*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රට ගැන හිතන ගෞරවාන්විත පුරවැසියෙක් අවශ්‍යයි -සමන්ත විද්‍යාරත්න

.

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 10, කොළඹ (LNW): බදුල්ල දිස්ත්‍රික් මහ සඟ සමුළුව අමතමින් ජාතික ජන බල වේගයේ සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ, විශාලා මහනුවර නොවුණත් තුන්බියට වඩා බියක් මේ වෙනවිට සමාජයට දැනිලා තිබෙන බවත් , ගොවියන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, රෝගීන්, ඉන්නේ බියෙන් බවත් , විශාලා මහනුවර ජනතාවගේ බිය, පරදවන බියකින් ඉන්නා බවද පවසයි.

වැඩිදුරටත් අදගස් දැක්වූ ඒ මහතා ,

“අද වෙනවිට අපේ මාතෘ භූමිය ඉතාමත් දුක්ඛිත තත්වයට පත්වෙලා. වසර 2500කට වඩා ඉතිහාසයක් බෞද්ධ ඉතිහාසයට තිබෙනවා. මෙවැනි අවස්ථාවක් හා සමාන කළ නොහැකි වුණත් බුදුන් වහන්සේ වැඩ වාසය කළ කාලයේ භාරතයේ විසාලා මහනුවර මහා දුර්භික්ෂයක් නිසා භීතියට පත්වූ අවස්ථාවේ ඒ තුන්බිය දුරුකරන්න භික්ෂූන් වහන්සේලා වැඩම කරලා සෙත් පතලා පත්වූ තත්වයෙන් මුදා ගත් බව සඳහන් වෙනවා.


වීදාගම හාමුදුරුවෝ ඒ ගැන බුදුගුණාලංකාරයේ එය ඉතා ලස්සනට කවියෙන් ලියා තිබෙනවා.
ගොඩ ගොඩ ඇටසැකිලි – තැන තැන තිබූ බලි බිලි
මහ මග රෙදි වැරලි – එපුර හැම තැන බලන් පිළිකුළි

විශාලා මහනුවර නොවුණත් තුන්බියට වඩා බියක් මේ වෙනවිට සමාජයට දැනිලා තිබෙනවා. ගොවියන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, රෝගීන්, ඉන්නේ බියෙන්. විශාලා මහනුවර ජනතාවගේ බිය, පරදවන බියකින් ඉන්නේ. ජාතිවාදය ඇවිස්සේවිද, මොන මොන ගැටුම් ඉදිරියේදී ඒවිද කියා බියකින් ඉන්නේ. අපි කාටත් පැවරී තිබෙනවා මේ බියෙන් මාතෘ භූමිය මුදා ගන්න. ආසියාවේ වැඩිම මන්දපෝෂණය තිබෙන්නේ ලංකාවේ. ලංකාව ගත්තාම, වැඩිම මන්දපෝෂණය තිබෙන්නේ ඌවෙ. 1815 මාර්තු 02 දා අධිරාජ්‍යවාදීන් විසින් කන්ද උඩරට ගිවිසුම ගහලා යටත් කරගත් රට මුදා ගන්න පළමුවෙනි සටන ඇති වුණේ ඌව වෙල්ලස්සේ. එදා ඌවේ සියලුම සම්පත් විනාශ කොට ගිනිබත් ප්‍රදේශයක් බවට පත්කළා. 1948 නිදහස ගත්තත් අද දක්වා මුදල් අමාත්‍යාංශයේ වාර්තාවල ලියැවෙන්නේ ලංකාවේ දුප්පත්ම පළාත ඌව පළාත ලෙසයි. සියඹලාණ්ඩුව තමයි ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස කිරුළ හිමිවෙලා තිබෙන්නේ. ලංකාවේ ප්‍රාදේශීය මට්ටමෙන් දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තමයි රිදීමාලියැද්ද.

