Home ව්‍යාපාරික ලෝකයේ තෙල්, ගෑස් මිල වැඩිවීම් අනිවාර්යයෙන්ම ලංකාවටත් දරන්න වෙනවා. ඒක අපිට නවත්වන්න...

ලෝකයේ තෙල්, ගෑස් මිල වැඩිවීම් අනිවාර්යයෙන්ම ලංකාවටත් දරන්න වෙනවා. ඒක අපිට නවත්වන්න බෑ – ඇමති වසන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්වය හේතුවෙන් මේ වනවිටත් ලෝක වෙළඳපොලේ තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ඒ මිල ඉහළ යෑම ශ්‍රී ලංකාවේ ජනතාවටත් අනිවාර්යයෙන්ම දරාගැනීමට සිදුවන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ඇතිවෙලා තියෙන මේ තත්වය ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකයටම බලපාන තත්වයක්. විශේෂයෙන් නැව් මාර්ග භාවිතා කරමින් ආනයන අපනයන සිදුකරන සියලු රටවල්වලට මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා විතරක් නෙවෙයි ගුවන් ගමන්වලට පවා මෙය බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. මෙය ලෝක ආර්ථික අර්බුදයක් නෙවෙයි, ලෝක යුධ තත්වයක්. යුධ තත්වය විසින් සැපයුම් මාර්ග සියල්ල බිඳවැටෙනවා, නවත්වනවා, අමාරු වෙනවා. දැන් තවත් අපිට මැදපෙරදිග ගුවන් ගමන් නවත්වලා තියෙන්නෙ. හෝමූස්වලින් යන නාවුක ගමන් නවත්වලා තියෙන්නෙ. ඒ නිසා ආනයන – අපනයන වෙළඳාමේදී අපිට පාවිච්චි කළ හැකි සියලුම උපායමාර්ග අපි පාවිච්චි කරනවා. ඒ වගේම ලෝකයේ මිල ඉහළ යෑම් අපිට පාලනය කරන්න බෑ. මොකද තෙල් සැපයුමත් ගෑස් සැපයුමත් මේකෙන් අඩු කළොත් එහෙම අනිවාර්යයෙන්ම වෙළඳපොල තුළ මිල ඉහළ යෑමක් දැනටමත් වාර්තා වෙමින් තියෙනවා. ඒ මිල ඉහළ යාම අනිවාර්යයෙන් අපිටත් දරන්න වෙනවා. ඒක අපිට නවත්වන්න බෑ. ඒ නිසා අපි හිතනවා අපිට අප්‍රේල් මාසෙ අවසන් වෙනකල් තෙල් ගෙනත් තියෙනවා. මේ අවුරුද්ද අවසන් වෙනකල් ගෑස් සපයන්න සැපයුම්කරුවන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා මිලකට. ඒ වගේම ගල් අඟුරුත් මේ අවුරුද්ද අවසන් වෙනකල් සපයන්න ඒ සැපයුම්කරු එකඟවෙලා තියෙනවා අපිට. ඒක තියෙන්නෙ විදුලි නිශ්පාදනය සඳහා. එතකොට ඒ එකඟතාවයන් අපි කලින් හදාගත්ත ඒවා අනුව කටයුතු කරන්න බලනවා. ඒ කටයුතු අනුව අපිට සැපයුම්වල බාධාවක් වෙනවා නම් අපිට විකල්පවලට යන්න කටයුතු කරන්න වෙනවා. ඒ නිසා අපි ඒ සඳහා යම් ප්‍රමාණයක් ඇනවුම් වැඩියෙන් කරන්න වෙනවා නම් ඒ සඳහාත් සාකච්ඡා කරමින් ඉන්නවා”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.