සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 21, (LNW)කොළඹ
ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඒ මොහොතේ සිටිය තත්ත්වය මත මෙන්ම අලුත් සංකල්පයක් හැටියට එය පැළවෙන මුල් කාල තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල වශයෙන් ඊට ඇතුළත් වීමට දොර හැරිණ.ඒ අනුව 2008 – 12, 2009 – 14, 2010 – 13, 2011 – 11,2012 – 10 සහ 2013 – 13 ලෙස එම සහභාගීත්ව සංඛ්‍යාව දැක්විය හැකිය.
එහෙත් ඉන් අනතුරුව තරගකාරී ස්වභාවය මෙන්ම ලෝකය පුරා විස්සයි විස්ස යනු වෙනම සංස්කෘතියක් වෙද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එය පහසු නොවීය.එසේම යම් පසුබැස්මක් ද ක්‍රීඩා අතින් සිදු වූ බව ද අප පිළිගත යුතුය.ඒ අනුව අපට ඉන්දියානු ප්‍රිමියර් ලීගය නොහොත් අයිපීඑල් තරගාවලියේ වැඩිම ලාංකේය සහභාගීත්වය දකින්නට ලැබෙන්නේ 2022 වසරේදී ය.එම ප්‍රමාණය 6 කි.
ගෙවුණු කාලය ශ්‍රී ලාංකේය ක්‍රිකට්වලට සුන්දර මතක ඇති කාලයක් නොවේය.දේශපාලනික වශයෙන් ඇතැම් අය ක්‍රිකට් පරිපාලනයට එරෙහි වීම සඳහා මාර්ග සකස් කර ගත් අතර එය පීඩනයක් විදිහට පටවන්නට කටයුතු කළේ පිට්ටනිය මතය.එය වැදගත් සාධකයකි.පිට්ටනියේ අසාර්ථක ප්‍රතිපල ඉතා පහසුවෙන් ක්‍රිකට් අසාර්ථක බව කීමට සාධකයක් වන අතර ක්‍රීඩකයාගෙන් වන හානි සියල්ල පරිපාලනයේ ගෙල බැඳ ගිල්වා මරා දැමීම අපේක්ෂාව විය.
එහි ප්‍රතිපලයක් ලෙස දේශපාලන බලධාරීත්වය විසින් ක්‍රිකට් විසුරුවා හැරීමට ද ක්‍රියා කළ අතර එහෙත් එම විසිරීමේ තිබුණු පිළිගත නොහැකි තත්ත්වය සළකා බැලූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වාධීනත්වයට වන අකුල් හෙලීම සළකා,ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක් කළේය.
මේ හැලහැප්පීම් සමඟ වැටුණු සහ ගැටුණු ක්‍රිකට් නැවත උපද්‍රවයකින් තොරව නඟා සිටුවීම පහසු නැත.මෙහිදී නොසැලී සිටීම වැදගත්ය.එසේම පිළිතුරු යනු වචනවලින් ඔබ්බට නිසි ක්‍රියාවමය.ඒ ඉවසීම සහ සංයමය හරහා කාන්තා සහ පිරිමි ක්‍රිකට් බිම් මට්ටමේ සිට කෙළින් කර තැබීමේ බර දරා ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදු විය.
පාසල් මට්ටමෙන් දෙනු ලබන වරප්‍රසාද පුළුල් කළ අතර ගමට වැඩියෙන් ක්‍රිකට් සමීප කරවීමේ උවමනාව දැඬිව පෙනෙන්නට විය.මේවා සර්ව සම්පූර්ණ ලෙස සිඳු විණි ද යන්න සම්බන්ධයෙන් ගැටළු සාකච්ඡාවට බඳුන් කරන අතරේ ලංකාවේ ප්‍රාදේශීය මට්ටමට පහසුකම් බෙදී යාම මෙන්ම ප්‍රාදේශිය වශයෙන් ජාතික තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්මාණය විම පළල වූ බව ද පිළිගත යුතුය.
ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් මොණරාගල සිතියමක හෝ නොතිබිණ.එහෙත් අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමට මෙන්ම ජාතික කණ්ඩායමට ද මොණරාගලින් ක්‍රීඩිකාවෝ ආහ.පිරිමි ජාතික කණ්ඩායමට ඩිලාන් මධුශංක,ප්‍රමෝද් මධුශාන් ගේ නම් ඇසෙන්නට විය.ඔවුන්ට ජාතික කණ්ඩායමට එන්න පාරක් සැකසී තිබුණ බැවිනි.මේ තත්ත්වයට රත්නපුරෙන් පැමිණි ඒෂාන් මාලිංග හොඳම උදාහරණයකට ගත හැකිය.එසේම වාරියපොළ මිලාන් රත්නායක ද උදාහරණයක්ය.ගමේ නගරයට පැමිණ අභියෝග කරන්නට හැකි ක්‍රිකට් ක්‍රීඩාවක් අහම්බයකින් හෝ ඉන්ද්‍රජාලමය ආකාරයට බිහි නොවිණ.ගමට දක්ෂයන් සොයා යාමට ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මෙන්ම වෙනත් අංශවලටද අදහසක් පහළ වුණේ ගමේ ක්‍රිකට් බිහි වී තිබුණ නිසාය.
වැටුණු පසුව නැඟිටින්නට අපහසුය.එයට විවිධ ප්‍රතිකර්ම සාත්තු අවශ්‍යය වන්නේය.නැගිටිය යුතු දොස්තරට වැටුණු ලෙඩාට නිසි ප්‍රතිකාර නොකරන බවට අනේක දොස් එල්ල වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙඩා කළබල වුණාට දොස්තර කළබල විය යුතු නැත න්‍යායෙන් වැඩ කටයුතු සිදු කරගෙන ගියේය.මේ සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජයේ ඇත.ඇතැමෙකු ඉන්දීය ප්‍රමියර් ලීග් තරගාවලියට යාම අනවශ්‍යය බව කීමට හැකිය.ලෝකයේ ඉහළම වෘත්තීය තරගකාරීත්වයක් ඇති තරගාවලියක කණ්ඩායමකට තේරීම පහසු නැත.ඒ අභියෝගය ජයගැනීම යනු කෙනෙකු දේශප්‍රේමීත්වයට නොගැලපෙන වැඩක් ලෙස සළකයිනම් ඔහු හෝ ඇය ලෝකය සමඟ යාවත්කාලීන නොවීමේ ගැටළුවෙන් පීඩාවට පත් වූවෙකු විය යුතුය.
මෙහි හොඳ නරක ගැන මිශ්‍ර හැඟීම් යම් ආකාරයකින් අපටත් තිබිය හැකිය.එහෙත් ඇත්තම කාරණය ක්‍රීඩකයා යනු වෘත්තීයකි.එම වෘත්තියටම වෙනත් වෘත්තියක් කරන්නෙකු අපේක්ෂා කරන ආකාරයටම වැඩි ආදායමක් උපයන්නට අවස්ථාව තිබිය යුතුය.ඒ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වැඩි පුර ලැබෙන්නේ ඔවුන් වැඩි දක්ෂතා ඇත්තන් වීම නිසාය.මේ ඇත්තට රටේ පවතින ක්‍රිකට් විවේචනය කරන්නෙකුට වුව ඒ සම්බන්ධයෙන් පවතින ක්‍රිකට්වල ඇති සාධනීය ගුණාංග නොසළකා සිටිය නොහැකිය.ඊට හොඳම උදාහරණය ඒ ගමන පැමිණෙන විට මේ මොහොතේ ජාතික කණ්ඩායමටත් පෙර ක්‍රීඩකයාව ලෝකය හඳුනාගන්න මට්ටමට ක්‍රිකට් හී ඇති ගෝලීය ගුණය ඔස්සේ අද නිතර කතා කරන මාතෘකාවක් බවට පත්ව සිටින එ්ෂාන් මාලිංග වැන්නෙක් ඊට තේරී පත්වීමය.ඒ නිසා රටේ වැටුණු තැනින් ක්‍රිකට් නැගිට ඇති බව කියන්නට මැලි වන්නෙකුට වුව, නැගිටමින් තිබෙන බව පිළිගන්නට එය උදාහණයකට ගත හැකිය.
නිල වශයෙන් මේ වන විට අටක් ලෙස හැඳින්වුව ද,වෙනත් අතිරේක කාර්යයන් සඳහා ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ හැකියාව උරගා බලමින් සිටින බවට තොරතුරු ඇත.එසේම තවත් අයට ඉඩ සැළසෙන බවද දැන ගන්නට ඇත.පහත දැක්වෙන්නේ මේ වන විට නිල වශයෙන් අයිපීඑල් විසින් පිළිගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අට දෙනාය.දසුන් ශානක,වනිඳු හසරංග,මතීෂ පතිරණ,මහේෂ් තීක්ෂණ,දුෂ්මන්ත චමීර,නුවන් තුෂාර,ඒෂාන් මාලිංග සහ කමිඳු මෙණ්ඩිස්