වීදාගම හිමියන් සිටියා නම්, මෙහෙම කවියක් ලියාවි යැයි මට හිතෙනවා.
නෙර නෙර බඩ ගෙඩී – හැම තැන ඇසෙයි දුක් කෙඳිරිලි
කම්මල්, කඩ වැසෙයි නෙක රෙදි පිළි – මෙපුර වනසයි හොරුන් පාමින් රජකෙළී

මන්දපෝෂණය වැඩිවෙලා බඩගෙඩි නෙරලා. ඇස් නෙරලා. හරිහමන් පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න නොහැකි වෙලා. තුන්බියට වඩා බියක් ඇතිවෙලා. හොරුන් රජකෙළි කර, රට විනාස කරලා. ඒ නිසා මේ රට බේරා ගන්න අපට සිදුවෙලා තිබෙනවා මහා සංඝ රත්නය පෙරටුකරගෙන බිමට වඩින්නට. ධර්මය දේශනා කර, සත්‍ය අවබෝධ නොකරගත් මිනිසුන්ට සත්‍ය පෙන්වා දෙන්න සිදුවෙලා තිබෙනවා. අපි පසුගිය දවසක රාජමහා විහාරස්ථානයකට ගියා. එහි නායක හාමුදුරුවෝ කිවුවා “මහත්තයෝ, රටේ පීඩාව අපේ පන්සලටත් තිබෙනවා” කියලා. ගිහි පැවිදි 35දෙනෙක් ඉන්නවා. අපිට දැන් ලැබෙන දානෙ ප්‍රමාණවත් නැහැ කිවුවා. ඌව පරණගම පිරිවෙනකදී කිව්වා, “මේ පිරිවෙනේ ස්වාමීන් වහන්සේලා හතළිහකට වැඩිය වැඩමවා සිටිනවා” මේ දවස්වල දානෙට වැඩියෙන්ම ලැබෙන්නේ “චව් චව්, මැල්ලුම්” කොළ කිවුවා. දැන් ස්වාමීන්වහන්සේලාට වළඳන්න තරම් දානය ලැබෙන්නේ නැහැ. ඒ තත්වයට මිනිසුන්ගේ ආර්ථිකය, ජන ජීවිතය කඩා වැටිලා.

අපිට තුන්බිය වඩා දැන් තිබෙන්නේ, රාජපක්ෂ බිය, රනිල්ගේ බිය, ප්‍රේමදාසලගේ, සිරිසේනලාගේ බිය තිබෙනවා. අපේ රට මේ තත්වයට පත්කළේ ඒ අය තමයි. ඒ බිය නැති කරන්න ජාතික වශයෙන් නැගිටීමක් අවශ්‍යයි. අපට ලොකු කාර්යභාරයක් තිබෙනවා. සියලු ක්ෂේත්‍ර සංවිධානය වීමක් අවශ්‍යයි. මේ රටේ ජාතියට මඟ කියන, මහා සංඝරත්නය මේ විදිහට පෙරමුණ ගැනීම, බල මුළු ගැන්වීම රටේ මිනිස්සුන්ට මහා ආස්වාදයක්, බලාපොරොත්තුවක් ගෙනදෙනවා. ඒක අපට ශක්තියක්. මේ රටේ මහා සංඝ රත්නය ජාතික භික්ෂු පෙරමුණ හරහා ජාතික ව්‍යාපාරයක් ලෙස එකතු වී සිටිනවා. මේ රටේ ආචාර්ය මහාචාර්යවරු, පරිපාලන සේවයේ නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ ඉහළ සිට පහළ දක්වා නිලධාරීන්, ගොවියන්, කාන්තාවන්, ධීවරයන්, ත්‍රී විලර් රථ රියදුරන්, එකතු වෙමින් ඉන්නවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම ජාතික ව්‍යාපාරයක් ගොඩනැගෙමින් තිබෙනවා. රටේ සෑම නගරයකම තිබන බිය, 2024 වසරේ මේ ජාතික ව්‍යාපාරය විසින් මේ රට මුදා ගන්නවා නියතයි. අපි බලය ගත් විගසම මේ රට පුනරුද ව්‍යාපාරයකට හරවනවා.

බොහෝ දෙනා සංවර්ධනය ලෙස තේරුම්ගෙන තිබෙන්නේ භෞතික සංවර්ධනය පැත්ත විතරයි. පාරවල් කොන්ක්‍රීට් කරගන්න, විදුලිය ගන්න, වතුර ගන්න, කෑම ටික සොයාගන්න. සංවර්ධනයේ කොටස් දෙකක් තිබෙනවා. එය නම් අධ්‍යාත්මික සංවර්ධනය හා භෞතික සංවර්ධනයයි. වර්තමානයේ භෞතික සංර්ධනයට වඩා ආධ්‍යාත්මක සංවර්ධනය බිඳ වැටිලා. මේ රට සංවර්ධනය වෙන්න නම්, ජාතිවාදය පරදවා තිබෙන්නේ ඕනෑ. එය අයිති ආධ්‍යාමික සංවර්ධනයට. සියලු ජාතිකත්වයන්, සියලු ආගමිකයන්, එක තැනක සමගියෙන්, සතුටින් එක තැනකට ගන්න පුළුවන්. ඉතිහාසයේ සිට ආධ්‍යාත්මක සංවර්ධනය ඇති කර ගන්න බැරිවුණා. ඒ නිසා ඇනකොටා ගත්තා. ජීවිතවලින් වන්දි ගෙව්වා. ඒ නිසා ජාතික සංහිඳියාව ගොඩනගා ගත යුතුව තිබෙනවා. අධ්‍යාත්මික පැත්ත පොහොසත් නම්, ප්‍රජාතන්ත්‍රවාදය හොඳට තිබෙන්නේ ඕනෑ. අද සෑම පැත්තකින්ම මර්දනය දියත් වෙමින් තිබෙනවා. මාධ්‍යයට, සමාජ මාධ්‍යයට මර්දනය ඇවිත් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස උදුරාගෙන තිබෙනවා. මෛත්‍රිය, කරුණාව, මනුස්සකම, විනයගරුක බව, වැනි ආධ්‍යාත්මික ගුණාංග තියෙන්න ඕනෑ. අපේ බලයක් ඇතුලේ අපි ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන් ඩොලර් හොයාගන්න පුළුවන්. චීනෙන්, ඇමෙරිකාවෙන් ණයක් ගන්න පුළුවන්. නමුත් ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, ආදරය, මෛත්‍රීය, කරුණාව, විනය ණයට ගන්න බැහැ. ඒක හදා ගන්න ඕනෙ රට ඇතුලේ.

මේ රටේ ආධ්‍යාත්මික වගාව ඇති කරන්න අපි බලාපොරොත්තු වෙන ආයතන කිහිපයක් තිබෙනවා. එහි ප්‍රධානම තැන තමයි ගෞරවණීය මහා සංඝරත්නය, අන්‍යාගමික පූජ්‍ය පක්ෂය. ඔබ සියලු දෙනාටම මේ රටේ මිනිස් සිත් පොහොසත් කරන්න පුළුවන්. ආකල්ප හොඳ තැනකට ගේන්න පුළුවන්. ධනවත් මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන්. ඒකට අපි රජයක් හැටියට සූදානම් පහසුකම් දෙමින් ඒ කාර්යභාරය කරන්න. ආධ්‍යාත්මික පැත්ත ගොඩනගන්න හැකි ප්‍රබල ආයුධයක් තමයි අධ්‍යාපනය. මේ රටට අවශ්‍ය ගෞරවාන්විත පුරවැසියෙක්, එඩිතර, ජවයක් තිබෙන රට ගැන හිතන මනුෂ්‍යයෙක් අවශ්‍යයි. ඒ සඳහා අධ්‍යාපනයේ සැලකිය යුතු වෙනස් කම් කිහිපයක් කළ යුතුව තිබෙනවා. ඒකට අපි සූදානම්. ඒ වගේම ආධ්‍යාත්මික පැත්ත ගොඩනඟන්න හැකි අනෙක් ප්‍රබල ආයුධය තමයි කලාව, සාහිත්‍යය, සංස්කෘතිය. මිනිස් සිත් වෙනස් කළ හැකි සංවේදී තැනක්. අපි ළඟදිම සියලුම සාහිත්‍යවේදීන්, කලාකරුවන් එක් කළ මෙවැනිම දැවැන්ත සමුළුවකට යන්න සූදානමින් ඉන්නවා. ඔවුනුත් මේ පුනරුද ව්‍යාපාරයේ කොටස්කරුවන් කරනවා. ආධ්‍යාත්මය හදන ප්‍රබල අනෙක් තැන තමයි, ජනමාධ්‍යය. මාධ්‍යයට වැරදි දේ ගෙනත් මනස විකෘති කරන්නත් හොඳ ගෙනත් දේවල් ගෙනත් උසස්, ගුණවත්, පොහොසත්, ජාතියට අවශ්‍ය මිනිස්සු නිර්මාණය කරන්නත් පුළුවන්. ආධ්‍යාත්මය ගොඩනැගීමේ විශාලම කාර්යභාරය ඉතිහාසයෙත් ඔබ වහන්සේලාට පැවරුණා. අනාගතයෙත් ඒ වගකීම ඔබ වහන්සේලාට පැවරෙනවා.

සමාජය යහපත් දිසාවකට ගෙනයාම වෙනුවෙන් අපේ සමාජ වගකීම ඉටුකරමු
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය රුවන් රණසිංහ

අපි ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස ගොඩනැගෙන්න පටන් ගන්නේ මහින්දාගමනයෙන් පස්සේ. ඒ සමාජය ගොඩනැගීමේ පවුර වුණේ මහා සංඝරත්නයයි. 1815 මාර්තු 02 වලව් කිහිපයක් එකතු වෙලා අත්සන් කරපු කන්ද උඩරට ගිවිසුමෙන් අපේ රටේ අනාගතය විදේශිකයන්ට ලියලා දෙන දවස වෙනකම් අපේ ස්වයං පෝෂිත සමාජය තිබුණා. අපේ රටේ කර්මාන්ත ගැන කියනවා, අටමස්ථානය, සීගිරය, සොරබොර වැව මේ විශිෂ්ට නිර්මාණ ඒ සමාජය විසින් නිර්මාණය කළ ඒවා. 1948 නිදහස ලබන අවුරුද්ද වෙනකම් අවුරුදු 133ක් අධිරාජ්‍යවාදීන් යටතේ පාලනය වුණා. ඒ කාලයේ බදුල්ල දුම්රිය ස්ථානය, තේ කර්මාන්ත ශාලා, අපේ මේ අධ්‍යාපන ක්‍රමය, අධිකරණ ක්‍රමය අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ අපේ රටට උරුම වුණු දේවල්. මේ විදිහට බලනකොට ඒ වසර 133තුළත් යම්කිසි ප්‍රගමනයක් තිබිල තිබෙන බව අපිට පේනවා. 1948 පෙබරවාරි 04දායින් පසුව එතෙක් පාලනය කළ පිරිස් සතුටින් මේ රටෙන් ගියේ, තමන්ට සුවච කීකරු කළු සුද්දන් පිරිසකට මේ රට බාරදීලා. ඒ වසර 76 තුළ බලන විට අපට පේන්නේ සමාජය බරපතළ ලෙස පිරිහීමකට ලක්වෙලා තිබෙන බවයි. 1948 කිසිවෙකුට ණය නොතිබූ අපේ රටට මහා ණය බරක් ඉතිරිවී තිබෙනවා.

බෙහෙත් ටිකක්, තෙල් ටිකක්, දරුවෙකුට හොඳ අධ්‍යාපනයක්, ආහාර වේලක්, සෞඛ්‍ය පහසුකමක් දෙන්න බැරි මහා විනාශයකට මේ රට ගෙනත් තිබෙනවා. මේ රටේ නිදහස් සටන් ඇති වුණා. ඒ සඳහා මුළු දුන්නේ විහාරස්ථානවල. ඒවට නායකත්වය දුන්නේ අපේ හාමුදුරුවන් වහන්සේලා. මේ රටට මේ යුගයේ අත්‍යවශ්‍යම කරුණක් නැවත මේ සිදුවෙන්නේ. නැවත වරක් පෙරමුණට පැමිණීමම සුභ ලකුණක්. ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙරමුණ ගත් යතිවරයාණන් වහන්සේලාට යෝධ ශක්තිය හා සුබ පැතුම් එකතු කරනවා. ඒ වගේම මම ගෞරවපූර්වකව ආරාධනා කරනවා මේ සමාජය වෙනස් කරන්න, ඔබ වහන්සේලා නායකත්වය ගන්න, ඒ සඳහා අනුශාසනා කරන්න, උපදෙස් ලබාදෙන්න.
ඒ වගේම අන්‍යාගමික පූජකතුමන්ලා අපි ඉතිහාසයේ සිට සහයෝගයෙන් ජීවත් වුණා. මේ කූඨ දේශපාලකයා ඔවුන්ගේ බලය ලබා ගැනීමට සහ පවත්වාගෙන යාමට සමාජය භේද භින්න කරමින් ඉන්නවා. මෙය තේරුම් ගෙන සමාජය නැවතත් යහපත් දිසාවකට ගෙනයන්න ජාතික ජන බලවේගයත් සමග එකතු වී අපි අපේ සමාජ වගකීම ඉටුකරමු. ඒ සඳහා පෙරමග කීම අපේක්ෂා කරමු.” ලෙස කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan