*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මහ බැංකු කාර් එකේ බ්‍රේක් කැඩිලද ?

ඊයේ ලිපියෙහි මගේ පුරෝකථනය වුනේ ඩොලරයක මිල රුපියල් 5-10 අතර ප්‍රමාණයකින් පහත වැටෙනු ඇති බවයි. එහෙත්, ඊයේ දිනය තුළ, ඊට වඩා වැඩි, රුපියල් 11.04ක, පහත වැටීමක් සිදු වී තිබෙනවා. මහ බැංකුවට ඩොලරයක මිල කෙතරම් පහතට ගන්න අවශ්‍යද කියා මම දන්නේ නැහැ. ඇතැම් විට මහ බැංකුවේ ඉලක්කය රුපියල් 300න් පහළ, රුපියල් 275 වැනි මට්ටමක් වෙන්නත් පුළුවන්.

පසුගිය ලිපි වල තිබෙන්නේ මහ බැංකුව කරන්නට ඉඩ තිබෙන දෙය ලෙස මා දකින දෙය මිසක් විය යුතු හොඳම දෙය ලෙස මා දකින දෙය නෙමෙයි. මගේ අදහස ඩොලරයක මිල මෙතරම් වේගයෙන් හා මෙතරම් පහළට වැටෙන්නට ඉඩ සැලැස්වීම සුදුසු නැති බවයි.

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී බොහෝ විට කෙටිකාලීනව හොඳම දෙය සහ දිගුකාලීනව හොඳම දෙය අතර තේරීමක් තිබෙනවා. මෙම තේරීමේදී කෙටිකාලීන යහපත ඉලක්ක කිරීම තුළ සිදුවන දිගුකාලීන අයහපත ගැන සලකා මනා තුලනයක් පවත්වා ගත යුතුයි.

පසුගිය සතිය තුළ ඩොලරය පහත වැටීම වලක්වා ගනු පිණිස මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308ක් මිල දී ගෙන තිබුණා. මේ සතිය තුළද එසේ ඩොලර් මිල දී ගන්නවා විය හැකියි. ඒ මත පදනම්ව, “මේ තරමින් හෝ ඩොලරය ඉහළින් තියෙන්නේ අපි ඩොලර් මිල දී ගත් නිසා” කියා මහ බැංකුවට කියන්න පුළුවන්. ඒ වගේ කතාවක තාක්ෂනික වැරැද්දක් නැහැ. නමුත්, එයින් ගම්‍ය වන “මහ බැංකුවට මීට වඩා කළ හැකි දෙයක් නැහැ” කියන අදහස නිවැරදි නැහැ. මහ බැංකුවට ඩොලරයක මිල සැලකිය යුතු ලෙස පහත හෙළා ගන්නට අවශ්‍ය බව සහ ඒ ඉලක්කය පෙරදැරිව කටයුතු කරන බවයි දැනට පෙනෙන්න තියෙන්නේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මගේ සටහනක විස්තරාත්මක ලෙස ලියා ඇති පරිදි මගේ ගණන් හැදීම අනුව ඩොලරයක මිල තිබිය යුතු යෝග්‍ය මිල රුපියල් 393ක්. යාවත්කාලීන කිරීමෙන් පසුවද අදාළ ඇස්තමේන්තුවෙහි වෙනසක් නැහැ. මෙවැනි ගණනය කිරීම් හරියටම නිවැරදි නැති නිසා ඩොලරයක මිල පසුගිය මාස ගණනක් පුරා පවත්වාගනු ලැබූ රුපියල් 360 මට්ටමෙහිම එය පවත්වා ගත්තේනම් එය නරක දෙයක් කියා මම හිතන්නේ නැහැ. කෙටිකාලීන වාසි සලකා ඩොලරයක මිල සුළු වශයෙන් පහත වැටෙන්නට ඉඩ දීමෙහිද වරදක් නැහැ. එහෙත්, සිදුවෙමින් පවතින පහත වැටීම ඕනෑවට වඩා වැඩි හා ඕනෑවට වඩා වේගවත් පහත වැටීමක්.

මේ මිල පහත වැටීම මහ බැංකුවට පාලනය කළ නොහැකිද? අනිවාර්යයෙන්ම පුළුවන්. පසුගිය සතිය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308ක් මිල දී ගෙන ඇති බව ඇත්ත. එම ගණන ඩොලර් මිලියන 318ක් හෝ 328ක් නොවී ඩොලර් මිලියන 308ක් වුනේ ඇයි? මහ බැංකුවට ඩොලරයක මිල පහත වැටීම පාලනය කරන්න අවශ්‍ය වී ඇතත්, ඒ යම් සීමාවක් තුළ පමණයි. අවශ්‍යව තිබුණේනම්, ඊයේ දිනය තුළ ඩොලරයක මිල රුපියල් 11.04කින් පහත නොවැටී අඩු ප්‍රමාණයකින් පහත වැටෙන්නට ඉඩ හරින්නට මහ බැංකුවට හැකියාව තිබුණා. මහ බැංකුව විසින් එසේ කර නැත්තේ රුපියල් 11.04කින් මිල පහත වැටීම මහ බැංකුවට ප්‍රශ්නයක් වී නැති නිසයි.

