මාර වැඩේ කාදිනල් හිමිට වුණේ …

Date:

ආගම අදහන්නේ නම් මානව හිමිකම් ගැන කතා කිරීමට අවශ්‍ය නොමැති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ පසුගිය 2018 වසරේ අගභාගයේදී ය.

“බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නෙ මානව හිමිකම්. අතීතයේ මානව හිමිකම් කියලා දෙයක් නොතිබුණු නමුත් මිනිසුන් ආදර ගෞරවයෙන් හා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් වාසය කළා. මේක හරියට අලුතින් හොයාගත්ත පුදුමාකාර දෙයක් වගේ ඔළුව උඩ තියාගෙන එයාලා හැම තිස්සේම අපට කියන්නේ ඕක තමයි. මානව හිමිකම්, මානව හිමිකම් යනුවෙන් නිතර මතුරන යුරෝපා රටවල ආගම අදහන්නේ කෝට් එකක් අඳිනවා වගේ. අවශ්‍ය වෙලාවට ඇඳලා අවශ්‍ය නැති වෙලාවට ඉවත දමනවා. වාසියක් අවශ්‍ය වෙලාවට ආගම අදහනවා, පරිත්‍යාගයක් කළ යුතු වෙලාවට ආගම ඉවත දමනවා. අපේ රටෙත් මේ දේ පැතිර යනවා. සමහර ඈයො කතා කරනවා අනාගමික සමාජයක් ගැන. අනාගමික සමාජයක් නැහැ. මිනිස්සුන්ගෙ ජීවිතය කෑම බීම, ඇඳුම් පැළඳුම්, සැප සම්පත් පමණක් නෙවෙයි. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කතා කරන්න ඕනෙ නෑ. මානව හිමිකම්වලටත් එහා ගිය විදියට අපට ජීවත් වෙන්න පුළුවන්. අපි අදහන ආගම්වල මානව හිමිකම් තමයි තියෙන්නෙ. වෙන මොනවද ? ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරයිනි, මේ මායාවට අපි රැවටෙන්න හොද නෑ. අපි මෙහිදි බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි”

කාදිනල් හිමියන් මේ ප්‍රසිද්ධ ප්‍රකාශය සිදුකළේ 2018 සැප්තැම්බර් 23 වනදා ඒකල, ශාන්ත මතෙව් දේවස්ථානයේ පැවති දේවමෙහෙයක් අමතමිනි.

ඊට වසර තුනකට වැඩි කාලයකට පසුව මේ කාදිනල් හිමියන්ම 2022 මාර්තු 02 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මියව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවී තිබිණි. ඒ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාය ලබාගැනීමට ය.

කාදිනල් හිමියන් සිය මුල් ප්‍රකාශය සිදුකරන විට රටේ පාස්කු ප්‍රහාරයක් සිදුව තිබුණේ නැති නමුත් විවිධාකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම් ගණනාවක් දශක කිහිපයක් තිස්සේම රටේ ගොඩගැසී තිබිණි. එහෙත් ඒවා කාදිනල් හිමියන්ට සෘජුවම බලනොපෑ නිසා එහිමියන්ට මානව හිමිකම්වල වැදගැම්මක් තිබුණේ නැත. මානව හිමිකම්වලට නොරැවටෙන්නැයි එහිමියන් සිය අනුගාමිකයින්ට ආයාචනා කළේ ඒ නිසාය.

එහෙත් පාස්කු ප්‍රහාරය කතෝලික පල්ලිවලට එල්ල වීමෙන් යම් කලකට පසුව කාදිනල් හිමියන්ගේ තත්වය දැන් වෙනස් වී තිබේ. දැන් ප්‍රශ්නය තමන්ටත් සෘජුවම බලපාන එකක් නිසා එහිමියන්ටත් මානව හිමිකම් සරණ පැතීමට සිදුව ඇත. කෙසේවෙතත් කාදිනල් හිමියන් 2018 සිදුකළ කතාව ඉතසිතින්ම විශ්වාස කළ බැතිමතුන්ට දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ උභතෝකෝටිකයකට ය. ඒ, කාදිනල් හිමියන්ම එදා ඕනෑ නැතැයි කී මානව හිමිකම් අද එහිමියන්ට ඕනෑ වී ඇති නිසාය. මානව හිමිකම් යනු අලුත් දෙයක් හෝ මහාලොකු දෙයක් නොවෙන බව කී එහිමියන්ටම අද එය ලොකු දෙයක් වී තිබෙන නිසා ය.

අපි එදත් අදත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින අතර ඉදිරියටත් ඒ වෙනුවෙන් ඒ ආකාරයෙන්ම පෙනී සිටින්නෙමු. එදාත් කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයට විරුද්ධ වුණු අපට අද කියන්නට ඇත්තේ “මාර වැඩේ කාදිනල් හිමියන්ට වුණේ ….” කියාය.

මිනිස් සමාජය සිය දීර්ඝ පරිණාමය තුළ බිහිකරගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් වන මානව හිමිකම් හෑල්ලුවට, අපහාසයට, උපහාසයට ලක් කරන අය මොන තරාතිරමේ වුවත් අපට ඔවුන් සමග අතරමැද සමාදානයක් නැත …

එමෙන්ම මෙහිදී සිහිපත් කළ යුතු තවත් කාරණයක් තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව, එවකට පැවති යහපාලන රජය පළවා හැරීමට කාදිනල් හිමියන්ට හොඳටම වුවමනා වී තිබිණි. ජනාධිපතිවරණ දිනයේදී “උදෙන්ම ගොස් සිය යුතුකම ඉටු කරන්නැයි” එහිමි ජනතාවගෙන් ඉල්ලා සිටියේත් ඒ නිසා ය. දැන් එහිමියන්ට වත්මන් රජයත් එපා වී ඇති බවක් පෙනේ. වත්මන් රජය බිහිකෙරුණේත් පසුගිය රජයේ ප්‍රධාන පංගුකාරයෙකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුලේ බව එදා කාදිනල් හිමියන්ට නොපෙනී ගියා වන්නට බැරිය. ඒ දැක දැකත් වත්මන් ආණ්ඩුව බිහිකෙරුණේ එතුමන්ගේත් පූර්ණ ආශිර්වාදය සහිතව ය.

අපට ඇති ප්‍රශ්නය වන්නේ ඊළඟ මොහොතක ඡන්දයකදීත් නැවත වතාවක් උදෑසනම ගොස් යුතුකම ඉටු කරන්නැයි කාදිනල් හිමියන් ඉල්ලා සිටියහොත් ජනතාව එය පිළිපැදිය යුතුද යන්න ය. ඇත්තෙන්ම කාදිනල් හිමියන්ට එපාවෙන එපාවෙන ගණනට ජනතාව ආණ්ඩු පෙරළිය යුතුද ? මානව හිමිකම් කතාවේදී මෙන් කාදිනල් හිමියන්ට වරදින්නේ කොතැනද, වරදින්නේ නැත්තේ කොතැනද කියා ජනතාව හරියටම දැනගන්නේ කෙසේද ?

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...