*
Friday, March 29, 2024
spot_img

Latest Posts

රොෂාන්ගෙන් ලක්විජයට ගිය 110 කඩුළු වාර්තාව සමඟ තේරීම් තරගවල පළමු දිනය

ආසියානු කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් සම්බන්ධයෙන් පවත්වන තරගාවලියේ දී මීටර් 110 කඩුළු ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබන්නට ජනිඳු ලක්විජයට හැකි විය.ඔහු තත්පර 13.82 න් එම ඉසව්ව නිමා කළේය.ඒ අනුව තත්පර 13.89 ක දක්ෂතාවයක් දක්වමින් රොෂාන් රණතුංග තබා තිබූ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ඉදිරියේ මින් මතුවට නම කියැවෙන්නේ ජනිඳුගේ ය.

ජනිඳු ලක්විජය


තවමත් ක්‍රීඩාවේ නියැලෙන රොෂාන් තත්පර 13 සීමාවට මෙම ඉසව්ව රැඟෙන ආ පළමු ක්‍රීඩකයා ය.කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි මහේෂ් පෙරේරා සතුව වසර විසි හතරක් සුරැකිව තිබූ මීටර් 110 කඩුලු වාර්තාව ගොඩකවෙල කුලරත්නයෙන් පැමිණ රොෂාන් සතු කර ගත් අතර එය නැවත ශාන්ත පීතර ආදි සිසුවෙක් සේ වෙළඳ සේවා මලල ක්‍රීඩා සංගමය නියෝජනය කරමින් තරග වැදි ජනිඳු සතු කර ගැනීම ද විශේෂ සිඳුවීමකි.


හිටපු කඩුළු පැනීමේ සූරයෙක් වූ අශෝක ජයසුන්දර යටතේ පුහුණුව ලබන ජනිඳු, මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය අඩු අවධානය යොමු කරන තත්ත්වයක් තුළ සීඩීබී බැංකුවේ සේවකයෙක් වීම එම ආයතනයට ද ගෞරවය හිමි විය යුතු ත්ත්වයකි.ලංකාවේ පුරවැසියන්ගේ ව්‍යාපාර සංවර්ධනය පිණිස දායකත්වය දැක්වීම ප්‍රධාන කොට ගත් බැංකුවක් හැටියට ඔවුන් ගත් තීරණය වෙනුවෙන් තත්පර 13.82 දී රටේම අවධානය යොමු කර දෙමින් ජනිඳු කළ වික්‍රමය තමන් ගත් තීරණය ගැන සතුටු වන්නට සීඩීබී බැංකුවට හේතු සපයන්නක් වීම ඔවුන් තව දුරටත් ක්‍රීඩාව කෙරෙහි ආකර්ශණය කර ගැනීමට ද මාවතක් වනු ඇත.


නමුත් මෙම ඉසව්ව සඳහා ඒ වන විට ජාතික වාර්තාවේ හිමිකරු වන රොෂාන් රණතුංග සහභාගි නොවිම ගැන ද අපේ අවධානය යොමු විය යුතුය.සෞඛ්‍ය ගැටළුවක් නිසා ඔහු ඉසව්ව නියෝජනය නොකළ අතර එසේ නියෝජනය කරේනම් සමහර විට ජනිඳු වාර්තා කළ කාලයට වඩා හොඳ කාලයකින් මේ තරගය නිමා වන්නට ද තිබිණ.ඒ ජනිඳු ජය ගත්තත්,රොෂාන් ජය ගත්තත් ඒ තරගකාරීත්වය මීට වඩා හොඳ තරග කාලයක් නිර්මාණය කරන්නට ඉඩ තිබුණ බැවිනි.


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය මේ ක්‍රීඩකයින් දෙදෙනා ගැනම යොමු කර ඔවුන් දෙදෙනාටම අන්තර්ජාතික අත්දැකීම් ලබා දීම සිඳු කරන්නේනම් ශ්‍රී ලංකාවට මෙම ඉසව්වේ ආසියාතික මට්ටම කරා ළඟා වීමට අපහසුවක් නොදැනෙනු ඇත.එසේම ශ්‍රී ලංකාවේ මෙම ඉසව්වට තරග කරන ක්‍රීඩකයින්ට ද වැඩි වෙහෙසකින් තත්පර 13 සීමාවට පිවිසෙන්නට සිඳුවනු ඇත.ඒ නිසා ඉසව්වේ තත්ත්වය ද ඉහළ යනු ඇති අතර අඩුම තරමේ ඉතා සුළු කාලයකදී තත්පර 13.5 සීමාව වෙත හෝ ඉසව්ව ළඟා වෙනු ඇත.
ඊයේ අනාගතයට වටිනාම වාර්තාව තබන්නට සමත් වූයේ තරුෂි කරුණාරත්නය.ඇය ජාතික කණිෂ්ඨ වාර්තාව තමන් නමට හිමි කර ගත්තාය.ඇයට දෙවැනි වූ යේ ජාතික වාර්තාව හිමි ගයන්තිකා අබේරත්නය.ගයන්තිකා අබේරත්න සතු ජාතික වාර්තාව වන විනාඩි 2:01.20 ට පමණක් පිටුපසින් සිටින තරුෂි මෙහිදී වාර්තා කළ කාලය විනාඩි 2:01.39 කි.ගයන්තිකා විනාඩි 02:01.54 ක් වාර්තා කරමින් දිනාගත් අතර ඇය ජාතික වාර්තාව පිහිටවූයේ එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේදී ය.එසේ සළකා බලද්දී තරුෂි ශ්‍රී ලංකාව තුළ මීටර් 800 සඳහා හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩිකාවය.

තවත් මෙම ඉසව්වේ ජාතික වාර්තාව හිමි කර ගෙන සිටි ක්‍රීඩිකාවක් වන නිමාලි ලියනආරච්චි ද තරගයට සහභාගි වී අතර මැදදී ඉවත් වූ අතර ඇය,ගයන්තිකා සහ තරුෂි තිදෙනාම මෙම ඉසව්වේ සිටීම තරුෂිගේ මෙම කාලයට හේතු වූ එක් සාධකයක් බව බලධාරින් අවබෝධ කර ගත යුතුය.ලෝකයේ දක්ෂතම තරගකාරියන්ගෙන් එල්ල වූ අභියෝගය සමඟ ගයන්තිකා එංගලන්තයේ වාර්තා කළ කාලය ඉලක්ක කරගෙන පුහුණුවීම් කිරීම නිසා ශ්‍රී ලංකාවේ සමස්ත කාන්තා මීටර් 800 ම තත්ත්වය ඉහළට එසැවෙන බව දැන මේ තරගකාරී තත්ත්වයේ තිබෙන සියලුම ක්‍රීඩිකාවන් රැක ගැනීම සහ පෝෂණය කිරීම ඉසව්වේ සංවර්ධනයට අදාළ කාර්යයක්ය.එසේම ඊයේ තරුෂි වාර්තා කළ කාලය මේ වසරේ කණිෂ්ඨ ක්‍රීඩිකාවක විසින් වාර්තා කරන ලද ලොව හොඳම කාලය ලෙස ද වාර්තා වන්නේය.
ඇය වලල ඒ රත්නායක විද්‍යාලයෙන් නිර්මාණය කළ ක්‍රීඩිකාවක් වන අතර මෙහිදී කලක් ඇය පුහුණුවන දිගන ක්‍රීඩා පිටියෙන් ලද සහය අහිමිව නොයෙක් කෙණහිලිකම්වලට ලක් වූවාය.රටේ ක්‍රීඩා සම්පත් සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය එබඳුය.එහෙත් එවැනි කෙනහිලිකම් ළඟ ඇය තව තවත් පන්නරය ලබමින් ලෝක මට්ටමේ දක්ෂතාවයක් දැක් වූ අතර ඉකුත් වසරේ කොළොමිබියාවේ පැවති ලෝක තරගාවලියට සහභාගි වෙද්දීද ඇය හොඳ මට්ටමක සිටි අතර එහිදි ක්‍රීඩා අමාත්‍යංශය,සංවර්ධන දෙපාර්තමේන්තුව මෙන්ම මලල ක්‍රීඩා සංගමය ද සිය වගකීම නිසි පරිදි ඉටු නොකිරීම නිසා තරුෂිට මීටර් 800 ඉසව්වට සහභාගි වීම සඳහා නිසි වේලාවට කොළොම්ඹියාවට යන්න අවස්ථාව නොලැබුණේය.තරුෂි සුසන්ත ප්‍රනාන්දු යටතේ පුහුණුවන ක්‍රීඩිකාවකි.


