අභිනව අමරපුර මහානාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි!

Date:

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මහානායක හිමිපාණන් වහන්සේ වෙත විජිනිපත පිළිගන්වනු ලැබීය.

වර්ෂ 1948 ඔක්තෝබර් මස 01 වන දින මාතර කඹුරුපිටියේදී උපත ලබා වර්ෂ 1962 අග්ග මහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ වෙතින් ප්‍රවෘජ්ජාව ලබා උතුම් පැවිදි දිවියට ඇතුළත් වූ පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ සිය හැට වසරකට අධික භික්ෂු ජීවිතය තුළ ඉටු කරන ලද ශාසනික, ආගමික, සමාජයීය සහ අධ්‍යාපනික සේවාව අගයමින් අමරපුර මහා නිකාය විසින් උන්වහන්සේ වෙත අභිනව මහානායක ධුරය පිළිගන්වනු ලැබ තිබේ.

මෙම පුණ්‍ය මහෝත්සවය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ විනාශයට පත් සමාජය යළි සුවපත් කරමින් සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මෙරට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි මහඟු වගකීමක් පැවරී තිබෙන බවයි.

ආර්ථික සහ දේශපාලන වශයෙන් කොපමණ ජයග්‍රහණ ලැබුවද යහපත් සමාජයක් නිර්මාණය කර නොගතහොත් එම කිසිවකින් ඵලක් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙරට කඩා වැටී ඇති සමාජ දේහය යළි සුවපත් කිරීම නීතියෙන් පමණක් කළ නොහැකි බවත් සහකම්පනය සහිත සමාජයක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපැවැත්ම වෙනුවෙන් බුදුන් වහන්සේ ඇතුළු සියලු ආගමික ශාස්තෘවරුන් දේශනා කළ විමුක්තියේ හරය පිළිබඳ ප්‍රබල කතිකාවතක් කඩිනමින් රටට අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.

බෞද්ධ කතිකාවත පිළිබඳ පනත සම්බන්ධයෙන් මේ වන විට මහානායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තිවල සංශෝධන කෙටුම්පත් කර අවසන් බවත් පැවසූ ජනාධිපතිවරයා එය ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවේ සම්මත කර සංඝ සංස්ථාව විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය බලය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාව වෙත පැවරීමට කටයුතු කරන බවද පැවසීය.

මහා නාහිමි චරිතාපදානය ඇතුළු සමරු ග්‍රන්ථ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරුද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රජයේ මැතිඇමතිවරුද, විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, විහාරස්ථ දායක සභා සාමාජිකයෝ සහ සැදැහැවත්හු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත; ප්‍රහාර අඛණ්ඩව’ – ඉරාන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිට සුළු මොහොතකට...

“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : කළුතර වස්කඩුව, වාඩියවත්ත...

කඩාවැටෙන කොටස් වෙළඳපොලේ විදේශීය මිලදී ගැනීම් වාර්තාගත ලෙස ඉහළට !

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය ජුනි 12 වනදා සිටම ක්‍රමිකව...