කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ ප්‍රංශ භාෂාවෙන් ලෝකයේම දෙවැනි තැන ලංකාවේ මලීෂාට

Date:

කේම්බ්‍රිජ් ජාත්‍යන්තර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රංශ භාෂා විෂයයෙන් ලෝකයේම දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සපුගස්කන්ද යොෂීඩා ෂෝකන්ජි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන මලීෂා හේවගේ සිසුවිය සමත්ව තිබේ.

“අපේ රටේ සාමාන්‍ය පෙළ විභාගය වගේ තමයි කේම්බ්‍රිජ් O/L විභාගය. මුළු ලෝකයේම එකම විෂය නිර්දේශයක් යටතේ අධ්‍යයන කටයුතු කරලා එකම විභාගයක් තමයි පවත්වන්නේ. එතනදී ප්‍රංශ භාෂාව විෂයයට මම ලිවීම, කියවීම, සවන්දීම සහ භාෂා හැකියාව යන කොටස් හතර යටතේ විභාගයට පෙනී සිටියා. එතැනදී මට ලකුණු 96ක් ලැබුණා. එයින් තමයි මම ලංකාවෙන්ම වැඩිම ලකුණු අරගෙන පළමුවැනියා (Top in Sri Lanka) වුණේ. ඊටපසුව ඔවුන් ලෝකයේම විභාග අපේක්ෂකයින්ගේ ලකුණු සාරාංශගත කරනවා. එතැනදී මට තමයි ලෝකයෙන්ම දෙවැනියට වැඩිම ලකුණු තිබුණේ” යැයි මලීෂා හේවගේ පැවසුවා.

මලීෂාගේ දෙමව්පියන් ඩුබායි රාජ්‍යයේ රැකියා කරන සමයේදී මලීෂා ඩුබායි හිදී උපත ලබා තිබුණු අතර ඇයට තව සහෝදරියක් ද සිටී. ඇය 07 ශ්‍රේණිය දක්වා ඩුබායි හි පාසැලකින් අධ්‍යාපනය ලබා තිබුණු අතර පසුගිය කොරෝනා සමයේදී දෙමව්පියන්ගේ රැකියාවල සිදුවූ වෙනසක් නිසා ඔවුන් පවුල පිටින්ම ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණ ඇත. ඒ අනුව ඇය 08 ශ්‍රේණියේ සිට සපුගස්කන්ද යොෂීඩා ෂෝකන්ජි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබයි.

එහිදී 2024 ජුනි මාසයේ පැවති කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රංශ භාෂා විෂයයට ලංකාවෙන්ම පළමු ස්ථානයත් ලෝකයෙන්ම දෙවැනි ස්ථානයත් දිනාගැනීමට මලිෂා සමත්ව ඇත.

යොෂීඩා ෂෝකන්ජි ජාත්‍යන්තර පාසල ආරම්භ කර ඇත්තේ ජපානයේ මහා දානපති බෞද්ධ උපාසිකාවක් වන තකිකෝ යොෂීඩා මැතිනිය සහ බානගල උපතිස්ස හිමියන් විසිනි. ඉතාම ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් සිය සිසු සිසුවියන්ට ලබාදීම සම්බන්ධයෙන් එම පාසල ප්‍රසිද්ධියක් උසුළයි. එහිදී මලීෂාගේ ප්‍රංශ භාෂා ගුරුවරිය වී ඇත්තේ විරන්දි ප්‍රනාන්දු මහත්මියයි. එසේම පාසලේ ප්‍රධාන විධායක නිලධාරිනී අම්බපාලි සිකුරාජපති මහත්මිය සහ නියෝජ්‍ය විදුහල්පතිනී ජිනානි පොතුපිටිය මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මලීෂාගේ ජයග්‍රහණයට දැවැන්ත ශක්තියක් වූ බවයි මලීෂාගේ මව සඳහන් කරන්නේ.

“මලීෂා පුංචි කාලෙ ඉඳලාම ප්‍රංශය ගැන තොරතුරු හොයන්න, ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න ආසයි. ඇය නිතරම අන්තර්ජාලයට ගිහින් ඒ ගැන කරුණු හොයනවා. ඇය වසර ගණනාවක් තිස්සේ කළ කැපවීමක ප්‍රතිඵල තමයි මේ. මගේ රටට ගෞරවයක් ගෙනත් දෙන්න ලැබුණු එක ගැන දෙමව්පියන් වශයෙන් අපි සතුටු වෙනවා. මේ වනවිට ඇය වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරනවා. එතැනදී ප්‍රංශ භාෂාව උසස් පෙළටත් තෝරාගෙන තිබෙනවා. මලීෂාගේ එකම බලාපොරොත්තුව අනාගතයේදී සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කරන්නයි. ඒ සඳහා අපේ උපරිම සහයෝගය අපි ලබා දෙනවා” යැයි මලීෂාගේ මව වන කේ. ටී. ඒ. ලක්ෂ්මි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...