නිලානි රත්නායක විනාඩි 10 අඩුවෙන් මීටර් 3000 බාධක දිවීම තමන්ට තනිව හෝ කළ හැකිය යන්න මෙම තේරීම් තරගවලදී යළි පෙන්නුම් කළාය.ඇය සතු ජාතික වාර්තාව වන විනාඩි 09:40.24 ට පමණක් දෙවැනි වන විනාඩි 09:40.65 ක දක්ෂතාවයක් දැක් වූ නිලානි මේ තරගයේ දෙවැනියාට වඩා විනාඩි 4 ක් පමණ ඉදිරියෙන් සිටියාය.ඇය ශ්‍රී ලංකාව සතු සුපිරි ධාවන හැකියාවක් ඇති සම්පතක් වුව ද,විදෙස් තරග අත්දැකීම් නොමැතිකමින් ඇයට තමන්ගේ දක්ෂතාවයන් කළමණාකරනය කර ගැනීමට හැර සංවර්ධනය කර ගැනීමට අවශ්‍යය තරග අත්දැකිම් නොමැත.මේ තත්ත්වය ලංකාවේ ක්‍රීඩා බලධාරීන් විසින් අවධානය යොමු කළයුතු වුව ද,ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය සිටින්නේ මුදල්මය අතින් බොහෝ පහළ මට්ටමකය.නිලානිගේ පුහුණුකරු සජිත් ජයලාල් ය.ක්‍රීඩා අමාත්‍යංශයේම ඉහළ තනතුරකට හිමිකම් කියන සජිත්ගේම ක්‍රීඩිකාවක ගැන ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු වන පටු ඉඩ ගැන සිතන විට රටේ ක්‍රීඩාව ගැන සිතාගන්නට හැකිය.
එසේම මීටර් 400 කඩුලු ඉසව්වේ සුවිශාල බලාපොරොත්තුවක් සේ වැඩෙන කේඑම්ඩී දර්ශන අඹගමුව විද්‍යාලය නියෝජනය කරමින් එම ඉසව්ව තත්පර 50.92 න් හමාර කිරීම කැපී පෙනෙන තත්ත්වයකි.කලකට පසු තත්පර 50 සීමාවේ අග්ගිස්සට හෝ මෙම ඉසව්ව ගෙනා දර්ශන ද තව බොහෝ දුර ගමණක් යා හැකි අපූරු ක්‍රීඩකයෙකි.අනුර බණ්ඩාර යටතේ පුහුණුව ලබන වර්ථමානයේ සිටින ප්‍රබලම මීටර් 400 කඩුලු ක්‍රීඩකයා වන දර්ශන ද මේ මොහොතේ සිටම බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ක්‍රීඩකයෙකි.
මීටර් 400 ඉසව්වේ පවතින,ශ්‍රී ලංකාවට අනන්‍ය වූ කාල බාධක සෙමින් සෙමින් බිඳිමින් සිටින මේ 19 හැවිරිදි ක්‍රීඩකයා සුගත් තිලකරත්න නිර්මාණය කිරීමෙන් පසුව අනුර බණ්ඩාර විසින් නිර්මාණය කරන ලද වටිනාම ජාතික වස්තුව බව මේ වන විට සහතික කර ඇති අතර ඉදිරියේ දි ඔහුව අනුරට පමණක් පැවරෙන වගකීමක් නොකොට සුරැකීම ජාතික වගකීමක් බව බලධාරීන් සිහි තබා ගත යුතුය.
තරගයේ පළමු දිනයේ කැපී පෙණුන දක්ෂතා අතරින් ඉදිරියෙන්ම තැබිය හැකි බලාපොරෙත්තු හතරක් ගැන අප සටහන් කරන්නට තීරණය කළේ එම ඉසව් සම්බන්ධයෙන් මීට වඩා ක්‍රීඩා පරිපාලනයේ අවධානය යොමු විය යුතුය යන්න දැනෙන නිසාය.වඩාත් ඉහළ බලාපොරොත්තු සහිතව පෝෂණය කළ හැකි මේ ජයග්‍රහණ සහ ඊට අදාළ කාලයන් සම්බන්ධ සැළකිල්ල යොමු කිරීම බලධාරීන්ගේ වගකීමය.
ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ ජනිඳු ලක්විජය සහ ඔහුගේ පුහුණුකරු අශෝක ජයසුන්දරය.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan