රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW:
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (East Container Terminal) බහාලුම් අංගනයේ මංතීරු දහයක වාණිජ මෙහෙයුම් දෙසැම්බර් මස අවසානයට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම පියවර මගින් කොළඹ වරායේ පවතින තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය.
පරීක්ෂණ කටයුතු සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, එම මංතීරු දහයෙන් එකක දැනටමත් පූර්ණ ස්වයංක්‍රීය වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉතිරි මංතීරු නවයෙහි වාණිජ මෙහෙයුම් දෙසැම්බර් මස අවසානය වන විට ආරම්භ කිරීමට නියමිත අතර, ඒ අනුව මංතීරු දහයම ක්‍රියාත්මක තත්ත්වයට පත්වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය මාස කිහිපය තුළ කොළඹ වරායේ තදබදය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, මැද පෙරදිග පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් තවත් නෞකා වරාය වෙත පැමිණීමේ ඉඩකඩ වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.


