ශ්‍රී ලංකාව තුළ ලිංගික අපරාධ, ලිංගික හිංසන, ළමා අපයෝජන සිද්ධි කොතෙකුත් වාර්තා වුව ද, මීට පෙර මතු නොවූ අවධානයක් ඒ පිළිබඳව යොමු වී තිබේ.
ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් කිරීමේ සිද්ධියත් සමග ය.
පසුගිය සඳුදා දිනයේදී (මාර්තු 10) සිදුව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
‘රෝහලක් තුළ වෛද්‍යවරියකට මෙහෙම වෙනවා නම් අන් ස්ත්‍රීන් ගැන කතා කිරීමෙන් ඵලක් නෑ’
වෛද්‍යවරියක ද වන හිටපු අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ, රාජකාරියේ නිරතව සිටින අතරතුර වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක්වීම බරපතළ කරුණක් බව ය.
මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඇය පෙන්වා දුන්නා ය.
“රෝහල තුළ ඔන් කෝල් ඉන්න වෛද්‍යවරියකට ලිංගික හිරිහැර වෙනවා නම් සාමාන්‍ය ගැහැනු දරුවෙක් ගැන කතා කරලා වැඩක් නෑ. පාසල්වල දරුවෝ අපයෝජනයට ලක්වුණ අවස්ථා එමට යි. නීතිය හරියට ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. මේ අපයෝජකයන්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. අධිකරණය තුළ ගොඩක් ප්‍රමාද වෙනවා මේ නඩු. නඩු අහනකොට සමහර පුංචි අය වැඩිවියට පත් වෙලා නිසා සාක්ෂි දෙන්න එන්නෙ නැති අවස්ථා තියෙනවා. එතකොට නඩු අහක යනවා. එතකොට චූදිතයෝ නිදැල්ලේ යනවා. සම්පූර්ණ පද්ධතිය ම සකස් කර ගන්නකම් මේවා අවම කර ගන්න බැරි වෙයි.”
‘දඬුවම් දීම කඩිනම් කළ යුතු යි’
සේවා ස්ථානය තුළ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු වීම බරපතළ සිදුවීමක් බව කාන්තා සම්පත් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුමිකා පෙරේරා පවසයි.
ඇය පෙන්වා දුන්නේ, නීතිය ක්‍රියාත්මක වීම කඩිනම් කළ යුතු බව ය.
"දඬුවම් කිරීම අත්‍යවශ්‍ය යි. හැබැයි දඬුවම් කිරීමෙන් පමණක් මේවා නතර කරන්න බැහැ. කාන්තාවන්ට ආරක්ෂාවක් අවශ්‍ය යි. ඒ වගේ ම මෙවැනි අපරාධ නොවන සමාජයක් ගොඩ නගන්නත් අවශ්‍ය යි. ස්ත්‍රියට ගෞරවාන්විතව සලකන සමාජයක් අපට අවශ්‍ය යි."
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ඇය සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබිණි.
‘මරණ දඬුවම දිය යුතු යි’
ලිංගික අපයෝජන ඇතුළු අපරාධ මර්දනය කිරීම සඳහා පළමුවෙන් ම ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් විය යුතු බව නීතිඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දෙයි.
ඇය පවසන්නේ, රට තුළ ප්‍රමාණවත් නීති පද්ධතියක් පැවතිය ද ඒවා ක්‍රියාත්මක වීම නිසි පරිදි සිදු නොවන බව ය.
“පළවෙනියට ම කියන්න තියෙන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ටික ශක්තිමත් වෙන්න ඕනෙ. නීතිය තියෙනවා. නීතිය පැහැදිලි යි. අපේ රටේ නීතියෙ කිසි ම ප්‍රශ්නයක් නෑ. නීතිය තියෙනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන ටික තියෙනවා නේ. නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය, අමාත්‍යංශ ඒ වෙනුවෙන් කරන කැපවීම් මොනව ද? ඒවා ක්‍රියාත්මක කරන්න මොනවා ද කරන්නේ කියන එක යි ප්‍රශ්නය. අපේ රටේ අපරාධකාරයෝ බය නැති ප්‍රධාන හේතුව තමයි, අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන දූෂිත යි. ඒ නිසා අපරාධකාරයෝ ඕන ම වරදක් කරන්න බය නෑ.”
ඇය අවධාරණය කළේ, ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධයෙන් ‘අනිවාර්යයෙන් ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු’ බව ය.
“මේ අපරාධ නවත්වන්න නම් පාලකයින්ට ඇත්තට ම වුවමනාවක් තියෙන්න ඕනෙ ඒකට. අපරාධයක් කරන අයට දඬුවමක් ලැබෙන්න ඕනෙ. එහෙම නැතුව අපේ රටේ ස්ත්‍රී දූෂණ නවත්වන්න බෑ. ඒ නිසා, එකක් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. මම කියන්නේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනී මැරීම් කරන අයට අනිවාර්යයෙන් මරණීය දණ්ඩනය දෙන්න ඕනෙ. ඒකට නීති සංශෝධනය කරන්න ඕනෙ. අනිත් එක නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දූෂණය නැති කරන්න ඕනෙ.”
‘මරණීය දණ්ඩනය පිළියමක් නෙවෙයි’
මේ අතර, මරණීය දණ්ඩනය පැනවීමෙන් මෙවැනි අපරාධ මර්දනය කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස්ගේ අදහස යි.
ඔහු පෙන්වා දෙන්නේ, මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතු බව ය.
උදාහරණයක් ලෙස රස පරීක්ෂණ වාර්තා ලබා දීමට ගත වන කාලය අවම කර ගැනීම වැනි පියවර ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.
“නීතිමය කටයුතුවලට සම්බන්ධ ආයතන කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕන. තවත් සැලකිය යුතු ප්‍රශ්නයක් තමයි, ලංකාවේ අධිකරණ සංඛ්‍යාවේ අඩුවක් තියෙනවා. ලංකාවේ අපරාධ නඩුවලට සාපේක්ෂව අධිකරණ සංඛ්‍යාව මදි. ඒ වගේ ම, රස පරීක්ෂණ වාර්තා ලැබෙන්න විශාල කාලයක් ගත වෙනවා. ඒවා වෙනස් කළොත් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වෙයි,” නීතිඥ සාලිය පීරිස් පැවසීය.
මේ අතර, මරණීය දණ්ඩනය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය (DPIC) නිකුත් කර ඇති දත්ත අනුව, ඇමෙරිකාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවන ජනපදවලට වඩා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ජනපදවල ඝාතන සිදුවීම් වැඩි අගයක් ගන්නා බව පෙනී යයි.
ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, එම දත්ත සැලකීමේදී මරණීය දණ්ඩනය පැනවීම තුළින් අපරාධ අඩු වන බවට නිගමනය කළ නොහැකි බව ය.
වත්මන් දඬුවම් මොනවා ද?
වත්මන් නීති පද්ධතිය තුළ ලිංගික අපරාධයකට මරණීය දණ්ඩනය නියම කළ නොහැකි අතර ලබා දිය හැක්කේ සිර දඬුවමක් පමණි.
ඒ, වසර 7 සිට වසර 20 දක්වා කාලයක් සඳහා ය.
අධිකරණ ඇමතිගේ ප්‍රකාශය
මෙම සිද්ධියට අදාළ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසීමක් කළේ ය.
ඔහු පැවසුවේ, වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන අතර, එවැනි අපරාධ සම්බන්ධයෙන් සිදුවන අධිකරණ කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ය.
BBC
