකගත් උඩ පන්දුවේද ඒ විශ්වාසය කදිමට තිබිණි.



ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක් බවට ලකුණු පූවරුව පත් කිරීමේ ගෞරවය සියයට සීයක්ම පාහේ බෙත් මූනිට හිමි විය යුතුය.ඇය ආරම්භක පිතිකාරිණියගේ බූමිකාවට පන පොවමින් පන්දු ඒවර් විස්සම ගෙවෙන තෙක් සහ කඩුලු හයක් අහිමි වෙන තෙක් කඩුල්ලේ ඉඳ පන්දු 53 ට මුහුණ දි ලකුණු 74 ක් නොදැවි ලබා ගත්තාය.ඇයට අර්ධ ශතකයක සබඳතාවයක් එක් කරන්නට හෝ සහයක් නොලැබිණ.පන්දු 21 ක් තුළ ලකුණු වේගය වැඩි කරන්නට ලකුණු 29 ක් රැස් කළ ඈෂ්ලිග් ගාඩ්නර් දෙවන කඩුල්ලට ලකුණු 46 ක සබඳතාවයක් එක් කළ අතර ඇලීෂා හීලි (18) ආරම්භක කඩුල්ලට මූනි සමඟ ලකුණු 36 ක් එකතු කරන්නට සමත් විය.

ගාඩ්නර් මෙවර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙමින් ජයග්‍රහණය සඳහා කළ කැපවීම මේ තරගයේදී ද දැක් වූවාය.පන්දු යැවීමෙන් ද ලකුණු 20 ට එක් කඩුල්ලක් දවා ගත් ඇය සමස්ත තරගාවලියේ දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.මූනි ලබා ගත් ලකුණු 74 ඇයව තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් කළාය.නමුත් නිල නොවන සුපිරි වීරවරියක් බවට දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාර්ඩ්ට් පත් වූවාය.අවසාන තරගයේදී ද ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල සටනක් දියත් කළ ඇය පන්දු 48 න් ලකුණු 63 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමඟින්ය.ඇය ඒ පිට පිටම මේ තරගාවලිය තුළ ලැබූ තෙවන අර්ධ ශතකය ද විය.ඇය තරගාවලියේ වැඩිම ලකුණුලාභීණිය ලෙස ලකුණු 230 ක් එක් කරගෙන සිටියාය.

ලෝරා ඕස්ට්‍රේලියානු ලකුණු 156 ට ළඟා විය හැකි බවට දැඩි විශ්වාසයෙන් සිටි අතර ඒ හා අදහසක් ඇතිව විශ්වාසයෙන් පහර දුන් අනෙක් ක්‍රීඩිකාව වූයේ චෝලේ ට්‍රයොන් ය.ඇය පන්දු 23 දී ලකුනු 25 ක් ලැබුවාය.එංගලන්ත පන්දු යවන්නියන් ලකුණු ඇති වීමට එරෙහිව ඇති කළ පීඩනයට යටත් වීම නිසා පන්දු ඕවර් 20 තුළ ලකුණු 137 ට සීමා වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ම ඒ පීඩනයේ ගොදුරු වූයේ දුවද්දී දැවි යමින්ය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවට පවා පරාජය වෙමින් තරගාවලියේ ආරම්භයේ සිටි දකුණු අප්‍රිකාව මේ පැමිණි ගමන හරහා ශ්‍රී ලංකාවට පවසන පණිවිඩය උඹලටත් මේ ගමන එන්න තිබුණා කියන එකය.එසේම සූරියන් වීමේ අනන්‍යතාවය වෙනම හැඩයක එකක් බව ඕස්ට්‍රේලියාව යළි සනාත කළාය.හත් වරක් අවසාන තරගයට ආ,හයවරක් සූරතාවය දිනූ ඔවුන් මෙවර සූරතාවය දිනා ගත්තේ පිට පිටම තෙවන වතාවටය.ඒ නිසාම ඔවුන්ට අවසාන තරගය යනු නුහුරු දෙයක් නොවේය.නමුත් ඔවුන් සටන් කරන්නේ දෙයක් රැක ගන්නට නිසා එය අහිමි වේ ද යන බිය සහ සැකය ඔවුන් තුළ තිබෙන බව සහ එම නිලය කොනිත්තන්නේ කෙසේද යන සැළසුම ප්‍රතිවාදීන් තමන්ගේ සියුම් ශරීර ප්‍රකාශවලින් පවා ප්‍රදර්ශනය කරන තැනට පත්වන්නේ කෙසේද යන්න සෙසු කාන්තා ක්‍රිකට් ලෝකය වෙනම අධ්‍යයනය කළ යුතුය.
අවසාන තරගයේ ලකුණු පූවරුව පහතින් දැක් වේ.

https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/south-africa-women-vs-australia-women-final-1338062/full-scorecard

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...