මෙහෙම කරන එකෙන් මහ බැංකුව අපේක්ෂා කරන්නේ රටට ඩොලර් අද්ද ගන්නද? එහෙම වෙන්න පුළුවන්. ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙද්දී බොහෝ දෙනෙක් ඉතා ඉක්මණින් තමන්ගේ ඩොලර් රුපියල් වලට මාරු කරනවා. මේ විදිහට රටට එන ඩොලර් වලින් සිදුවන්නේ කෙටිකාලීනව එකවර සිදුවන (one-off) ඩොලර් සැපයුමෙහි ඉහළ යාමක් පමණක් වුවත්, එම කෙටිකාලීන වාසිය ඉලක්ක කර ඩොලරයක මිල යම් තරමකින් පහත වැටෙන්නට ඉඩ දීමෙහි වරදක් නැහැ. එහෙත්, මෙම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා ඩොලරයක මිල මෙතරම් පහත වැටෙන්නට ඉඩ හැරිය යුතු නැහැ.

ආනයන හා අදාළව තවමත් තිබෙන්නේ කෘතිමව පාලනය කරනු ලැබ ඇති ඩොලර් ඉල්ලුමක්. ආනයන සීමා දිගටම තියා ගන්න බැහැ. ආනයන සීමා ඉවත් වෙද්දී ඩොලර් ඉල්ලුමද ඉහළ යනවා. එසේ ඩොලර් ඉල්ලුම නැවත ඉහළ යද්දී, ඩොලරයක මිල පහළ යන තරමට, නැවත මිල ඉහළ යාමේ විභවය ඉහළ යනවා. මිල පහළ යන වේගයෙන්ම නැවත ඉහළ යාමට මහ බැංකුව විසින් ඉඩ හරීයැයි මම හිතන්නේ නැහැ. ඔය අතර සංචාරක ඉපැයීම් ආදියද ඉහළ යනු ඇතත්, එය සිදු වනු ඇත්තේ ක්‍රමිකවයි. ඩොලරයක මිල පහළ යන තරමට ආනයන පාලන ඉවත් කිරීම සඳහා ගත වන කාලය දිගු වෙනවා.

මෙය මහ බැංකුව ජනමතයට යටවීමක් කියා කියන්නත් පුළුවන්. ඩොලරයක මිල පහත වැටෙනු දකින්නට ආණ්ඩුව කොහොමටත් කැමතියි. ආණ්ඩුවට එය ආණ්ඩුවේ දක්ෂකමක් සේ පෙන්වන්න පුළුවන්. අනෙක් අතට විපක්ෂයේ පක්ෂ බර දමන්නේද මේ අතටමයි. ඇතැම් විපක්ෂ දේශපාලනඥයින්ට අනුව “ආණ්ඩුව 200ට තිබුණු ඩොලර් එක 380ට වැඩි කරලා දැන් ඒක 300ට අරගෙන ලොකු දෙයක් කළා කියනවා”. මේ වගේ කතා හරහා නොකියා කියන්නේ “පුලුවන්නම් ඩොලර් එක නැවත 200 කරලා පෙන්නන්න. අපි ආවොත් ඔය වැඩේ කරනවා” කියන එකයි. මේ කාරණයේදී දේශපාලන පක්ෂ සියල්ලම වගේ ඉන්නේ එකම තැන. ඩොලර් එක අඩු වෙන ප්‍රමාණය මදි බව කියන අය මිසක් එසේ පහළ යාමෙහි වැරැද්දක් ඇති බවක් කියන අය ඉතාම අඩුයි.

මහ බැංකුවේ පැත්තෙන් බැලුවහම ඩොලරයක මිල පහත දැමීම කියා කියන්නේ උද්ධමනය අඩු කර ගත හැකි ෂෝට් කට් එකක්. එය හොර පාරක් මිසක් නියම පාර නෙමෙයි. ඩොලරයක මිල පහත යාමේදී සිදු වෙන්නේ එකවර සිදුවන (one-off) තාවකාලික මිල අඩු වීමක්. එයින් දිගුකාලීනව වෙන්නේ ඉල්ලුම් පීඩන ඉහළ යන එකයි. කෙටිකාලීනව, උද්ධමනයද පාලනය කරගෙන, සල්ලි අච්චු ගසමින් පොලී අනුපාතික අඩු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙය කරනවා වෙන්න පුළුවන්.

ඩොලරයක මිල පහත වැටීම පාලනය කරන්න මහ බැංකුවට තවමත් අවස්ථාව තිබෙනවා. සමහර විට සතිය ඇතුළත මහ බැංකුව එසේ කරයි. ඊයේ දිනයේදී දැකිය හැකි වූයේ අරමුදලේ සල්ලි ලැබෙන්න යාමේ කම්පනය වෙන්න පුළුවන්. ඉතිරි දවස් දෙකත් බලමු.

අලුත් අධිපති පත් වූ අලුත බ්රේක් නැති කාර් එකක් ගැන කතාවක් කිවුවා. දැන් තත්ත්වය දිහා බැලුවහම පේන්නෙත් ඒ වගේම දෙයක්. මේක බ්‍රේක් නැති කාර් එකක් නෙමෙයි. පොඩ්ඩක් කකුල තද කරන්න විතරයි තියෙන්නේ.

ඩොලරය මේ තරම් පහත යන වාතාවරණයක් ඇති කිරීම මහ බැංකුවේ දක්ෂකමක්. නමුත්, ඒක ප්‍රදර්ශනය කරන්න යන්න අවශ්‍ය නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan